ඇල්පිටියේ PHI ඝාතනය ගැන පරීක්ෂණ අලුත් මගකට

Spread the love

මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දීපාල් රොෂාන් කුමාර ඝාතනය අනන්‍යතාව වැරදීමකින් සිදු වූවක් බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

පසුගිය පෙබරවාරි මාසයේ ඇල්පිටියේදී මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දීපාල් රොෂාන් කුමාර ඝාතනයට ලක්වූ අතර මෙම ඝාතනය ගැන විශාල සමාජ අවධානයක් ද යොමුවිය.

හෙරොයින් මිලිග්‍රෑම් 2200ක් ළඟ තබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී තමන් පාතාලයේ වෙඩික්කරුවෙකු බවත් කොන්ත්‍රාත්තුවක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දීපාල් රොෂාන් කුමාර ඝාතනය සිදුකළ බවත් පිළිගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඩුබායි හි සැඟවී සිටින පාතාල නායකයෙකු ලෙස සැලකෙන ‘සමන් කොල්ලා‘ නැමැත්තා විසින්  දීපාල් රොෂාන් කුමාර පදිංවිව සිටින ප්‍රදේශයේම පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙකු ඝාතනය කිරීම සඳහා මෙම පුද්ගලයාට රුපියල් ලක්ෂ අටක මුදල් කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

උප පොලිස් පරීක්ෂකවරයාගේ ඡායාරූපය වෙනුවට වෙඩික්කරු විසින් නිල ඇඳුමෙන් සැරසී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ඡායාරූපය ලබාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඩුබායි වෙත පලාගොස් සැඟව සිටින සමන් කොල්ලා නමැති පාතාල නායකයා විසින් වෙඩි තැබීමට සැලසුම් කර ඇත.

සමන් කොල්ලාට අයත් බව කියන හෙරොයින් අත්අඩංගුවට ගැනීම නිසා මෙම පොලිස් නිලධාරියා ඝාතනය කිරීමට මෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවද පොලිස් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැනගන්නට ඇත.

සැකකරුගෙන් හෙළිකරගත් තොරතුරු මත ඕවිට ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ එම්.එම් වර්ගයේ පිස්තෝලයක්, මැගසිනයක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තැබීමට භාවිත කළ බවට සැක කෙරෙන ජීව උණ්ඩ දහයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. .

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කිරීමෙන් පසු තුවක්කුකරුට නවාතැන් සැපයූ බව කියන අඹුසැමි යුවළක් ද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Related Posts