අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජාතික අපනයන සංවර්ධන දැක්ම 2026 – 2030 පිළිබඳ ජාතික උපදේශන සමළුව පවත්වයි

Spread the love

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් පසුගියදා ජාතික අපනයන සංවර්ධන දැක්ම 2026-2030 පිළිබඳ ජාතික උපදේශන සමළුව එහි ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී.

රටේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය කරන ප්‍රමුඛතම ජාතික ආයතනය ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය, ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන මත පදනම් වූ ආර්ථික පරිවර්තනයට මඟ පෙන්වීම සඳහා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම මේ වනවිට සකස්කරමින් පවතී. මෙම සමළුවේ අරමුණ වූයේ මෙම කාර්යයන් පිළිබඳ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තුළ දැනුවත් භාවයක් ඇති කිරීම සහ විවිධ අංශවල පාර්ශ්වකරුවන්ගේ සහයෝගීතාව ජාතික ආර්ථික ඉලක්ක සාධනය කර ගැනීම සඳහා සක්‍රියව ලබා ගැනීම සහ 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආදායමක් ලබා ගැනීම සදහා අවශ්‍ය දායකත්වය ලබාගැනීමයි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ඉදිරි වසරවල උපායමාර්ගික ප්‍රමුඛතා ඉස්මතු කරමින් ජාතික අපනයන සංවර්ධන දැක්ම ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික දැක්ම පිළිබඳව ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට වටිනා අවබෝධයක් ලබා දුන්හ.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු චතුරංග අබේසිංහ මහතා, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ගරු ඉංජිනේරු එරංග වීරරත්න මහතා, භාණ්ඩාගාර සහ මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අදහස් දක්වමින් රජයේ පුළුල් ආර්ථික දැක්ම පිළිබද අදහස් ඉදිරිපත් කළ අතර අපනයන පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළහ. අපනයන අංශයේ සහ පුළුල් ආර්ථිකයේ තිරසාර වර්ධනය ඉදිරියට ගෙන යාමට ශක්තිමත් ආයතනික හවුල්කාරිත්වය සහ සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය බව ඔවුන් තවදුරටත් අවධාරණය කළහ.

රාජ්‍ය සහ පෞද්ගලික අංශ යන දෙඅංශයේම ව්‍යාපාර සහ ආයතන විසින් තොරතුරු මත පදනම් වූ තීරණ ගැනීමට සහාය වීම සඳහා නිර්මාණය කරන ලද දත්ත මත පදනම් වූ මෙවලමක් වන අපනයන කාර්ය සාධන දර්ශකය නිල වශයෙන් එළිදක්වීම ද මෙහිදී සිදුවිය.

වැඩසටහනය සමගාමීව, ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 ජාත්‍යන්තර ප්‍රදර්ශනය පිළිබඳව දැනුවත් කිරීමද සිදුකරන ලදී. රටේ ප්‍රමුඛතම ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය 2026 ජූනි 18 සිට 21 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතය. මෙම ප්‍රමුඛ අවස්ථාව මගින් ශ්‍රී ලංකාවේ අපනයන හැකියාව, ආයෝජන අවස්ථා සහ සංස්කෘතික විවිධත්වය ගෝලීය ප්‍රේක්ෂකයන් වෙත ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපතිතුමාගේ ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්/රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් 150කට වැඩි පිරිසක් මෙම සමළුවට සහභාගී වූහ.

 

Tags: