භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට අදාළ මරණ පරීක්ෂණයේ සාක්ෂි සටහන් කරගැනීම දෙවන දිනට ඊයේ (21 ඔක්.) සිදුවූ අවස්ථාවේදී අධිකරණ භූමියේ දී අදහස් දක්වමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය විසින් ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාවේ නීතියක් පවතින බව තමන් විශ්වාස කරන බවත්, එම නීතිය විසින් හෝ සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය.
එසේ නොවුණහොත් තවත් B සැලැස්මක් පවතින බවත්, එවිට එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් ඇය අවධාරණය කර සිටියි.
මිනිසත්බවට නින්දාවක් වූ මිනිසුන් අතින් හිත හොඳ නායකයකු වූ තම පියා මෙරටට අහිමි වූ බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය එහිදී කියා සිටියාය.
තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ඉහළ පොලිස් නිලධාරියකු මාරුකර ඇති බවට ද දැනගන්නට ලැබුණු බව ද පැවසු ඇය, සිය පියාගේ ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුව කිසිදු අවස්ථාවක යටගැසීමට ඉඩ නොතබන බවද සිය පවුල වෙනුවෙන් ගෙනයන සටන දිගටම ගෙනයන බවද එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියාය.