සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සකස් කර ඇත්තේ ගජමිතුරු කල්ලියක්…!

Spread the love

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සැකසීම සඳහා සම්බන්ධ කරගෙන ඇති පුද්ගලයන් ගජමිතුරු සංකල්පයෙන් තෝරාගෙන ඇති බවත්, ඔවුන්ට සාමාන්‍ය පෙළ විෂය මාලාවේ වපසරිය පිළිබඳව හෝ තේරුමක් නොමැති වීම තුළින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව නිර්මාණය වී ඇති බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි.

අදින් අවසන් වන සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රවල ඇතිව තිබු ගැටලු ඇති වීමට හේතු හා එමගින් දරුවන්ට සිදුවන බලපෑම පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණ පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පලවිය.

මෙම මාධ්‍ය හමුව සඳහා ගුරු අධ්‍යාපනඥ, නිදහස් අධ්‍යාපනය සුරැකීමේ සංවිධානයේ සභාපති, එක්සත් ජනරජ පෙරමුණු මධ්‍යම කාරක සභික බෝසෙත් කළහේපතිරණ මහතා, විද්‍යා විෂය පිළිබඳ ප්‍රවීණ ආචාර්ය ප්‍රියන්ත ජයසේකර මහතා, ප්‍රවීණ ඉංග්‍රීසි ආචාරිනී රේණුකා කහඳවල මහත්මිය හා සිංහල භාෂා පිළිබඳව ප්‍රවීණ ආචාර්ය නාලක මහතා සම්බන්ධ විය.

එහිදී අදහස් දැක්වූ බෝසෙත් කළහේපතිරණ මහතා පවසා සිටියේ පුද්ගලයන් රැකියා ගත කිරීමේදී, උසස්වීම් ලබාදීමේදී, උසස් පෙළ ඇතුළු රට තුළ පවත්වන බොහෝ විභග සඳහා තීරක සාධකයක් බවට පත්ව ඇති සාමාන්‍ය පෙළ විභාගයේ මෙවැනි ගැටලුවක් ඇතිවීම “කිරි හට්ටියට ගොම වැටුණා සේ” වන බවයි.

එමෙන්ම රට තුළ ඇතිවූ විවිධ සිදුවීම හේතුවෙන් 2023 වර්ෂයට අදාළ සාමාන්‍ය පෙළ විභාගය මේ මොහොතේ පැවැත්වීමට සිදුවූ බවත්, මේ හේතුවෙන් පාසල් විෂය මාලාව තුළ යම් පරාසයක් පමණක් අධ්‍යනය කළ යුතු බවට චක්‍රලේඛණ පැමිණි මුත් විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී එම පරාසයෙන් එපිට ප්‍රශ්න සකස් කොට ඇති බවට කළහේපතිරණ මහතා චෝදනා කරන ලදී.

“කොරෝනා වසංගතය නිසා චක්‍රලේඛයක් තුලින් විෂය පරාසය සීමා කරලා දුන්නා. මෙන්න මේ පරාසයෙන් තමයි ප්‍රශ්න පත්‍ර හදන්න ඕනි කියලා. නමුත් ප්‍රශ්න පත්‍ර හදපු ඒ විද්වතුන් කළේ මොකක්ද? ඒ සීමාවන් දැන හිටියේ නෑ. පරාසය දැන හිටියේ නෑ. හැදුවා සීමාවෙන් එපිට ප්‍රශ්න. විද්‍යා ප්‍රශ්න පත්‍රයට ඍජුව මේ බලපෑම කරලා තියෙනවා. එතකොට මේ වගේ තත්වයන් තුළ කවුද අසරණ වෙන්නේ? දරුවෝ? අධ්‍යාපනය කෙරෙහි තියෙන විශ්වාසය, ළමයි සෑහෙන්න මහන්සිවෙලා, පාඩම් කරලා ඇවිල්ලා, තමුන් පාඩම් කරපු පරාසයට එපිටින් ප්‍රශ්න පත්‍රය සකස් වෙනකොට, ළමයින්ගේ මානසිකත්වය මොකද වෙන්නේ? අපි දැනගන්න ඕනේ, දරුවොත් එක්ක වැඩ කරන්නේ භෞතිකව විතරක් නෙමෙයි. ඒ දරුවන්ගේ මානසිකත්වය තේරුම් ගන්න ඕනේ.”

