එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ
මෙරට දිළිඳුකම පිටුදැකීමේ කාර්යයේ සාර්ථකත්‍වය තහවුරු කර ගත හැක්කේ එම ජනතාව දුප්පත්කමින් මුදවා ගැනීමට යොදන අරමුදල් නැවත නැවත ප්‍රදානය කිරීම හෝ එම ජනතාව නැවත ඒ තත්ත්වයටම යොමුකරවන පාරිසරික වටපිටාවක් නිර්මාණය සදහා උත්තේජක සැපයීමෙන් නොවේ. එමෙන්ම රටේ පොදු සමෘද්ධිය සාක්ෂාත් කර ගත යුත්තේ “දුප්පතුන්ට උපකාර කිරීම සඳහා පොහොසතුන් කොල්ලකෑමෙන්” නොව සමස්ත සමාජයේම ඒකාබද්ධ උත්සාහය තුලින් සේවා සැපයුම් හා ආදායම් ඉපැයීම් සාධාරණ කිරීම තුළින් බව අප අවබෝධකර ගත යුතුවේ.
සියලු සමාජ ආර්ථික ගැටළු විසඳා ගැනීම වසර පහකට වරක් පවත්වන මැතිවරණ ජයග්‍රහණ අරබයා ජනගතකරන ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් සපුරාලිය නොහැක. එසේ වුවත් දිවයින පුරාම ගුණාත්මක හා ප්‍රමාණාත්මක සංවර්ධනයක් යම් පරිමාණයකින් සපුරා ගැනීම උදෙසා වඩාත් හොඳ අඩිතාලමක් එමඟින් දමාගත හැකිනම් ඒවා ඵලදායීවේ. එබැවින් ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා වන සැලැස්මක අභිමතාර්ථය විය යුත්තේ ප්‍රමාණාත්මකව සංවර්ධනය ලුහුබැඳීමයි. තිරසාර ආර්ථික සංවර්ධනයක් අඛණ්ඩව ඉදිරියට ගෙනයාමටත්, එහි විස්තීර්ණ ශක්තිය තවදුරටත් ඉහළ නංවා ගැනීමටත්, ජනතාවට සතුෂ්ඨිය සහ ආරක්‍ෂාව (පොහොසත් රටක් ලස්සන ජීවිතයක්) පිළිබඳ හොඳ පරිසරයක් නිර්මාණය කිරීමට හැකි වන්නේ ඒ ඔස්සේ කටයුතු කිරීමෙන් පමණි.
මිලියන 21.92 ක පමණ ජනතාවක් සිටින අපේ රටේ අඩු ආදායම් ලබන කණ්ඩායම ඔසවා තැබීමට ක්‍රියාකළ යුතු වන්නේ එවැනි වටපිටාවක සිටිමිනි. වර්තමානය වනවිට මෙරට මධ්‍යම ආදායම් ලබන කණ්ඩායමේ ප්‍රමාණය මුළු ජනගහනයෙන් සුළු කොටසක් වන අතර එය සමස්ථයක් ලෙස ගතහොත් පිරමීඩ ව්‍යුහයක් ගෙන ඇත. මෙම තත්ත්වය වෙනස්කර ගෙන අවම වශයෙන් වසර 2028 වන විටදී මධ්‍ය ආදායම්ලාභී පුද්ගලයින් සංඛ්‍යාව මුළු ජනගහනයෙන් 60 % දක්වා වැඩි කිරීමේ අරමුණ ඔස්සේ දේශීය මූල්‍ය සංසරණය ධාරාවේ ප්‍රධාන ඒකකයන්හි නිලධාරීන් තුල මෙන්ම පරිපාලන ක්ෂේත්‍රයේ නිරත නිලධාරීන් තුල ද නව ආකල්පමය සංවර්ධන ආකෘතියක් ඇති කර ගැනීමට අප උත්සුක විය යුතුවේ. එසේ කළහොත් ස්ථාවර දිගුකාලීන සංවර්ධනයක් සහ සමෘද්ධිමත් දේශයක් උදෙසාවන අරමුණ සාක්‍ෂාත් කර ගැනීමට අපට හැකි වනු ඇත. ඒ උදෙසා සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ දිළිඳුකම පිටුදැකීමේ ව්‍යායාමය සාර්ථක කරගැනීම තුලින් මධ්‍යම ආදායම් ලබන පුරවැසියන් සංඛ්‍යාව ප්‍රමාණාත්මකව වැඩිකර ගැනීමට ක්‍රියා කලයුතුවේ. මේ උදෙසාවන උපාය මාර්ගික විධිවිධාන සකස් කල යුත්තේ රටේ ධාරිතාවයට අනුකූලවන පරිදි බව අප පළමුව අවබෝධකරගත යුතුය.
විශේෂයෙන්ම නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධනයේ අසමතුලිතතාවය සමනය කිරීම උදෙසා මෙරට පළාත් අතර ඇති යටිතල පහසුකම් හිඩැස අවම කළ යුතුවේ. ඒ උදෙසා මූලෝපායික වැදගත්කමකින් යුත් ප්‍රදේශයන්හි විශාල හා කුඩා නගර සංවර්ධනය සහසම්බන්ධ කරමින් සමබර සංවර්ධන යෝජනාක්‍රම ප්‍රවර්ධනය කළ යුතුය. උදාහරණය ලෙස ඒකාබද්ධ වෙළඳපල සංවර්ධනය සඳහා යාන්ත්‍රණයන් වැඩිදියුණු කිරීම, නිෂ්පාදන සාධක බාධාවකින් තොරව ගලායාමට ඉඩකඩ ප්‍රවර්ධනය කිරීම සහ අනාගතයට ගැලපෙන අධිවේගී මාර්ග ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම තුළින් නාගරික-ග්‍රාමීය වශයෙන් වූ බෙදිම් රේඛාවේ භෞතික ව්‍යුහය බිඳ දැමීමට අප උත්සාහ කළ යුතුය. කාර්මීකරණය, නාගරීකරණය සහ ග්‍රාමීය නවීකරණය යන වචන යථාර්තයක් කරගත හැක්කේ ඒ ඔස්සේ කටයුතු කිරීමෙන් පමණි.
එසේම පුරවැසියන් අතර වත්කම් පරතරය තවදුරටත් අඩු කිරීම සඳහා ආදායම් බෙදීයාමේ ක්‍රමවේදය ප්‍රසාරණයට භාජනය කළ යුතුවේ. එක් අතකින් සංවර්ධනයේ වැඩි ප්‍රතිඵල ජනතාවට ලබා දීම සඳහා රටේ ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් පුළුල් ලෙස ආයෝජනය කර වැඩිපුර රැකියා උත්පාදනය කිරීමට සහ මිනිසුන්ගේ ආදායම ඉහළ නැංවීමට ද උත්සාහ කළ යුතු අතර අනෙක් අතට අඩු ආදායම්ලාභී ජනතාවගේ ශ්‍රම ආයෝජන අංශයන්හි වැටුප් අනුපාතය ඉහළ නංවමින් සමාජ සාධාරණත්වය සහ යුක්තියේ සමරූපී බව ස්ථාපිත කළ යුතුවේ. ඒ අනුව රජය විසින් ආදායම උපයා ගැනීම උදෙසා ඉලක්කගත අංශ වෙත පමණක් බදු පැනවීම සහ වඩාත් කාර්යක්‍ෂම ලෙසින් ඒවා රැස්කරගැනීමට නැඹුරුවිය යුතුවේ. ඉන් බැහැරව නීත්‍යානුකූලව ආදායම් ආරක්ෂාකර ගැනීමට සහ අධික ලෙස ලාභ ඉපැයීම් කෙරෙහි ව්‍යවසායකයින් යොමුවීම වළකාලීමට ක්‍රියා කළ යුතුවන්නේය. එයට සමගාමියව දැඩි සමාජ ආරක්‍ෂක සැපයුම් ජාලගත ක්‍රමවේදයක් රටතුල ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතුය. ඒ ඔස්සේ ජනතාවගේ අපේක්ෂාවන් බිදවැටීම මෙන්ම අසාධාරණ ලෙස ආදායම රැස්කිරීමේ ඒකාධිකාරයෙන් ඔවුන් මුදවා ගැනීම තහවුරු කළ හැකිවේ. ඒ සමඟම සමාජ සාධාරණත්වය සහ යුක්තිය පසඳලීමේ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ගාමක බලයක් රටපුරා ක්‍රියාවට නැංගවීමද ඉතා වැදගත්බව අවධාරණය කළ හැක.
