සල්ලි මවන අඹ: ටොම් ජේ.සී වගාවට නිවැරදි මගපෙන්වීමක්

Spread the love

අතමිට සරු කරන ටොම් ඊ.ජේ.සි අඹ වගාව ”,  “ටොම් ඊ.ජේ.සි අක්කරයකින් වර්ෂයකට රුපියල් ලක්ෂ 30ක  ආදායමක් ”, අන්තර්ජාලයේ දැකිය හැකි පුවත් කිහිපයකි. එනම් ටොම් ජේසි අඹ වගාව යනු බොහෝ ආදායම් ලැබිය හැකි ඉතා පහසු ආදායම් මාර්ගයක් බව මේ පුවත දකින ඕනෑම අයෙකු  සිතීම වරදක් නොවේ. සැබැවින්ම  අධ්‍යයනය කළවිට එවැනි ආදායම් ලබාගත් ගොවීහු ද සිටිති.

දේශමාන්‍ය ටොම් එල්ලාවල මහතාගේ දීර්ඝ කාලීන පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස අල්පොන්සු අඹ ප්‍රභේදය පාදක කර ගනිමින් නිර්මිත ඉහළ වානිජ වටිනාකමකින් යුත් අඹ ප්‍රභේදයක් ලෙස ටොම් ජේසි අඹ හදුනා ගත හැකිය. එබැවින් ටොම් එල්ලාවල මහතාට සහ ඒ සදහා තාක්ෂණික සහය ලබා දුන් පිලිපීන ජාතික ජුවාන් කාලොස් මහතාට ගෞරවයක් ලෙස මෙම අඹ ප්‍රභේදය ටොම් එල්ලාවල ජුවාන් කාලොස් (Tom Ellawala Juan Calros ) අඹ ලෙස නම් කරන ලදි. ව්‍යවහාරයේ පහසුව සදහා මෙය ටොම් ජේසි, ටී.ජේ.සි.(TJC), ටොම් ඊ.ජේ.සි (Tom EJC ) යන නම් වලින් හදුන්වනු ලබයි. වර්තමානයේ වෙළඳපොලේ ටොම් ජේසි සඳහා ඉහල මිලක් ඇති බැවින් ගොවින් අතර ටොම් ජේසි අඹ ප්‍රභේදය ඉතා ජනප්‍රිය වී ඇත.

නමුත් අපි වගාවකට යොමු විය යුත්තේ එම වගාව පිළිබඳ නිසි අවබෝධයකින් මිස ලැබෙන ප්‍රතිලාභය ගැන පමණක් සිතා නොවේ. එකී වගාවේ මුලික පිරිවැය, නඩත්තු පිරිවැය, වෙළෙඳපොළ සැපයුම, වගා වපසරිය,පිළිබඳ හොද අවබෝධයක් තිබිය යුතු ය. වගා පිළිවෙත් නිසියාකාරව නොදැන අතමිට සරු කර ගැනීම හිතලුවක් පමණි. හුදෙක් රැල්ලට වගා කිරීමට යොමු වීමෙන් ගොවීන් අමාරුවේ වැටීමට ඉඩ ඇත.

ටොම් ජේසි  අඹ වගාව පිළිබඳ රාජ්‍ය හා පෞද්ගලික අංශයෙන්  සහ  ගොවින්ගෙන් ලබා ගත් තොරතුරු මත පදනම් ව අක්කරයක වියදම සහ ආදායම පිළිබඳ  දළ  ඇස්තමේන්තුවක් ලදි. අක්කරයක ටොම් ජේසි අඹ වගාවක් සදහා ආරම්භක අවුරුදු පහ තුළ බද්ධ පැල සදහා රු 60, 000ක්,විදුලිය හා ඉන්ධන සඳහා  රු. 10, 260ක්, ශ්‍රම පිරිවැය සඳහා රු 67,600ක්, පොහොර සඳහා රු. 263,230 , ඵල ආවරණ බැග් සඳහා රු 42 000ක් පමණ පිරිවැයක් වැය වේ. ආරම්භක අවුරුදු පහ තුළ මුළු පිරිවැය රු 926,110 පමණ වන අතර එක් ගසකට රු 4 630ක පමණ පිරිවැයක් යෙදිය යුතු ය.

