‘අපි තමා රාජ්‍ය සේවකයින්ට හොදටම කළේ ‘ – රාජ්‍ය පරිපාලන ලොක්කෝ කියන කතා

Spread the love
  • ඒ වෙනුවෙන් ජනපතිගේ උපදෙස් ඉවහල් වුණා – ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත.
  • රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය තනතුරු පුරප්පාඩු ක්‍රමානුකූලව පිරවීමට කටයුතු කළා – අතිරේක ලේකම් (රාජ්‍ය පරිපාලන) සහ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්.
  • සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා රජයේ නිවාඩු නිකේතන සහ සංචාරක බංගලා ලබා දීමට කටයුතු කරනවා – අතිරේක ‍ලේකම් (අභ්‍යන්තර පාලන).
  • ගම්පහ නිල පියස ව්‍යාපෘතියේ සියළුම නිවාස ඒකක නිවාසලාභීන් වෙත වෙන් කර අවසන් – අතිරේක ලේකම් (ස්වදේශ කටයුතු).
  • මැයි මාසයේ සිට විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ප්‍රමාදයකින් තොරව ගෙවීමට කටයුතු කර තිබෙනවා – විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්.

කොරෝනා වසංගත තත්ත්වය හා දරුණු ආර්ථික අර්බුදය හමුවේ වුවද කිසිදු සේවක හෝ වැටුප් කප්පාදුවකින් තොරව රාජ්‍ය සේවය ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වීම ජයග්‍රහණයක් බවත් ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ලද උපදෙස් ඉවහල් වූ බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙසේද පැවසීය.

පසුගිය වසර දෙකක කාලය ඉතා දුෂ්කර වූත්, අභියෝගාත්මක වූත් කාලයක් ලෙස හැඳින්විය හැකියි. අප මුහුණ දුන් කොරෝනා වසංගත තත්ත්වය හා දරුණු ආර්ථික අර්බූදය හමුවේ රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීමේ අභියෝගයට මුහුණ දීමට සිදු වුණා. ඒ වගේම ඇතැමුන් රැකියා කප්පාදු කිරීමට සිදු වනු ඇතැයි උපකල්පනය කර තිබුණා. රාජ්‍ය සේවය අවුල් වෙයි, කඩා වැටෙයි කියා සිතුවා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ උපදෙස් මත රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා‍ ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතාගේ මඟ පෙන්වීමෙන් සිදු කළ මනා කළමණාකාරීත්වය හේතුවෙන් රාජ්‍ය සේවය ආරක්ෂා කර ගැනීමට හැකි වී තිබෙනවා. සැබැවින්ම එය විශාල ජයග්‍රහණයක් බව කිව යුතුයි. ඒ සඳහා රාජ්‍ය‍ සේවයේ මෙන්ම මෙරට සියලු පුරවැසියන්ගේ ද පූර්ණ සහාය හිමි වූ බවද කෘතඥපූර්වකව සිහිපත් කරනවා.

මේ දවස්වල මැතිවරණය ගැන බොහෝ ස්ථානවල කතා කරනවා. මැතිවරණ පැවැත්විය හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමට අප අමාත්‍යාංශය විශාල කාර්යභාරයක් ඉටු කළ බව කිව යුතුයි.

අතිරේක ලේකම් (රාජ්‍ය පරිපාලන) සහ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආලෝක බණ්ඩාර මහතා
කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් 2020 – 2022 කාලය තුළ රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සීමා කරනු ලැබුවා. ඒ වගේම 2022 වසරේදීම රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් අත් හිටවනු ලැබුවා. එම තත්ත්වය රාජ්‍ය සේවයේ කාර්යය මණ්ඩල සමාලෝචනය සඳහා අවස්ථාව සලසා දෙන දෙනු ලැබුවා.

ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් දීප ව්‍යාප්ත සේවා 6කට, ඒකාබද්ධ සේවාවලට, ග්‍රාම නිලධාරි සේවය ඇතුළු සේවා ගණනාවකට බඳවා ගැනීම් සිදු කිරීමට තීරණය කළා. එම බඳවා ගැනීම්වලට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ මුදල් අමාත්‍යාංශය වැනි ආයතනවලින් විධිමත් අනුමැතීන් සහ එකඟතා ලබා ගෙන පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව මත පමණක් පදනම්ව එම කටයුතු සිදු කරනු ලබනවා. ඒ අනුව කාර්ය මණ්ඩල සමාලෝචනයක් තුළ අත්‍යවශ්‍ය තනතුරු පුරප්පාඩු ක්‍රමානුකූලව පිරවීම සඳහා අප අමාත්‍යාංශය කටයුතු කළා. ඒ වගේම විභාග පැවැත්විමේ ප්‍රමාදය මඟ හරවා ගැනීමට කාර්යක්ෂමතා කඩඉම් විභාග ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය යටතේ පැවැත්වීමටද කටයුතු කළා. තවද වසරකට දෙවතාවක් සිදු කරනු ලබන විශේෂ ශ්‍රේණියේ උසස්වීම් ලබා දීමේ ක්‍රියාවලිය මෙම ජූලි 01 වන දා සිට කඩිනම් කර තිබෙන බවද සඳහන් කළ යුතුයි.