එසේම අපේ රටේ දිගු කාලීන සංවර්ධනය සඳහා තාක්‍ෂණික නවෝත්පාදනයන් සඳහා පුළුල් වේදිකාවක් තැනීමට සහ නවෝත්පාදනය සඳහා යහපත් සමාජ වාතාවරණයක් බිහිකර ගැනීම අවශ්‍ය බව කොවිඩ් වසංගතය හමුවේ බිහිවූ නව නිර්මාණකරුවන් විසින් අපට කිසියම් දිශානතියක් පෙන්නුම්කර තිබේ. එහෙයින් ඒ සදහා යොමුවන පුරවැසියන්ගේ අවශ්‍යතා හදුනාගැනිම සහ ඔවුන්ගේ සක්‍රීය දායකත්ව ධාරිතාව ඉහළ නැංවීම සඳහා වඩාත් සාධාරණ කොන්දේසි නිර්මාණය කළ යුතු අතර දේශීය වශයෙන් තාක්‍ෂණික නවෝත්පාදනයන් තුළින් වඩවඩාත් ධනය උත්පාදනය කරගැනීමට අප යොමුවිය යුතුය. ජාතික සමෘද්ධියේ හා පුනර්ජීවනයේ ගාමක බලවේගය බවට තාක්‍ෂණික නවෝත්පාදනයන් පත්කරගත යුතුවන්නේ එබැවිනි. පොදු සමෘද්ධිය සාක්ෂාත් කර ගැනීම සඳහා එය වැදගත් සාධකයක් ද වනු ඇත. ඒ උදෙසා සෑම ක්ෂේත්‍රයකම නවීණ තාක්‍ෂණය ඇසුරුකරගෙන නවෝත්පාදනයන්හි නිර්මාණාත්මක භාවිතය උදෙසා ජනතාව පෙළඹවීමට රජයේ මූල්‍ය හා ව්‍යුහාත්මක ප්‍රතිපත්ති කාලානුරූපව සකස් කිරීමට යොමුවිය යුතුය. ඒ අනුව වෙහෙස මහන්සිවී වැඩ කිරීමෙන් හා නවෝත්පාදනයන් තුළින් සමෘද්ධිය ළඟා කර ගැනීම සඳහා සමස්ත සමාජයම දිරිමත් කළ යුතුය. කෙසේ වුවද පොදු සමෘද්ධිය සාක්ෂාත් කර ගැනීම දිගු කාලීන ක්‍රියාවලියක් වන අතර ඒ සඳහා කාර්යක්‍ෂම නිෂ්පාදන අංශයක්, දේශීය වශයෙන් පුළුල් වෙළෙඳපොළක සහ ආරක්ෂණ ආනයන ව්‍යුහයක අවශ්‍යතාවය ද ඉස්මතු කෙරේ.
