අපරාධ නීතිය – සිවිල් නීතිය සහ වාණිජ නීතිය ප්‍රතිසංස්කරණයට

Spread the love

ශ්‍රී ලංකාවේ දැනට පවතින අපරාධ නීතිය, සිවිල් නීතිය, සහ වාණිජ නීතිය ප්‍රතිසංස්කරණයට  අදාළ පූර්ණ කාලීන අනු කමිටු 3 ක් මේවන විට  ක්‍රියාත්මක වන බවත් තවත් විශේෂඥ කමිටුවක් මගින් නව ව්‍යවස්ථාව කෙටුම්පත්කරන බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ (11) පාර්ලිමේන්තුවේදී පැවති අධිකරණ අමාත්‍යාංශයීය  උපදේශක කාරක සභාවේදී පැවසීය.

මේඅනුව සමස්ත අධිකරණ පද්ධතියේම විශාල ප්‍රතිසංස්කරණයක් සිදු වෙමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කමිටුව අමතමින් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් සහ හිටපු මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ටිකිරි කේ. ජයතිලක මහතා  කියා සිටියේ පුද්ගලයෙකු අපරාධකරුවකු  ලෙස නම් කිරීම වෙනුවට වගකිවයුතු පුරවැසියෙකු ලෙස සමාජගත කිරීම සදහා අපරාධ නීතිය සහ යුක්තිය පිළිබඳ සංකල්පය සමග  බැඳී ඇති  ප්‍රජා මූලික විශෝධනය වැදගත්වන බවයි.

මෙම පරමාර්ථය උපදේශක කමිටුවට ස්ථර දෙකක් හරහා කළ හැකි බව සහකාර මහලේකම්වරයා පෙන්වා දුන්නේය. පළමුවැන්න අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා පෙළඹවීම සඳහා දේශපාලන නායකත්වය ඇතුළත් දේශපාලන ස්ථරය බවත්  දෙවන ස්ථරයට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නිලධාරීන් සහ වෘත්තිකයන් ඇතුළත් වන අතර අදාළ ප්‍රතිසංස්කරණ සඳහා ඔවුන්ගේ විශේෂඥ දැනුම ලබාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙහිදී අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, වඩාත් අර්ථාන්විත ප්‍රතිළුලයක් උදෙසා තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වීමට කැමති සියලු දෙනා සම්බන්ධ කර ගැනීම අමාත්‍යාංශයේ අරමුණ බවයි.

බන්ධනාගාරවල රැදවුවන් සදහා ධාරිතාව 11,000 ක් පමණ වුවද   කොවිඩ් වසංගතය ඇතිවීමට පෙර සහ සාමාන්‍ය තත්වයන් යටතේ දළ වශයෙන් 30,000 – 33,000 අතර සංඛ්‍යාවක් දක්වා බන්ධනාගාරවල සිටි බවත් බහුතරය රිමාන්ඩ් සිරකරුවන් පමණක් වන අතර, වැරදිකරුවන් වන්නේ ආසන්න වශයෙන් 8000 ක් පමණක් පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය.

එසේම රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින 90% ක් හෝ ඊට වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මිස මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අපරාධකරුවන් නොවන බවත්  ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

රජයේ රස පරීක්ෂක  දෙපාර්තමේන්තුවේ 2018-2019 සංඛ්‍යාලේඛන අනුව මත්ද්‍රව්‍ය  සන්තකයේ  තබා ගැනීම සම්බන්ධව ඇත්තේ නඩු 114 ක් පමණක් බව මෙහිදී අනාවරණය විය. එසේම අත්අඩංගුවට ගත් අයගෙන් 99% ක් එනම්  ආසන්න වශයෙන් 3300 ක රැදවූවන්   සතුව  තිබී ඇත්තේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2-5 අතර ප්‍රමාණයක්  පමණක් බවත් මෙහිදී හෙළිවිය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධිකරණ ඇමතිවරයා ඉහත සඳහන් වූ නඩු ප්‍රමාණය නිසා මත්ද්‍රව්‍ය වලට අදාළ මහා පරිමාණ අපරාධ නඩු දික්ගැස්සෙමින් තිබෙන බව පැහැදිලි වන්නේ යැයි පැවසීය. එවැනි කුඩා චෝදනා මත රිමාන්ඩ් භාරයට පත්ව සිටින පුද්ගලයන් වගකිවයුතු පුරවැසියන් ලෙස ප්‍රජා විශෝධනය යටතේ සමාජ ගත කිරීම, එම පුද්ගලයන් දරුණු ගනයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සිර ගෙවල් වලදී සම්බන්ධ වීමට ඉඩ තැබීමට වඩා වැදගත් වන බවද ඇමතිවරයා පැවසීය.

වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට ගෙන යාම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් අක්කර 250 ක් ලබා දී ඇති බව පැවසූ බන්ධනාගාර කළමණාකරන හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ ඇති භූමි ප්‍රමාණය වන අක්කර 38 මෙන් දහ ගුණයකින් විශාල භූමියක් බවද සඳහන් කළේය.

මෙහිදී කරුණු දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා රස පරීක්ෂක වාර්තාව නිකුත් වීම සැළකිය යුතු අන්දමකින් ප්‍රමාද වන බැවින් නඩු කටයුතු වල ප්‍රමාදයටද එය බලපා ඇති බවත් පෙන්වා දුන්නේය. එය පිළිගත් අධිකරණ අමාත්‍යවරයා මෙම තත්ත්වය නිවැරදි කිරීමට පියවර ගෙන තිබෙන බව පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා අදහස් දක්වමින් මෙරට ශිෂ්‍ය පරම්පරාවට ද නීතිය පිළිබඳව කුඩා වයසේ සිටම අවබෝධයක් ලබා ගැනීම‍ සඳහා නීතියට සම්බන්ධ විෂයයන් පාසල් විෂය ධාරාවට එක් කිරීමට පියවර ගන්නා ලෙස යෝජනා කළේය.

අධ්‍යපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා  මෙන්ම අධිකරණ ඇමතිවරයාද මෙම යෝජනාව පිළිබඳව අවධානය යොමු කර නීතිය පිළිබඳ කරුණු පාසල් විෂය මාලාවලට එක් කිරීමට පියවර ගන්නා බව සඳහන් කළහ.

නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්විය යුතු බව අනිවාර්ය කර තිබීම පිළිබඳව කරුණු දැක්වූ ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රිවරයා ජපානය වැනි රටවල් නීතිය පිළිබඳ අධ්‍යාපනය එම රටවල මව් භාෂාවෙන්ද සිදු කරන බව උදාහරණ ලෙස පෙන්වා දුන්නේය. කෙසේ නමුත් මේ සම්බන්ධව තීරණ ගත යුත්තේ නීති අධ්‍යාපනය පිළිබඳව කවුන්සිලය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම රැස්වීමට නීතිඥ සාගර කාරියවසම්, උදයන කිරිඳි‍ගොඩ, මධුර විතානගේ, ජී.ජී. පොන්ම්බලම්, චාර්ල්ස් නිර්මලනාදන් යන මන්ත්‍රීවරුද එක්ව සිටියහ.

RSL

Related Posts