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුරු අධ්‍යාපනඥ, එක්සත් ජනරජ පෙරමුණු මධ්‍යම කාරක සභික බෝසෙත් කළහේපතිරණ මහතා,

සෙසු අමාත්‍යංශය වලට සාපේක්ෂව, අධ්‍යාපන අමාත්‍යංශය ඉතා තීරණාත්මක අමාත්‍යංශයක්. මොකද රටේ අනාගතය තීරණය කරන අමාත්‍යංශයක්. වර්තමානයේ ගුරු ක්ෂේත්‍රයට, ගුරුවරුන්ගේ ප්‍රවේශයත් ක්‍රමයෙන් අඩු වෙලා තියෙන්නේ. දැන් හතළිස්දාහක, පනස්දාහක ලොකු ගුරු හිඟයක් තියෙනවා. එහෙම තත්වයක් උඩ මේ දරුවන්ව සංවිධානය කරලා මෙහෙයවන්නේ. එච්චර වගකිවයුත්තක් උර දීලා, පාසල් මට්ටමින් සිදුවෙනකොට විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යංශය මේ විභාග පටිපාටිය වගකීමෙන් සිදුකරයි කියන විශ්වාසයක් අපි තුළ තිබුණා සහ තියෙනවා. අපි හිතුවා මේක එක වරක් දෙවරක් උනාම මගහැරෙයි කියලා. එතකොට මෙහෙම වෙනකොට, අපි කල්පනා කරනවා මේ වගකීමෙන් මේ කෙරෙහි අවධානය යොමු කරන්නේ නැද්ද කියලා.”

“අපි ඉතා ඕනෑකමින් කියනවා මේ වගේ විභාග පටිපාටියකට සූදානම් වෙනකොට මීට වඩා වගකීමෙන් මේ පිළිබඳ අවධානය යොමු කරන්න. අදාළ සුදුසු පුද්ගලයන් සුදුසු විදියට යොදාගන්න. දක්ෂතා තියෙන ඒ කුසලතා පූර්ණ පුද්ගලයෝ මේ ප්‍රශ්න පත්‍ර හදන කමිටුවලට යොමු කර ගන්නවා නම් යාවත්කාලීන වෙච්ච ගුරුවරු මේකට බද්ධ කරගන්නවානම් මේ ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ. යාවත්කාලීන වෙච්ච, ඒ ක්ෂේත්‍රයේ නියැලිච්ච, ගුරු සැසි වලට සම්බන්ධ වෙච්ච, විෂය මාලාවත් එක්ක කටයුතු කරන, ගුරු පුහුණුවල නියැලිලා ඉන්න, ළමයින්ට ඉගැන්වීම් කරන අය මේකට සම්බන්ධ වෙන්න ඕනේ. නමුත් ගුරුවරු වශයෙන් හිටියට ඇතැම් අය විශ්‍රාම ගිහිල්ලා සමහරවිට දශකයෙන් විතර ළමයින්ට උගන්වලා නෑ. විෂය මාලාවේ ප්‍රායෝගික අත්දැකීම් ලබලා නෑ. ඒ නිසා ඒ අයට සම්බන්ධ කරගෙන ප්‍රශ්න පත්‍ර හදන්ඩ යාමේ විපාක තමයි මේ පත්වෙලා තිබෙන්නේ. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යංශය මේ කෙරෙහි වගකීමෙන් අවධානය යොමු කරන්න කියලා අපි කාරුණිකව ඉල්ලනවා.”

“දැන් මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කරපු අයදුම්කරුවන් බලන්න. පසුගිය වර්ෂයට සාපේක්ෂව විශාල අඩුවීමක්. හැම අවුරුද්දෙම විශාල ප්‍රමාණයක් අයදුම් කරනවා. නමුත් මේ සැරේ හාරලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක්. එතකොට මේ කොච්චර අවදානමක් ද? එතකොට ඒකෙන් උසස්පෙළට එන ප්‍රමාණය තවත් අඩුවෙනවා. දැන් මේ අවුරුද්දේ 2025 උසස් පෙළ සඳහා ඉදිරිපත් වෙච්ච ළමයි ප්‍රමාණය අතිශය අඩුයි. පාසල් ළමයි දහය, පහළොව, විස්ස ඉන්නේ. එතකොට මේක තේරුම් ගන්න ඕනේ අධ්‍යාපනය හැරයාම වැඩියි. ක්‍රමයෙන් දරුවෝ අධ්‍යාපනයෙන් ඈත් වෙනවා. ඉතින් මේ වගේ සෙල්ලම් සිද්ධ වුනොත් අවසානයේ අපට නූගත් පරපුරකටයි රට බාර දෙන්න වෙන්නේ. ඒ නිසා උගතුන්ගෙන් තොර වියුක්ත සමාජයක් අපිට අනාගතේ දකින්න වෙන්නේ. ඒ නිසා දරුවන්ගේ අනාගතයත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ ප්‍රශ්න පත්‍ර හදන කටයුත්ත ඒ වගේ නිර්දේශිත ග්‍රන්ථ හදන කටයුත්ත සුදුසු කුසලතා පූර්ණ විද්වතුන්ගේ ගුරුවරුන්ගේ දායකත්වයෙන් සිදු කරන්න කියන කාරණය ඉල්ලනවා.”

Related Posts