ආනයනික මැණික් සඳහා අය කෙරුණු විශේෂ සේවා ගාස්තුව අඩු කෙරේ
- Editor
- January 19, 2026
- පුවත් සහ වාර්තා
- Business
- 0 Comments
ආනයනික මැණික් පාර්සලයකට කඩිනම් නිශ්කාශන ගාස්තුවක් ලෙස අය කරන ලද ඇමරිකානු ඩොලර් 200ක විශේෂ සේවා ගාස්තුව 2026 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය එස්. පී. චමින්ද මහතා පවසයි.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයට අදාළ කරුණු සම්බන්ධයෙන් අද (19) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව හෙළි කළේය.
මැණික් ආනයනය කිරීමේදී පනවනු ලබන වැට් සහ SSCL අගයන් තක්සේරු කරන ක්‍රමය වෙනස් කර ආනයනය කරන පුද්ගලයන්ට එදාට වඩා සහනයක් ලබාදීමට කටයුතු කර ඇති බව කී සභාපතිවරයා 2023,2024 සහ 2025 දී මැණික් ආනයනය ඉතා අඩු මට්ටමක පැවති බව ද මේ නිසා අපනයනයට ද විශාල බලපෑමක් සිදුවූ බව ද පැවසුවේය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා, “අපනයනයට අවශ්‍ය රළු මැණික් 2023ට පෙර වෙනත් රට වලින් ලංකාවට ආනයනය කළා. එලෙස රැගෙන ආ ප්‍රමාණය වැට් එක හඳුන්වා දීමත් සමඟ ඉතා විශාල වශයෙන් අඩු වුණා. 2024 ජනවාරි 01 සිට ආනයනය කරන මැණික් පාර්සලයේ ඇති මැණික් වල වටිනාකමට 18%ක් වැට් එක වශයෙන් ද 2.5%ක් SSCL ලෙස ද ගණනය කළ අතර එම අයකිරීම වටිනාකම මත පදනම් වුණා. පසුගිය කාලයේ පැවති වැට් බද්ද සමඟ සැසඳීමේ දී මෙම ගාස්තු අඩු කිරීම හේතුවෙන් ඉතා සුළු මුදලකට රළු මැණික් ආනයන සිදු කිරීමට හැකි වෙනවා. මේ වන විට ආනයනය කරන රළු මැණික් වලට පනවන බදු ඉතාමත් ලිහිල් සහ සරල කර තිබෙනවා. එමනිසා කිසිදු කෙනෙකුට මැණික් ගෙන්වීමේ දී මැණික්වල වටිනාකම සහ අයකරන බදු සම්බන්ධයෙන් අපහසුතාවයකට පත් වෙන්නෑ. ඕනම කෙනෙකුට පසුගිය කාලයට සාපේක්ෂව සුළු මුදලකට මැණික් හා ස්වර්ණාභරණ අපනයනය කළ හැකියි. 2024, 2025 කාලය තුළ මෙම කර්මාන්තය සෙමින් තායිලන්තය, හොංකොං සහ ඩුබායි වැනි වෙනත් රටවලට යාමට පටන් ගත්තා. රළු මැණික් ආනයන බදු ලිහිල් සහ සරල කිරීමට මෙයත් ප්‍රධාන හේතුවක් වුණා”.
ලෝකයේ ඇති මැණික් ප්‍රදර්ශන සම්බන්ධ දින දර්ශනයට මෙරට මැණික් ප්‍රදර්ශන ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව ද මැණික් සංගම් එකතු කර ගනිමින් මහා පරිමාණ අන්තර්ජාතික මැණික් ප්‍රදර්ශනයක් ලංකාව තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද හෙළි කළ සභාපතිවරයා මෙම ප්‍රදර්ශනය ලෝකයේ ඇති මැණික් ප්‍රදර්ශන සම්බන්ධ දින දර්ශනයට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව ද වැඩිදුරටත් පැවසුවේ ය.

