ආබාධ නැති දරුවන් බිහි කිරීමට පියවරුන් මත්පැන් භාවිතය පාලනය කළ යුත්තේ ඇයි?

Spread the love

මවක පානය කරන්නේ මොනවා දැයි යන්න කෙරෙහි අවධානය යොමු කිරීම හේතුවෙන් පියෙකුගේ මත්පැන් පානය ගැන අවධානය යොමු වීම දැනට බොහෝ කලක සිට යටපත් වී තිබේ. නමුත් නව පර්යේෂණවලින් පසුව එය වෙනස් විය හැකි ය.

ගර්භණී සමයේදී මත්පැන් පානය කිරීමේ අවදානම සම්බන්ධයෙන් වසර 50කට වැඩි කාලයක් පුරා විද්‍යාඥයින් විසින් කාන්තාවන්ට අනතුරු අඟවා තිබේ. මවක සතියකට එක් වරක් හෝ මත්පැන් වැනි පානයකින් කුඩා ප්‍රමාණයක් වුව ද පානය කිරීම දරුවාගේ මොළයේ වර්ධනයට, සංජානන ක්‍රියාකාරිත්වයට සහ හැසිරීමට සහ මුහුණේ හැඩයට බලපාන බව මෑත කාලීන පර්යේෂණ මගින් සොයාගෙන ඇත. එමෙන් ම දශක ගණනාවක සිට ම මහජන සෞඛ්‍ය ව්‍යාපාර යළි යළිත් අවධාරණය කළේ, ගර්භණී සමයේදී මව්වරුන්ට මත්පැන් පානය සඳහා නිර්දේශ කළ ආරක්ෂිත ප්‍රමාණයක් නොමැති බව ය.

විද්‍යාත්මක සම්මුතිය සමාජය තුළ ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබේ. ගර්භණී කාලයේ පූර්ව සමය තුළ මධ්‍යසාර භාවිතය හේතුවෙන් විවිධ ගැටලු ඇති විය හැකි ය. (එහෙත් උදාහරණයක් ලෙස අධික ලෙස මත්පැන් පානය කිරීම හා අඩු මත්පැන් භාවිතය සමග සසඳන විට නිශ්චිත අවදානම ගැන ඇතැම් ප්‍රශ්න පවතී). ගර්භණී කාලයේ පූර්ව සමය තුළ මත්පැන් භාවිත කිරීමෙන් ඇති විය හැකි ගැටලු අතරට ස්නායු සංවර්ධන දුර්වලතා මෙන් ම කළලරූපී මධ්‍යසාර ආබාධ (FASD) සමග බහුලව සම්බන්ධ වන මුහුණේ අසාමාන්‍ය ලක්ෂණ, කථන ප්‍රමාදයන් වැනි චර්යාත්මක ගැටලු මෙන් ම සංජානන සහ ඉගෙනීමේ ගැටලු ද ඇතුළත් වේ.

නමුත් මව්වරුන් මත්පැන් පානය කිරීමේ අවදානම වඩා හොඳින් ලේඛනගත වී ඇති බැවින් කළලරූපී මධ්‍යසාර ආබාධ (FASD) සඳහා බලපෑ හැකි තවත් සාධකයක් මග හැරී ගොස් තිබේ. ඒ පියා කොපමණ ප්‍රමාණයක් මත්පැන් පානය කරන්නේ ද යන්න යි. සරුබව සහ ප්‍රජනනය පිළිබඳ පර්යේෂණ “ස්ත්‍රිය පමණක් ම කේන්ද්‍ර කරලා, මව්වරුන් පමණක් කේන්ද්‍රීය ගත කරලා, අපි ඇත්ත වශයෙන් ම පිරිමි පාර්ශවය කෙරෙහි අපගේ නිසි අවධානය යොමු කරලා නැහැ,” යනුවෙන් මත්පැන් නිරාවරණය සහ කළලරූප සංවර්ධනය පිළිබඳ පර්යේෂණ සිදු කරන ටෙක්සාස් ඒ ඇන්ඩ් එම් විශ්වවිද්‍යාලයේ සංවර්ධන කායික විද්‍යාඥ මයිකල් ගෝල්ඩින් පවසයි.

