සපුගස්කන්ද වසා දැමීම ගැන බලශක්ති ඇමැති කළ හෙළිදරව්ව

Spread the love

බොරතෙල් ගෙන්වීම තාවකාලිකව නවත්වා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට  දින 50 ක් වසා තැබෙනු ඇති බවත් ණය පහසුකම් ලබාගෙන ඩොලර් හිඟය මඟහරවා ගත් වහා නැවත බොරතෙල් ගෙන්වීම අරඹා තෙල් පිරිපහදුව නැවත පණගන්වන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයා කිවේය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (15) බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

මෙහිදී වැඩි දුරටත් තත්ත්වය පැහැදිලි කරමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය.

‘ බොර තෙල්වලින් ඉන්ධන නිෂ්පාදනය කළ හැක්කේ බොර තෙල් ප‍්‍රමාණයෙන් සියයට 43ක් පමණයි. ඩොලර් හිඟයක් පවතින මේ අවස්ථාවේ බොරතෙල් වෙනුවට ඉන්ධන ගෙන්වීමට තීරණය කළේ විනිමය කළමණාකරණය කළ යුතු නිසයි. කෙසේ වෙතත් සපුගස්කන්ද පිරිපහදුව වසා දමන බව රටට නොකිව්වේ එය රටේ තෙල් සැපයුමට බලනොපාන අභ්‍යන්තර කාරණයක් වන නිසයි.

රටේ ඇති සීමිත විනිමය අත්‍යවශ්‍ය භාණ්ඩවලට පමණක් යොදා ගැනීමට අවශ්‍යයි. වසර 51ක් පැරණි තෙල් පිරිපහදුවෙන් බොර තෙල්වලින් සියයට 37 ක් නිපදවන්නේ දැවිතෙල් හා නැප්තායි. සියයට 19 ක් ගුවන් යානා තෙල් නිපදවනවා. මේ දිනවල වැස්ස ඇති බැවින් විදුලිය නිපදවීම ජලවිදුලියෙන් සිදුවන නිසා දැවිතෙල් අවශ්‍ය නැති බව විදුලි බල මණ්ඩලය පවසා තිබෙනවා, ගුවන් යානා තෙල් ගුවන් ගමන අරඹන රටෙන් ලබා ගත හැකියි. දිගු ගමන් සඳහා පමණයි ගුවන් යානා තෙල් ලබා ගන්නේ. ඒ නිසා බොරතෙල් අවශ්‍ය නොවන බවට තීරණය කළා.

ඉන්ධන මිල දී ගැනීමේ ණය පහසුකම් ලබා ගැනීමට මේ වනවිට රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. දිගින් දිගටම පාඩු ලබමින් සිටින නිසා තෙල් සංස්ථාවට ණය ගැනීම දුෂ්කරයි. ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉතා පහළ මට්ටමක ඇති බැවින් ණය ලබා ගැනීම වඩාත් දුෂ්කර වී තිබෙනවා. බොරතෙල් ගෙන්වීම නැවැත්වීමෙන් පැට‍්‍රල් හෝ ඞීසල් හිඟයක් ඇති වන්නේ නැහැ. වෘත්තිය සමිති නායකයකු මාධ්‍යයට කී කතාවක් හේතුවෙනුයි මෙසේ ඉන්ධන සඳහා පෝලිම් ඇති වුණේ දින හතලිහකට අවශ්‍ය ඉන්ධන මේ මොහොතේ රට තුළ තිබෙනවා‘‘ යැයි ද අමාත්‍යවරයා පැවසුවේය.

Related Posts