අතිරේක ‍ලේකම් (අභ්‍යන්තර පාලන) මහේෂ් ගම්මන්පිල මහතා,

රජයේ ආයතන සතු නිවාඩු නිකේතන සහ සංචාරක බංගලා උපරිම ඵලදායි අයුරින් ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් වැඩ පිළිවෙලක් සකස් කිරීමට 2024 අයවැය මගින් යෝජනා කර තිබෙනවා. ඒ අනුව රජයේ නිවාඩු නිකේතන සහ සංචාරක බංගලා අතරින් ඌන උපයෝජිත තත්ත්වයේ අවම නඩත්තුවකින් පවතින ඒවා සහනදායි පදනමක් මත රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට ලබා දෙන අතරම රජයට ආදායමක් ලැබෙන අයුරින් උනන්දුවක් දක්වන පාර්ශව වෙත ද ඒවා වෙන් කිරීමට අවස්ථාවක් ලබා දීම අපේක්ෂා කරනවා. දැනට රජයට අයත්ව පවතින නිවාඩු නිකේතන සහ සංචාරක බංගලා 720කට වැඩි ප්‍රමාණයක් මඟින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා ආසන්න වශයෙන් කාමර 3750ක් සැපයිය හැකි බව හඳුනාගෙන ඇති අතර ඒ සඳහා 2024 අයවැය මඟින් රුපියල් මිලියන 600ක් වෙන් කර තිබෙනවා.

ඒ වගේම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සංචාරක බංගලා හා නි‍වාඩු නිකේතන මාර්ගගතව වෙන් කිරීම හා ඒ සඳහා ගෙවීම් සිදු කිරීමට පහසුකම් සළසා තිබෙනවා.

අතිරේක ලේකම් (ස්වදේශ කටයුතු) ඩබ්ලිව්.එම්.ඒ.පී.බී. වන්නිනායක මහතා,

රජයේ නිලධාරීන් සඳහා නේවාසික පහසුකම් සැපයීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වූ නිවාස ඒකක 32කින් සමන්විත ගම්පහ නිල පියස ව්‍යාපෘතිය 2023 වර්ෂයේ නිම කිරීමෙන් අනතුරුව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවා තෝරාගැනීම් සිදුකර මේ වනවිට සියළුම නිවාස ඒකක නිවාසලාභීන් වෙත වෙන් කිරීම අවසන් කර තිබෙනවා.

තවද මේවන විට මඩකලපුව නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩැනගිල්ලේ කටයුතු 92%ක් පමණ අවසන් කර ඇති අතර මහියංගනය, හාලිඇල, හෝමාගම, ලුණුගම්වෙහෙර සහ ජා ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලිවල ඉදිකිරීම් ප්‍රගතියද 100% පමණ වන බව කිව යුතුයි.

එසේම මුන්දලම සහ මහවිලච්චිය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලිවල කටයුතු රුපියල් මිලියන 369ක පිරිවැයක් දරා අවසන් කර පසුගිය මාර්තු සහ ජූනි මාසවල දී විවෘත කරනු ලැබුවා.

2023 වර්ෂයේ දී කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල සහ වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැඟිලි ද ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම්පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ද ඉදි කර අවසන් කර තිබෙනවා.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා,

මෙම වසරේ ජනවාරි 02 වනදා සිට ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ විශ්‍රාම වැටුප් සංශෝධනයන්ට අදාළ අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ යොමු කිරීම සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා.

ඒ වගේම මුහුදු ආරක්ෂක සේවයේ හෝ නාවික යාත්‍රාවල සේවය කරනු ලබන රජයේ විශ්‍රාමිකයින් සඳහා මෙරටින් පිටවීමට ප්‍රථම සිට ජීවිත සහතිකය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දිය හැකි අතර එසේ නොමැති නම් ගොඩ බසින රටක පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලයට හෝ වෙළඳ නාවික ලේකම් කාර්යාලය හරහා හෝ සහතික කර ලබා ගත් ජීවිත සහතික ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ඉදිරිපත් කිරීමට ඉඩකඩ සලසා දී තිබෙනවා.
එසේම විශ්‍රාම වැටුප් වැඩිපුර ගෙවීම් අයකර ගැනීම කළමනාකරණය කිරීම සඳහා නව තොරතුරු තාක්ෂණ පද්ධතියක් හඳුන්වා දීම වගේම විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ප්‍රමාදයකින් තොරව ගෙවීමට මේ වන විට කටයුතු සම්පාදනය කර තිබෙනවා.

තවද විශ්‍රාමිකයින්ට දුම්රිය ආසන වෙන් කරවා ගැනීම සඳහා දුම්රිය ස්ථාන වෙත නොගොස් දුම්රිය ආසන වෙන් කරවා ගත හැකි පරිදි මාර්ගගත පහසුකම් සලසා දී තිබෙනවා.

Related Posts