ගෝල්ඩින් වැනි පර්යේෂකයන් දිගු කලක සිට පියාගේ භූමිකාව සම්බන්ධයෙන් ද සැක පළ කර තිබේ. “දැන් වසර ගණනාවක් සිට, ‘මම ගර්භණී සමයේදී කිසි විටෙකත් පත්පැන් පානය කරලා නැහැ, නමුත් දැන් මට කළලරූපී මධ්‍යසාර ආබාධ තියෙන දරුවෙක් ඉන්නවා; මගේ සහකරු මත්පැන්වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්’ බව පවසන කාන්තාවන්ගේ ප්‍රකාශ අපට අසන්නට ලැබෙනවා,” යනුවෙන් ඔහු පවසයි. නමුත් එවැනි කතා බොහෝවිට බැහැර කරනු ලැබ තිබේ.

කෙසේ වෙතත්, මෑත කාලීන පර්යේෂණ මගින් කුතුහලය දනවන සහ මතය වෙනස් කිරීමේ හැකියාවක් මතු කර ඇත. ඒ අනුව මෙම මව්වරුන් සෑම විට ම නිවැරදි විය.

මව් කුස තුළ කළලයක් වර්ධනය වීමට පෙර සිට ම පියෙකු මත්පැන් පානය කිරීම එලෙස උපදින දරුවන්ට බලපෑමක් ඇති කර යි යන අදහස මේ වන විට බොහෝ සෙයින් සාකච්ඡාවකට ලක්ව ඇතැයි පෙනෙන්නට තිබේ.

නමුත් මෑත කාලීන ජනගහන අධ්‍යයනයන් මගින් සොයාගෙන ඇත්තේ පියා මත්පැන් පානය කරන ළදරුවන් විවිධ දුර්වල සෞඛ්‍ය ප්‍රතිඵල පෙන්වීමට වැඩි අවදානමක් ඇති බව ය. නිදසුනක් වශයෙන්, 2021 වසරේදී චීනයේ අඹු සැමියන් ලක්ෂ 05කට වඩා වැඩි සංඛ්‍යාවක් යොදා ගනිමින් කළ අධ්‍යයනයකදී හෙළි වූයේ, දරුවා පිළිසිඳ ගැනීමට පෙර පවා පියා මත්පැන් පානය කළේ නම් එම දරුවා උපතින් ම ආබාධවලට ගොදුරු වීමේ අවදානමක් පවතින බව ය.

දරුවාගේ මව මත්පැන් පානය නොකළ ද උපදින දරුවාට හෘද රෝග සහ ආහාර ජීර්ණ පද්ධතියේ විෂමතා ඇතුළු රෝග පැවතීමේ අවදානමක් පවතින බව අනාවරණ වී ඇත. චීනයේ තවත් ජනගහන අධ්‍යයනයකදී සංසන්දනය කර තිබුණේ, සංජානනීය හෘද රෝග සහිත දරුවන් 5,000ක් සහ එවැනි රෝග නොමැති දරුවන් 5,000කි.

එහිදී අනාවරණ වී තිබුණේ, සමස්ත අවදානම සාපේක්ෂව අඩු මට්ටමක පැවතුණ ද, ඔවුන්ගේ පියා මත්පැන් පානය කළහොත් එම දරුවන්ට සංජානනීය හෘද රෝග ඇතිවීමේ සම්භාවිතාව තුන් ගුණයකින් වැඩි බව ය. එහිදී අර්ථ දක්වා තිබුණේ, ගැබ් ගැනීමට මාස තුනකට පෙර දිනකට ඇල්කොහොල් මිලි ලීටර් 50කට වඩා භාවිත කිරීම හෝ නොකිරීම ය.



