ඉන්දියාව විසින් පාකිස්තානයේ සිට ක්‍රියාත්මක වන නාලිකාවක් ඇතුළු යූ ටියුබ් පදනම් කරගත් ප්‍රවෘත්ති නාලිකා අටක් අවහිර කර ඇත.මහජන සාමයට,වාර්ගික සංහිඳියාවට සහ ඉන්දියාවේ විදේශ සබඳතාවලට හානිකර අසත්‍ය අන්තර්ගතයන් බෙදා හැරීමට සම්බන්ධ බව අනාවරණය වීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.

2021 තොරතුරු තාක්ෂණ රීති යටතේ හදිසි බලතල භාවිතා කරමින් ඉන්දීය තොරතුරු සහ විකාශන අමාත්‍යාංශය විසින් යූ ටියුබ් පදනම් කරගත් ප්‍රවෘත්ති නාලිකා අටක් (8) අවහිර කිරීම සඳහා 2022.08.16 දින නියෝග නිකුත් කර ඇත.එක් (1) ෆේස්බුක් ගිණුමක් සහ ෆේස්බුක් පළ කිරීම් දෙකක් ඒ අතර වේ. අවහිර කරන ලද යූ ටියුබ් නාලිකාවල සමුච්චිත නරඹන්නන් සංඛ්‍යාව කෝටි 114 ඉක්මවන අතර, මිලියන 85 කට අධික පරිශීලකයින් විසින් දායක වී ඇති බව ඉන්දීය තොරතුරු සහ විකාශන අමාත්‍යාංශය විසින් බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද මාධ්‍ය සටහනක සඳහන් වේ.අමාත්‍යාංශයට අනුව, තොරතුරු තාක්ෂණ නීති-2021 යටතේ මෙම නාලිකා අවහිර කර ඇත.

ඉන්දියාවේ ආගමික ප්‍රජාවන් අතර වෛරය පැතිරවීම මෙම යූ ටියුබ් නාලිකා විසින් ප්‍රකාශයට පත් කරන ලද අන්තර්ගතයේ අරමුණ විය. අවහිර කළ යූ ටියුබ් නාලිකාවල විවිධ වීඩියෝවල අසත්‍ය ප්‍රකාශ හා ව්‍යාජ පුවත් ද ඇතුළත් විය.එවැනි අන්තර්ගතයන් රට තුළ වාර්ගික අසමගිය ඇති කිරීමට සහ මහජන සාමයට බාධා කිරීමට හැකියාව ඇති බව අනාවරණය කර ගන්නා ලදී.

රජය විසින් ආගමික ගොඩනැගිලි කඩා බිඳ දැමීම, ආගමික උත්සව සැමරීම තහනම් කිරීම සහ ඉන්දියාවේ ආගමික යුද්ධයක් ප්‍රකාශ කිරීම වැනි අසත්‍ය ප්‍රකාශ ද ඔවුන් ඉදිරිපත් කළ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

අවහිර කරන ලද නාලිකා අතර පාකිස්තානය පදනම් කරගත්- නිව්ස් කි දුනියා ඇතුළත් වේ.ඊට අමතරව ලොක්තන්ත්‍ර රූපවාහිනිය,U&V TV, ඒඑම් රස්වි,ගරුව්ෂාලි පවන් මිතිලාන්චල්,Top5TH

සර්කාරී අප්ඩේට්, සබ් කුච් දෙඛො ආදිය ද තහනමට ලක්වූ නාලිකා අතර වේ.

එසේම, යූ ටියුබ් නාලිකා ජම්මු සහ කාශ්මීරය,ඉන්දියානු සන්නද්ධ හමුදාවන්, වැනි විවිධ විෂයයන් පිළිබඳ ව්‍යාජ ප්‍රවෘත්ති පළ කිරීමට ද භාවිතා කරන ලදී.

ඉන්දියාවේ ස්වෛරීභාවයට සහ ඒකාග්‍රතාවයට, රාජ්‍යයේ ආරක්‍ෂාවට, විදේශ රාජ්‍යයන් සමඟ ඉන්දියාවේ මිත්‍ර සබඳතාවලට සහ රටේ මහජන සාමයට හානිදායක බව අන්තර්ගතය මගින් සනාථ වන බව පෙනී යන හෙයින් “අමාත්‍යාංශය විසින් අවහිර කරන ලදී.

අව්‍යාජ, විශ්වාසදායක සහ ආරක්ෂිත අන්තර්ජාල ප්‍රවෘත්ති මාධ්‍ය පරිසරයක් සහතික කිරීමට සහ ඉන්දියාවේ ස්වෛරීභාවය සහ ඒකාග්‍රතාවය, ජාතික ආරක්ෂාව, විදේශ සබඳතා සහ මහජන සාමය අඩපණ කිරීමේ ඕනෑම උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ඉන්දීය රජය කැපවී සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ

අමාත්‍යාංශය විසින් 2021 දෙසැම්බර් මාසයේ සිට, යූ ටියුබ් පදනම් කරගත් ප්‍රවෘත්ති නාලිකා 102 ක් සහ තවත් සමාජ මාධ්‍ය ගිණුම් කිහිපයක් අවහිර කිරීමට උපදෙස් නිකුත් කර ඇත.