‍නිවැරදි ආකාරයට වගා පිළිවෙත් සිදු කරන වගාවක් නම් සහ යහපත් වෙළඳපොළ මිලක් පවතී නම් තෙවන වසරේ දි ගසකින් රු 2 100 පමණ ආදායමක් ගත හැකි අතර අක්කරයකින් 420 000ක පමණ ලබා ගත හැක. සිව්වන වසරේදි ගසකින් රු 7 350 ක පමණ ආදායමක් ගත හැකි අතර අක්කරයකින් 14, 70,000ක පමණ ආදායමක් ලබා ගත හැකිය. එසේම පස් වන වසරේදි ගසකින් රු 10,500ක සහ අක්කරයකින් රු 21,00 000 ක පමණ ආදායමක් ලබා ගත හැක. මුල් වසර පහ තුළ ලක්ෂ 39ක පමණ ආදායමක් අක්කරයකින් ලබා ගත හැකි ය.        

එසේම අවුරුදු පහකින් අනතුරුව වැඩි ඵලදාවක් ලබා ගැනීම සඳහා වගාවේ ස්වභාවය අනුව නිර්දේශ කරනු ලබන ප්‍රමාණයට පැක්ලොබ්‍රියුටිසෝල් හෝමෝනය (අවාරා) ලබා දිය යුතු ය. වගාවෙන් වසර 30ක පමණ කාලයක් අස්වැන්න ලබා ගත හැකි අතර පලමු අවුරුදු පහෙන් පසුව ගසකින් වසරකට කිලෝ පනහක් ලබා ගත හැකි පරිදි ගස් නඩත්තු කිරීම සිදු කළ යුතු ය.

හොරණ කනන්විල ප්‍රදේශයේ පිහිටි පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (Fruit Crop Research & Development Centre )  මෑතකදී සිදුකළ සමීක්ෂණයකට අනුව අලුතින් අක්කර 7000ක් පමණ ටොම් ජේසි අඹ වගා කර ඇති අතර එය 11 000ක් පමණ විය හැකි බව අනුමාන කරයි. අක්කර 11000ක නව වගාවන්හි ඵලදාව ලැබෙනුයේ තවත් අවුරුදු තුනකින් හෝ හතරකින් ය. සියලු වගාකරුවන් හට තම අස්වැන්න අපනයනය සඳහා ලබා දීමට ඇති අවකාශ සීමිත ය. එනම් අවුරුදු තුනකින් පමණ වෙළඳපොළට  අතිරික්ත නිෂ්පාදනය  පැමිණේ.

ආර්ථීක විද්‍යාවේ මූලික න්‍යායක් වන ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුව සැපයුම වැඩිවත්ම මිල පහළ බසී. මෙය ගොවියාට නම් එතරම් හිතකර තත්ත්වයක් නොවේ. වෙළදපොලේ ටොම් ජේසි අඹ කිලෝ එකක් රුපියල්  300ත් – 600ත් අතර මිලකට අලෙවි වෙන බැවින් මෙම අඹ වර්ගය මිලදී ගැනීම සඳහා  දිවයිනේ සෑම ප්‍රදේශයකම වෙළඳපොළක් බිහි වනු ඇතැයි සිතීම අසීරුය. එසේම ටොම් ජේසි අඹ ප්‍රභේදය  “කර්තකොලොම්බන් සහ විලාඩ්” තරම් ජනතාව අතර ප්‍රචලිත වී නොමැත. අධික මිල ගණන් සහ වෙ‍‍ළෙඳපොළ තුල වැඩිපුර දක්නට නොලැබීම ඊට හේතු විය හැකි ය.‍

එසේම පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයට (Fruit Crop Research & Development Centre ) අනුව අඹ ඵලදාව අපනයනය කිරීම කුඩා පරිමාණයේ ගොවීන් හට ඍජුව කළ නොහැකි අතර ඒ සදහා අතරමැදියකු සමඟ සම්බන්ධ විය යුතු ය. එසේම  එම ඵලදාව ඉතාමත් උසස් තත්ත්වයෙන් යුතු පළමු කාණ්ඩයෙන් (Grade 1) තිබිය යුතු අතර අඹ ගෙඩිය මත කිසිදු පැල්ලමක් තිබිය නොහැකි ය.

