ඇමරිකානු බදු වැඩිවීම් හේතුවෙන් ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රයට ඇතිවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා EDB මඟින් විශේෂ සාකච්ඡාවක්

Spread the love

අමෙරිකානු රජය ශ්‍රී ලංකා අපනයන නිෂ්පාදනවලට පැනවූ 44% වාණිජ බදු වැඩිවීම් හේතුවෙන් ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රයට ඇතිවිය හැකි රුණු බලපෑම් අවම කිරීමේ උත්සාහයන් සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් විශේෂ රැස්වීමක් පසුගිය දින අපනයන සංවර්ධන මන්ඩලයේ  ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා ප්‍රමුඛ වෙළඳ සංගම් සහ අපනයන සංගම් නියෝජිතයින් සහභාගී විය.

මෙහිදී සභාපතිවරයා ශ්‍රී ලංකා රජය මේ වනවිට ගෙන ඇති ප්‍රධාන පියවරයන් පිළිබඳව ද සවිස්තරව ඉදිරිපත් කළ අතර ඇමරිකානු බලධාරීන් සමඟ රාජතාන්ත්‍රික සාකච්ඡා, නිල ඉල්ලීම් ඉදිරිපත් කිරීම සහ අමතර රාජතාන්ත්‍රික නියෝජිත කණ්ඩායමක් යැවීම සදහා ගන්නා කටයුතු විශේෂයෙන් අවධාරණය කළේය.

අපනයන ක්ෂේත්‍ර නියෝජිතයින් විසින් ඇමරිකානු බදු වැඩිවීම් හේතුවෙන් විශේෂයෙන් නිමි ඇඳුම්, රබර්, පොල් නිෂ්පාදන, කුළුබඩු, මැණික් හා ස්වර්ණාභරණ, තේ, විසිතුරු මසුන් වැනි අපනයන ක්ෂේත්‍රවලට ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳ දැඩි සැළකිල්ලක් දක්වන ලදී.

මෙහිදී ඉදිරිපත් වූ ප්‍රධාන යෝජනා ලෙස රාජ්‍යයන් අතර සාකච්ඡා ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාවේ සම්බන්ධතාවයෙන් අපනයනකරුවන් සඳහා කෙටි කාලීන සහන ලබාදීම, නව වෙළඳපොළ සෙවීම සහ විවිධාංගීකරණය, භාණ්ඩ ප්‍රවාහන පිරිවැය අඩු කිරීම සහ ඇමරිකානු පාර්ශවකරුවන් සමඟ සෘජු සම්බන්ධතා ඇති කිරීම ආදී කරුණු සාකච්ඡා විය. මෙම සාකච්ඡාවේදී අපනයනකරුවන් ඉදිරිපත් කළ යෝජනා ඉදිරියේදී රජයට ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රය ආරක්ෂා කරගැනීම සඳහා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා සියලුම පාර්ශවකරුවන් එකඟතාවයකට පැමිණි අතර, මෙම අභියෝගාත්මක තත්වය ජය ගැනීමට එක්සත් ව කටයුතු කරන බවද සදහන් විය.

 

Related Posts