Paternal drinking has been associated with a range of developmental and cognitive issues in children (Credit: Serenity Strull/Getty Images/BBC)

ඡායාරූප ශීර්ෂ වැකිය,පියාගේ බීමත්කම දරුවන්ගේ සංවර්ධන හා සංජානන ගැටලු රාශියකට සම්බන්ධ වී ඇත

උපතින්ම ඇති වන ආබාධවල සමස්ත අවදානම තවමත් සාපේක්ෂව අඩු මට්ටමක පවතින බව සැලකිල්ලට ගැනීම වැදගත් වේ.

නිදසුනක් වශයෙන් ගත් කල චීනයේ විවිධ උපත් ආබාධ පිළිබඳ 2021 වර්ෂයේදී සිදු කළ අධ්‍යයනයකදී වඩාත් ම අවදානමට ලක්වූ වර්ගය ලෙස හඳුනා ගැනුණේ – තොල් පැලීම – ය.

එම තත්ත්වය හඳුනාගෙන තිබුණේ, පියා මත්පැන් පානය දරුවන් 164,151 දෙනෙකුගෙන් ළදරුවන් 105 දෙනෙකුගේ පමණි. එම තත්ත්වය මත්පැන් පානය නොකරන පියවරුන්ගේ දරුවන්ට වඩා මත්පැන් පානය කරන පියවරුන්ගේ දරුවන් අතර 1.5 ගුණ‍යකින් ඉහළ බව අනාවරණය වී ඇත.

“අපගේ සොයාගැනීම්වලින් පෙනී යන්නේ 31.0% ක් ලෙස දැක්වෙන පියවරුන්ගේ මත්පැන් පානීය අනුපාතය සලකා බැලීමේදී උපත් ආබාධ ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇති බැවින් කළලරූපී මධ්‍යසාර සින්ඩ්‍රෝමයේ අවදානම අඩු කිරීම සඳහා අනාගතයේදී පියවරුන් වීමට අපේක්ෂා කරන පුද්ගලයින් ඔවුන්ගේ බිරින්දෑවරුන් දරුවන් පිළිසිඳ ගැනීමට පෙර සිය මත්පැන් පානය වෙනස් කිරීමට උනන්දු විය යුතු බව යි,” යනුවෙන් පර්යේෂකයන් පැවසීය.

මේ අතර, 2024 ජූලි මාසයේදී සිදු කළ, අධ්‍යයනයකින් හෙළි වූයේ දරුවෙකු මව්කුස තුළ පිළිසිඳ ගැනීමට පෙර පියවරුන් මත්පැන් පානය කරන්නේ නම්, කළලය වර්ධනයට බලපෑම් ඇති වන බව ය.

“කෙසේ වෙතත්, පියාගේ මත්පැන් පානය ඇත්ත වශයෙන් ම මෙම ගැටලු ඇති කළේ දැයි සොයා බැලීම, ඔවුන් සමග සම්බන්ධ වීමට වඩා දුෂ්කර වී ඇත. අධ්‍යයන දෙකෙහි ම පර්යේෂකයන් පියා දුම් පානය කළේ නම් වැනි ව්‍යාකූල සාධක සම්බන්ධයෙන් ද සලකා බලා ඇති අතර එය සෑම දායකයෙකු සඳහා ම ආදේශ කළ නොහැක. “මිනිසුන්ව අධ්‍යයනය අතිශයින් දුෂ්කරයි – එහි ව්‍යාකූල සාධක රාශියක් තිබෙනවා,” යනුවෙන් ගෝල්ඩින් පවසයි.

“එක් එක් පුද්ගලයාගේ ආහාර වේල කුමක් ද? ඔවුන් ව්‍යායාම කරනවා ද? දුෂ්කර දෑ රාශියක් එහි තිබෙනවා.”

මේ අතර, විද්‍යාත්මක පර්යේෂණවල රන් ප්‍රමිතිය වන සසම්භාවී පාලිත අත්හදා බැලීමක් (RCT) ගත් විට එය, මධ්‍යසාර පරිභෝජනය සහ ගැබ් ගැනීම සම්බන්ධයෙන් සැබෑ විකල්පයක් නොවේ.