වඩාත් සාධාරණ අයුරින් මූලික රාජ්‍ය සේවාවන් සැපයීම හා පවත්වාගෙනයාම පමණක් අරමුණු කරගෙන රජයක් ක්‍රියාකල යුතු අතර සුබසාධන න්‍යාය යටතේ තවදුරටත් කටයුතු කිරීමේ දේශපාලන උපායයන් ගෙන් බැහැරව ඒ පිළිබඳව ජන විඥාණය ගොඩනැගීමට පාලකයින් අවංකව පෙරමුණ ගත යුතුවේ. මෙරට සදාකාලිකව පවතින දරිද්‍රතාවය තුරන් කිරීම උදෙසා හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළහැක්කේ එවැනි මගක් ගැනීමෙන් පමණි. කෙසේ වෙතත් දුප්පත්කමින් සෙලවී සිටින ග්‍රාමීය ප්‍රදේශ තවමත් දුර්වල කාර්මික පදනමක් යටතේ පවතින හෙයින් රජයේ ප්‍රතිපත්ති වලින් දුප්පත් පවුල් සාමාජිකයින් කාර්මික නොවන සේවා ව්‍යාපාරවලට බැඳ තබන ගතානුගතික පද්ධති ව්‍යුහය හේතුවෙන් එම ප්‍රදේශයන්හි තාරුණ්‍ය සදාකාලිකවම පීඩා විඳින බව අප අවබෝධකරගත යුතුවේ. එකී ප්‍රදේශයන්හි මිනිසුන්ගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීමට හා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට වැඩි අවස්ථාවන් සමග ප්‍රමුඛතාවය ලබා දිය යුතුවන්නේ එබැවිනි. මෙම ගැටළු විසඳීම සඳහා ප්‍රධාන ආධාරක ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වා ගත යුතු අතර පළාත් බද සංවර්ධනය සහ යුගල සහයෝගීතාවයන් ශක්තිමත් ලෙස ප්‍රවර්ධනය කළ යුතුය. එසේ නොවුවහොත් දරිද්‍රතාවයෙන් මිදීමේ ප්‍රතිඵල තහවුරු කිරීමට සහ දුප්පත්කමින් මිදෙන ජනතාව මහා පරිමාණයෙන් යළිත් දුප්පත්කමට තල්ලුවීයාම වළකාගැනීමට අසීරුවනු ඇත.
රටේ මූල්‍ය අවදානම් වැළැක්වීම සහ පාලනය කිරීම උදෙසා අපනයන වෙළඳපල ඉලක්ක කරගත් ආරක්ෂණවාදී වෙළද සම්මුතියක් පදනම් වූ මූලධර්ම පිළිපැදීම කාලීන අවශ්‍යතාවක් බව නොරහසකි. එහෙත් අවදානම් වැළැක්වීම සහ ස්ථාවර සංවර්ධනය අතර සමබරතාවය රැක ගැනිමට බහුවිධි ක්ෂේත්‍ර සමඟ යම් යම් ගැටළු පැවතුනද, වෙළෙඳපොළ නිර්මාපකයින්ගේ සාධාරණ ප්‍රාග්ධන අවශ්‍යතා සංවර්ධනයේ සමස්ත ප්‍රවනතාවය මත සිදුනොවේ නම් එයින් මහජනතාවට වන යහපතක් නොමැත. අනෙක් අතට ණය අර්බුදයේ අතිරික්ත බලපෑම් පාලනය කළ හැකි හෙයින් එම අවදානම පාලනය කිරීමට ද අප යොමුවිය යුතුවේ. කෙසේ වෙතත්, දැන් තිබෙන ප්‍රධාන අභියෝගය නම් මූල්‍ය ආයතනවල අවදානම් අඩු වීමයි. දේශීය වෙලඳ පොලේ අධිවේගී ක්‍රියාකාරිත්වය නියාමනය හේතුවෙන් වෙලඳපොල ප්‍රසාරණය බොහෝ පහත යමින් පවතින අතර ජනතාව වෙත අසීමිත මානසික පීඩාවක් ගොඩනැගෙමින් පවතී. උදාහරණයක් ලෙස නිශ්චල දේපල කර්මාන්තය සඳහා මූල්‍ය ආයතන නියාමන කරන අවශ්‍යතා අධීක්ෂණයෙන් බැහැර වුවහොත් එම ව්‍යාපාර ද්‍රවශීලතා අර්බුදයකට ඇද වැටීම මත එක් එක් මහා පරිමාණ නිශ්චල දේපල සමාගම් අවදානම් වලට නිරාවරණය විම ඔස්සේ සිදුවන පීඩාව සෘජුවම බලපාන්නේ නව නිවාස අත්පත්කර ගැනීමට හා ව්‍යාපාර ඇරඹීමට හෝ ව්‍යාපාර පුළුල් කිරීමට අපේක්ෂාකරන්නන් වෙත බව පෙන්වා දෙමු.
