අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජනපති දුන් සහතිකය

Spread the love

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේ නොවුණහොත් අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් රජය සිදු කරන කැපවීමේ ප්‍රතිලාභයක් රටට නොලැබෙන බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රි ලංකාව ඉදිරියටත් නොදියුණු රටක් නොවිය යුතු බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වන සංවත්සරය නිමිත්තෙන් අද (24) පැවති උත්සවයට එක්වෙමිනි.

නව තාක්ෂණයට ගැලපෙන ආකාරයට අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවද සඳහන් කළේය.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විද්‍යාලයීය තූර්ය වාදක කණ්ඩායම විසින් මහත් හරසරින් පිළිගත් අතර විද්‍යාලයේ ශිෂ්‍ය භට බලකාය විසින් ජනාධිපති උත්තමාචාරයක්ද පිරිනමන ලදී.

විද්‍යාලයීය රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද ජනාධිපතිවරයා එක් විය.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය 106 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන “X-ban” 2024 අධ්‍යාපන විද්‍යා තාක්ෂණ හා වෙළද ප්‍රදර්ශනය විවෘත කෙරුණේ ද ජනාධිපතිවරාය අතිනි.

විදුහල්පති කසුන් ගුණරත්න මහතා විසින් X-ban” 2024 සමරු කලාපය ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.
අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ ශිෂ්‍යයන්ට තිළිණ සහ සහතිකපත් ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි .

Related Posts