නමුත්, ඔබට සතුන් සඳහා එවැනි RCT සකස් කළ හැකි ය – විශේෂයෙන් මීයන් වැනි සතුන් සඳහා.

ගෝල්ඩින් සිදු කළේ එය යි. පළමුව, ඔහුගේ කණ්ඩායම කුඩා ඇස් සහ හිසේ ප්‍රමාණය අඩු වීම වැනි මිනිසුන්ගේ කලලරූපී මත්පැන් වර්ණාවලියේ ආබාධ හා සම්බන්ධ භෞතික අසාමාන්‍යතා මීයෙකුගේ ආකෘතියකට සිතියම්ගත කළේය.

ඉන්පසු පර්යේෂකයින් විසින් මීයන් කණ්ඩායම්වලට බෙදූ අතර එහිදී පැටවුන් බිහි කිරීමට සිටින ගැහැනු සත්ත්වයින්ට මත්පැන් පානයට සලස්වන ලදී. මීයන් කණ්ඩායම් කර ඇත්තේ, පිරිමි සතුන් පමණක් සිටින, පැටවුන් පිළිසිඳ ගැනීමට පෙර සහ ගැහැණු සතුන් සහ පිරිමි සතුන් යන දෙපාර්ශවය ම සිටින වශයෙනි. අනතුරුව ගැහැනු සතුන් බිහි කළ පැටවුන්ගේ ලක්ෂණ මව් පාර්ශවය සහ පිය පාර්ශවය සමග සංසන්දනය කළ විට, ඔවුන් පැහැදිලි තේමාවක් සොයා ගත්හ.

ගැහැනු සත්වයෙකු ගර්භණී සමයේදී මත්පැන් භාවිත කළේ නම්, එම සත්ත්වයා බිහි කළ පැටවුන් අපේක්ෂා කළ හැකි කළලරූපී මත්පැන් වර්ණාවලියේ ආබාධ වන කායික රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබේ. එහෙත්, මව් සතුන් සහ පිය සතුන් යන දෙපාර්ශවය ම මත්පැන් පානය කළේ නම් මේ සත්ත්වයින්ට බිහි වන පැටවුන්ගේ හිස්කබලේ-මුහුණේ රටා සහ සමස්ත වර්ධනයේ සමහර වෙනස්කම් නරක අතට හැරිණි.

පුදුමයට කරුණක් වූයේ, මව් සතුන් පානය කළාට වඩා පිරිමි සතුන් මත්පැන් පානය කළේ නම් මානව මත්පැන් වර්ණාවලියේ ආබාධ වන කායික රෝග ලක්ෂණ අතර සියලු ම රෝග ලක්ෂණ එනම් හකු, දත් අතර පරතරය, ඇස්වල ප්‍රමාණය සහ ඇස් පරතරයෙහි සමහර අසාමාන්‍යතා වඩාත් කැපී පෙනීම ය.

ගෝල්ඩින් පුදුමයට පත් විය. “මම මගේ සිසුන්ට නැවත එය කරන්න කිව්වා,” ඔහු සිනහසෙමින් පවසයි.

ඔවුන් අධ්‍යයනය ප්‍රතිනිර්මාණය කළ සෑම අවස්ථාවක ම සිදු වූවාක් මෙන්, ඔවුන් සමාන ප්‍රතිඵල ම ලබාගෙන ඇත.

2024 ජූලි මාසයේදී, ඔහුගේ කණ්ඩායම විසින් ගැහැනු මීයන් බිහි කළ පැටවුන්ට පියාගේ මත්පැන් භාවිතයේ බලපෑම් අවධාරණය කරන තවත් අධ්‍යයන දෙකක් ප්‍රකාශයට පත් කරන ලදී. ඉන් එක් පර්යේෂණයකින් සොයාගත්තේ, මැදි වයසේදී, මව්පියන් මත්පැන්වලට නිරාවරණය වූ මීයන්ගේ මොළයේ සහ අක්මාවේ සෛලීය වයසට යාමේ සලකුණු ඇති බව ය. එය අපගේ සෛල තුළ ශක්තිය නිපදවන කුඩා ඉන්ද්‍රියයන් නිවැරදිව ක්‍රියා කිරීම නැවැත්වූ විට ඇති වන මයිටොකොන්ඩ්‍රියල් අක්‍රියතාවයේ සලකුණු ය. මත්පැන් භාවිත කළේ මව හෝ පියා වුව ද සත්‍යය එය ම විය. නමුත් මව සහ පියා යන දෙදෙනා ම මත්පැන් පානය කළහොත් තත්ත්වය බරෑරුම් විය. මෙය මිනිසුන් පිළිබඳ නිරීක්ෂණ අධ්‍යයනයන්හි ප්‍රතිඵල පැහැදිලි කිරීමට උපකාරී වේ. එහිදී කළලරූපී මධ්‍යසාර ආබාධ ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයින් එවැනි ආබාධ නොමැති අයට වඩා බොහෝ විට රෝහල්ගත වී ඇති අතර සාමාන්‍ය ජනගහනයට සාපේක්ෂව 42%ක ආයු අපේක්ෂාවක් ඇති බව සොයාගෙන ඇත.

පර්යේෂණයට යොදා ගැනුණු මී පැටවුන්ගේ පියා වන පිරිමි සත්ත්වයා ලබා ගෙන ඇති මත්පැන් ප්‍රමාණය අනුව එම පැටවාගේ මුහුණේ හැඩය වෙනස් වන බව ද ගෝල්ඩින්ගේ කණ්ඩායම සොයා ගෙන ඇත.” මේකෙන් ලබා දෙන පණිවිඩය වන්නේ, පිරිමි පුද්ගලයින්ගේ මත්පැන් භාවිතය දරුවන්ට බලපෑමක් ඇති නොකරන බවට ඔව්/නැහැ කියන පිළිතුර නෙමෙයි. මේකෙන් ශ්‍රේණිගත බලපෑම් ඇති කරනවා. මේකෙදී පුද්ගලයෙකු වැඩි වැඩියෙන් මත්පැන් පානය කරන තරමට ප්‍රතිවිපාක නරක අතට හැරෙනවා,” ඔහු පවසයි.

පියාගේ මත්පැන් භාවිතය සහ මීයන් භාවිත කර සිදු කරන පර්යේෂණවලදී කළලරූපී මත්පැන් වර්ණාවලියේ ආබාධ වැනි ප්‍රතිඵල අතර සම්බන්ධයක් පවතින බව සොයා ගත් එක ම පර්යේෂකයා ගෝල්ඩින් නොවේ. අනෙකුත් අධ්‍යයන කිහිපයකින් ද අනාවරණ කර ඇත්තේ, මත්පැන් ලබා නොදුන් මීයන්ට වඩා, මත්පැන් භාවිතයට යොමු කරවන ලද පිරිමි මීයන්ගෙන් බිහි වන පැටවුන් කළල වර්ධන සීමාවන් පෙන්වීමට වැඩි ඉඩක් ඇති බව ය. එම සතුන් සහ මත්පැන් ලබා නොදුන් මීයන්ගෙන් උපන් පැටවුන් හා සසඳන විට පරිවෘත්තීය දෝෂ සහ ජාන ප්‍රකාශනයේ විවිධ වෙනස්කම් ඇති බව ද අනාවරණ වී තිබේ. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ රිවර්සයිඩ්හි, සංවර්ධන ස්නායු විද්‍යාව පිළිබඳ පසුබිමක් ඇති මනෝවිද්‍යා මහාචාර්ය කෙලී හෆ්මන් ද ඒ පිළිබඳ පර්යේෂණ සිදු කරමින් සිටින අතර මත්පැන් භාවිතයට හුරු කරවූ මීයන්ගෙන් බිහි වන පැටවුන් යම් යම් ආබාධ සහිත ප්‍රතිඵල පෙන්වීමට වැඩි ඉඩක් ඇති බව ද පෙන්වා දී ඇත.