පැළ සිටුවීමට පෙර අක්කරයකට කාබනික පොහොර කි.ග්‍රෑ. 4000 අවශ්‍ය වන අතර පළමු දෙවන සහ තෙවන වසරවලදි වසරකට කි.ග්‍රෑ. 2000 බැගින් අවශ්‍ය වේ. එසේම අක්කරයක් සඳහා යුරියා පලමු වසරේදි කි.ග්‍රෑ. 33 පමණ ද දෙවන වසරේදි කි.ග්‍රෑ 48 පමණ ද තෙවන වසරේදි කි.ග්‍රෑ. 66 පමණ ද අවශ්‍ය වේ. ටි.එස්.පී.(TSP) පොහොර පළමු වසරේ කි.ග්‍රෑ 60ක් පමණ ද දෙවන වසරේ කි.ග්‍රෑ 36ක් පමණ ද තෙවන වසරේ කි.ග්‍රෑ 108 පමණ ද අවශ්‍ය වේ. එසේම එම්.ඕ.පී.(MOP) පළමු වසරේදි සහ දෙවන වසරේ  කි.ග්‍රෑ 27 බැගින් ද තෙවන වසරේ  කි.ග්‍රෑ 36 පමණ ද අවශ්‍ය වේ. ඉන් පසුව පොහොර යෙදීම පසේ ස්වභාවය,ගසේ නීරෝගිකම, ගසේ ප්‍රමාණය මත කල යුතු ය.

අඹ ඵලදාව උසස් ගුණත්වයකින් යුතුව පැවතීමට නම් ප්‍රමිතියෙන් යුතු  ඵල ආවරණ බෑග් වලින් අඹ ගෙඩි ආවරණය කල යුතු ය.  මේ වන විට ඉහළ ගුණත්වයෙන් යුතු එවැනි කවරයක මිල රුපියල් දහයක්- විස්සක් අතර වන එබැවින් සෑම අඹ ගෙඩියකටම  ආවරණ යෙදීම සඳහා සැලකිය යුතු පිරිවැයක් දැරිය යුතු ය. මේ හේතුව නිසා ගොවීන් ඵල ආවරණය නොකිරීම සහ ගුණත්වයෙන් අඩු ආවරණ යෙදීම හේතුවෛන්  ටොම් ජේසි අඹ ඵලදාවේ ගුණත්වය පිළිබඳ ගැටළු මතුවෙමින් පවතින බව දිර්ඝකාලින ව වගාවේ නියුතු ගොවින්ගේ අදහසයි. එය ඉදිරියේදී නිවැරදි ආකාරයෙන් වගා කටයුතු සිදු කරන ගොවීන්ට මෙන්ම ටොම් ජේසි අඹ ඉල්ලුම කෙරෙහි ද අහිතකර අන්දමින් බලපානු ඇත.

ටොම් ජේසි අඹ  වගාවෙන් ඉවත් වන්න යැයි හෝ සිදු නොකරන්න යැයි ද යන්න අප පවසන්නේ නැත. සරු ආදායමක් ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම පළමුව වෙළෙඳපොළ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සහ අනාගත ඉල්ලුම සහ සැපයුම  කෙබඳු ආකාරයෙන් හැසිරේදැයි හඳුනාගත යුතු ය. ඉන්පසු තම නිෂ්පාදනය අලෙවි කිරීම සඳහා ඇති හැකියාව සහ අතරමැදියන් පිළිබඳ සොයා බැලිය යුතු ය.

වගාව සඳහා යන පිරිවැය නිවැරදිව ඇස්තමේන්තු කිරීමත් මුල් අවුරුදු පහ තුළදී වියදම් කළමනාකරණය කර ගන්නා ආකාරයත් පිළිබඳව ගොවියාට හොඳ අවබෝධයක් තිබිය යුතු ය. එසේම නිවැරදි වගා පිළිවෙත් කිරීමට අවශ්‍ය නිසි දැනුම සාර්ථකත්වය සඳහා අනිවාර්යය සාධකයකි. යම් හෙයකින් මිල උච්චාවචනය වුවහොත් ඒ සඳහා ද විකල්ප මාර්ග තෝරාගෙන තිබීම අලාභය කලමනාකරණය කර ගැනිමට සහයක් වනු ඇත. සල්ලි මවන ටොම් ජේසි අඹ වගාවකින් අතමිට සරු කර ගත හැකි වන්නේ වෙළෙඳපොළ පිළිබද නිවැරදි අවබෝධයකින් යුතුව වගා කිරීමෙන් මිස  ආදායම පමණක් හිතේ මවාගෙන රැල්ලට වගා කිරීමෙන් නොවන බව නැවතත් කිව යුතු ය.

සටහන – තිමිර සජිත් – හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

Related Posts