කිර්ගිස්තානයේ බිෂ්කෙක් අගනුවරින් කී.මී. 35ක් දුරින් පිහිටි ක්‍රස්නයා රෙච්කාහි කඳුකරයේ කරන ලද කැණීමකදී මීටර් 1.5ක් උස විශාල බුද්ධ ප්‍රතිමාවක් සොයා ගැනීමට කිර්ගීස් විද්‍යා ආයතනයේ පුරාවිද්‍යාඥයෝ කණ්ඩායමක් සමත් වූහ. එම භූමි ප්‍රදේශයෙහි බෞද්ධ ආශ්‍රම සංකීර්ණයක් මිහිදන්ව ඇතැයි විශ්වාස කළ මෙම පුරාවිද්‍යාඥයෝ සාන්ත පීටර්ස්බර්ග්හි රුසියානු පූජකාශ්‍රම කෞතුකාගාරයේ සගයන් පිරිසක්ද සමඟ එක්ව බිම්කඩ කීපයකම කැණීම් කළහ.
මෙම ප්‍රතිමාවේ උස මිනිසුන් දෙදෙනකුගේ උසට සමාන බවත් මෙය හිටි ඉරියව්වෙන් තැබිය හැකි වුවහොත් එහි උස ප්‍රමාණය මීටර හතරක් පමණ විය හැකි බවත් දැන් හිඳින ඉරියව්වෙන් තිබෙන මෙම පිළිමයේ උස මීටර් එක හමාරක් හෝ දෙකක් පමණ බවත් කිර්ගීස් ජාතික විද්‍යායතනයේ පුරාවිද්‍යාඥයකු වන වැලරි කොල්ශෙන්කෝ ප්‍රකාශ කළේය.
මෙය අට වැනි හෝ දහ වැනි ශත වර්ෂවලට අයත් ප්‍රතිමාවක් විය හැකි යැයි පුරා විද්‍යාඥයන් දැනට අදහස් කරන අතර අදාළ කාල වකවානුව නිශ්චිතව නිගමනය කරනු සඳහා ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කළ යුතුව ඇතැයිද ඔවුහු කියති. මෙම විශාල පිළිමය දැනට තිබෙන තැනින් ගොඩ ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් වන හෙයින්, ඒ පිළිබඳ කාල නිර්ණය දැන්මම කළ නොහැකි බවත් ප්‍රථම කාර්යය එය සම්පූර්ණයෙන්ම මතු පිටට ගැනීම බවත්, අදාළ කාලය නිවැරැදිව නිගමනය කළ හැක්කේ ඉන් පසුව බවත් පෙරදිග පූජකාශ්‍රම පිළිබඳ අධ්‍යයන දෙපාර්තමේන්තුවේ අසාන් තෝගොයේව් ප්‍රකාශ කරයි.
කිර්ගිස්තානයේ කඳුකර ප්‍රදේශයෙහි මෙවැනි බෞද්ධ පුරාවස්තු හමුවීම් අතිශය දුර්ලභ සිද්ධියකි. ඉන් දකුණු දෙසින් පිහිටි තජිකිස්තානයෙහි ප්රාග් ඉස්ලාමික යුගයේදී බෞද්ධ සංස්කෘතියක් පැවැති බව ලේඛනගතව ඇතත් ඉන් උතුරු දිග පෙදෙසේ එවැන්නක් පිළිබඳ තොරතුරු ඇති බවක් සඳහන් නොවේ.