දරුවෙකු පිළිසිඳ ගැනීමෙන් පසු ගර්භණී මව්වරුන්ට මත්පැන් ලබා දෙන විට එහි බලපෑම එතරම් ප්‍රබල නොවේ.

‘මතක තබා ගන්න, මෙම ළදරුවන් කිසි විටෙකත් සෘජුව ම මත්පැන්වලට නිරාවරණය වී නැහැ,” හෆ්මන් පවසයි. “නමුත් බලන්න.” යනුවෙන් පවසා ඇය තිරය මත දිස්වන මී පැටවුන්ගේ මොළයේ ව්‍යුහය සහිත රූප ඉහළට ඇද පෙන්වයි. එය ඉහළ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ මොළයේ කොටසයි. මත්පැන්වලට නිරාවරණය නොවූ පිරිමි සහ ගැහැණු මීයන්ගේ පැටවුන් තුළ, ප්‍රාථමික සෝමාටෝසෙන්සරි බාහිකය – මීයන්ගේ උඩු රැවුලින් ආදානය ලැබෙන විට ප්‍රතිචාර දක්වන මොළයේ කොටසක් – දෘශ්‍ය ඉඟි අර්ථකථනය කරන ප්‍රාථමික දෘශ්‍ය බාහිකයට වෙනස් ප්‍රදේශයක පිහිටා තිබේ. ඒවා අතර අතිච්ඡාදනයකින් තොරව පැහැදිලි සීමාවක් තිබිණි.

මව් සතුන් නොව, මත්පැන් පානයට යොමු කළ පිරිමි සතුන්ගෙන් ඉපැදුණු මී පැටවුන් තුළ මෙම කලාපය බෙහෙවින් වෙනස් ලෙස පෙනේ. ඒ සියල්ල මිශ්‍ර වී ඇත,” හෆ්මන් පවසයි.

“එම මීයන්ගේ මොළය වෙනස් ලෙස සකස් වී තිබුණා පමණක් නොව, ඔවුන්ගේ හැසිරීම් සහ කුසලතා ද වෙනස් විය. මත්පැන්වලට පොළඹවන ලද පිරිමි සතුන්ගෙන් පැවත එන පැටවුන් ඇද වැටීමට හා වැරදි පියවර තැබීමට වැඩි ඉඩක් ඇති අතර, එහා මෙහා ගමන් කිරීමට පසුබට විය, සහ කැරකෙන රෝද වැනි බට මත සිටින ආකාරය ඉගෙන ගැනීමට වැඩි කාලයක් ගත විය. “උන් එක ම අනුපාතයකට අනුව වැඩෙන්නේ නැහැ,” හෆ්මන් පවසයි. “ඔවුන්ගේ ඉගෙනුම් හැකියාව යම් ප්‍රමාණයකින් මන්දගාමී යි. අපි හිතන්නේ එම සතුන් එය කළ යුත්තේ ඇතැම් විට අධික්‍රියාකාරීත්වයක් සහ සංවේදක ඒකාබද්ධතාවයේ ගැටලු සමග යි.”

පැටවුන් ගර්භාෂය තුළදී මත්පැන්වලට සෘජුව නිරාවරණය නොවන නිසා, මෙය සිදු වන්නේ කෙසේ ද? වඩාත් පොදු පැහැදිලි කිරීම වන්නේ අපිජනක ලෙස හඳුන්වන ජාන වෙනස්වීම් ක්‍රියාවලියකි.

මෙහි දී DNA අනුපිළිවෙළට කිසිදු භෞතික වෙනසක් නොමැතිව ජෙනෝමයේ අනුක්‍රියාකාරී හෝ අක්‍රීය හෝ වෙයි. ඒ වෙනුවට, ඔවුන් DNA අණුවේ කොටස්වලට රසායනික කණ්ඩායම් සම්බන්ධ කර ඇති මීතයිල් මධ්‍යසාරය සමග සම්බන්ධ වූ DNA වැනි ක්‍රියාවලීන් හරහා සෛලීය යන්ත්‍ර මගින් DNA කියවීමේ හැකියාව වෙනස් කරන ක්‍රියාවලීන් මගින් ක්‍රියා කර යි. ඇල්කොහොල් ශුක්‍රාණුවල සාමාන්‍ය DNA අනුපිළිවෙළට බාධා කරන බව පර්යේෂණයකින් සොයාගෙන ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කළලයෙහි ජාන ප්‍රකාශ වන ආකාරය වෙනස් කිරීමට හේතු විය හැක.

පියවරුන්ගේ මධ්‍යසාර භාවිතය ශුක්‍රාණුවල වෙනත් වෙනස්කම්වලට තුඩු දිය හැකි අතර එය කළල වර්ධනයට බලපාන බවට පෙන්වා දිය හැකි සාක්ෂි මීයන් තුළින් ද ගෝල්ඩින් විසින් සොයා ගනු ලැබ ඇත. ඔහු සහ ඔහුගේ කණ්ඩායම විසින් නිදන්ගත මත්පැන් භාවිතය ශුක්‍රාණුවල ඇති RNA නම් ප්‍රවේණික ද්‍රව්‍ය වර්ගයට උරුම වූ කොටස්වල අනුපාතය වෙනස් කරන බව සොයාගෙන ඇත.

පියාගේ මධ්‍යසාර පරිභෝජනයේ අපිජනක බලපෑම් සාපේක්ෂව නව පර්යේෂණ ක්ෂේත්‍රයක් වන අතර, වෙනත් පියවරුන්ගේ නිරාවරණයේ ප්‍රතිවිපාක වඩා හොඳින් ලේඛනගත කර ඇත. මිනිසුන් සහ මීයන් යන දෙඅංශයෙන් ම, දුම්පානය සම්බන්ධයෙන් සහ එය උරුම වූ ජානමය ද්‍රව්‍ය කෙරෙහි ඇති කරන බලපෑම සම්බන්ධයෙන් විශේෂයෙන් හොඳ සාක්ෂි තිබේ. දුම්පානය කරන පියවරුන්ගෙන් පැවත එන දරුවන්ට උපත් ආබාධ, ලියුකේමියාව සහ සිරුරේ අධික මේදය ඇති වීමේ සම්භාවිතාව වැඩි ය.

Even after pregnancy male drinking can still play a role in whether a mother consumes alcohol (Credit: Serenity Strull/Getty Images/BBC)
ඡායාරූප ශීර්ෂ වැකිය,ගර්භණී සමයෙන් පසු මව මත්පැන් පානය කළත් නැතත් පිරිමි පුද්ගලයා මත්පැන් පානය කිරීම බලපෑම්සහගත ය.

“පිරිමි මත්පැන් පානය කිරීමේ යම් අදාළ බවක් මෙහි තිබුණ ද, බොහෝ පර්යේෂකයන් එකඟ වන්නේ මවකගේ මත්පැන් පානය පියවරුන් මත්පැන් පානය කිරීමට වඩා කළල වර්ධනය සම්බන්ධයෙන් වඩා වැඩි බලපෑමක් එල්ල කරන බව ය.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ළමා හා නව යොවුන් සෞඛ්‍ය පිළිබඳ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වන එලිසබෙත් එලියට් පවසන පරිදි “කාන්තාවගේ රුධිරයේ ඇති මධ්‍යසාරය වැදෑමහ හරහා කළලයට සෘජුව ම ගමන් කරන හෙයින්, එය කළලයේ වර්ණයට සෘජු බලපෑමක් ඇති කරයි.” ඇය දිගු කාලීනව කළලරූපී මත්පැන් වර්ණාවලියේ ආබාධ පිළිබඳ පර්යේෂකයෙකු වන අතර එහි මෑත ශාස්ත්‍රීය සමාලෝචනයක ජ්‍යෙෂ්ඨ සම කර්තෘවරියකි. ඇය පවසන්නේ, “එය මොළයට සහ මුහුණේ වර්ධනය තීරණය කරන මොළයේ කොටසට බලපාන අතර, මෙම සියලු ඉන්ද්‍රිය පද්ධති, පෙනහලු, හදවතේ, කන් සහ ඇස් ආදියෙහි වර්ධනයට එය බලපායි.

මිනිසුන් මීයන් නොවන බව සඳහන් කිරීම මෙහිදී වැදගත් වේ. මානව ක්‍රියාවලීන් අනුව සිදු විය හැකි දේ පිළිබඳ සමහර අදහස් අපට ලබා දීමට මීයන්ට බොහෝ විට කළ හැකි නමුත්, මෙය නියත වශයෙන් ම සිදුවෙමින් පවතින බව ඔවුන් අදහස් කරන්නේ නැත. මිනිසුන් පිළිබඳ සැලකීමේදී පියෙකුගේ මත්පැන් පරිභෝජනයේ දායකත්වය නිශ්චිතව තීරණය කිරීමට පෙර තවත් බොහෝ පර්යේෂණ අවශ්‍ය වේ.

“කෙසේ වෙතත්, පියාගේ මත්පැන් පානයෙන් සිදුවන කාර්යය නොසලකා හැරිය යුතු නැතැයි, එලියට් සහ තවත් පිරිස් පවසති. පර්යේෂණ තවමත් සිදුවෙමින් පවතින අතර, එලියට් විශ්වාස කරන්නේ මහජන සෞඛ්‍ය ව්‍යාපාර මෙය වඩාත් සෘජුව විසඳිය යුතු බව සහ ඒ සඳහා කාලය එළඹ ඇති බව යි. ඒ, පියාගේ මත්පැන් පානයෙන් හානියක් විය හැකි නිසා පමණක් නොවන බව ඇය පවසයි. එය සැබෑ ප්‍රයෝජනවත් වනු ඇති. ඊට හේතුව වන්නේ කාන්තාවක් ගර්භණී සමයේදී මත්පැන් පානය කිරීමේ ප්‍රධාන නිර්ණායකයක් වන්නේ ඇගේ සහකරු සිය සහකාරියගේ ගර්භණී සමයේදී මත්පැන් පානය කිරීමයි. එබැවින් මෙය දෙපාර්ශවයට ම වාසිදායක වනු ඇතැයි ඇය පවසයි.

මෙතෙක් කරන ලද පර්යේෂණ මත පදනම්ව බලන කල, මවකට නොව පියෙකුට මත්පැන් කොපමණ ආරක්ෂිත ද? – තම සහකාරිය දරුවෙකු පිළිසිඳ ගත හැකි බව ඔහු දන්නේ නම් මත්පැන් පානය කරන්නේද?

“අපිට ඒ දත්ත නැහැ. නමුත් ගෝල්ඩින් විශ්වාස කරන්නේ ”නිතර මත්පැන් භාවිත නොකිරීම බොහෝ විට හොඳයි” – විශේෂයෙන් ම පියෙකු තම මත්පැන් පානය අඩු කරන්නේ නම්, බිහි වන දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කළ හැකි ව්‍යායාම කිරීම සහ හොඳින් ආහාර ගැනීම වැනි අප දන්නා වෙනත් සාධක සමග ඒකාබද්ධව කටයුතු කරයි. ඔහු තවදුරටත් පවසන්නේ, “ඔවුන් මගේ පුත්‍රයින් නම්, මම ඔවුන්ට මත්පැන් සම්පූර්ණයෙන් ම නවත්වන්නැයි පවසනවා.”

“පියාගේ බීමත්කමේ නිශ්චිත බලපෑම තවමත් පැහැදිලි නැත. එහෙත් පර්යේෂකයෝ එක දෙයක් ගැන එකඟ වෙති. “කාන්තාවන් මත මෙම දැවැන්ත බර පැටවී තිබෙනවා,” ගෝල්ඩින් පවසයි. “නමුත් පිරිමි සෞඛ්‍යය කළල රූපය වර්ධනයට වැදගත් වේ. දරුවාගේ සෞඛ්‍යයට සහය දැක්වීමට දෙපාර්ශවයට ම වගකීමක් ඇත.”

මූලාශ්‍රය – බී.බී.සී. සන්දේශය

Related Posts