කෙසේ වුවද මෙරට තුළ අඛණ්ඩව සංවර්ධනයක් පවත්වා ගැනීම සහ අවදානම් වැළැක්වීම සහ අනෙකුත් අංශ වල අවදානම් සමඟ කටයුතු කිරීමේදී ද්විතියික මූල්‍ය අවදානම් වළක්වා ගැනීම අතර බලධාරීන් සමබරතාවයක් ඇති කර ගත යුතුය. කැපී පෙනෙන ලෙස විදුලි බලශක්ති නිෂ්පාදනය හා බෙදාහැරීම, පොසිල ඉන්ධන පිරිපහදුව, ගෘහස්ථ හා කර්මාන්ත සදහාවන ද්‍රව වායු සැපයුම බෙදාහැරීම සහ විදුලි සංදේශන සේවා පහසුකම් ප්‍රවර්ධනය සඳහා රජයේ නියාමනය අතිශයින් පහත වැටීයාමට සැලැස්වීමෙන් රටේ සැපයුම් දාමයන්ගේ ආරක්ෂාවට තර්ජන එල්වූ ආකරය දෙස බලන්න. මේ සියල්ලටම හේතුව කෝවිඩ් 19 වසංගතය යැයි කියා පැවසිය නොහැක. පසුගිය දශක කිහිපය තුළ අපරට මෙවැනි අර්බුද මාලාවට මුහුණ දුන් ආකාරය තර්ක කිරිමට මොළයක් සහිත අවුරුදු 15 න් ඉහල ඕනැම පුරවැසියෙකුහට අවබෝධවනු ඇත. අවම වශයෙන් දේශීය අවශ්‍යතා යම් ප්‍රමාණයකට හෝ සපුරා ගැනීමට පුනර්ජනනීය බල ශක්ති මධ්‍යස්ථාන ස්ථාපිත කර කාර්යක්‍ෂම ලෙස පවත්වාගෙන යාමට රජය හෝ රාජ්‍ය අනුබද්ධිත ආයතන වෙත වැඩි ඉඩප්‍රස්ථා ලබාදිය යුතුවේ. කෙසේ වුවද ඒවායෙහි තිරසාර බව සහ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා රාජ්‍ය අංශයේ යාන්ත්‍රනය තුළ විවිධ මට්ටම් වල පරිපාලනමය ප්‍රතිසංස්කරණ ඇතිකිරීම සහ නව උපාය මාර්ගික සංවර්ධන සැලසුම් ස්ථාපිත කර පවත්වාගෙනයාම උදෙසා අවංක වෘත්තිකයින්ගේ කැපවීම අත්‍යවශ්‍ය බව පැහැදිලිවේ.
සැබැවින්ම ආර්ථික සමෘද්ධිය අත්පත්කර ගැනීමේදී පළාත්බද ක්‍රියාකාරකම් විවිධ අභියෝගයන්ට මුහුණ දෙනු ඇත. විශේෂයෙන්ම පළාත් බදව පවතින කුඩා ආර්ථික ව්‍යවසායයන් ජාතික වෙළෙඳාම මත යැපීමත් දැනුම ළගාකරගැනීමේදී අවශ්‍ය පහසුකම් නොමැතිකමත් එයට හේතුකාරක වේ. සිංගප්පූරුව , තායිවානය හා කොරියාව කුඩා ආර්ථික ව්‍යවසායයන් සංවර්ධන මාවතට ප්‍රවේශ කරවූ ආකාරය විශ්ලේෂණය කර ඔවුන් මෙම සුවිශේෂී අභියෝග ජය ගන්නේ කෙසේදැයි බැලීමට අපට හැකියාව පවතී. ඒවායහි සංවර්ධන උපාය මාර්ග වල සමානකම් හා වෙනස්කම් පරීක්‍ෂාකර ක්ෂුද්‍ර ආර්ථික තරඟකාරිත්වයක් යටතේ මෙරට ජාතික ආර්ථිකයක ගෝලීයකරණ ආර්ථිකයක සන්දර්භය තුළ ජාතික මායිමෙන් පිටත යොමු කළ හැක්කේ කෙසේද යන්න දේශපාලඥයින් අවබෝධකරගත යුතුවේ. එසේ නොමැතිව පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී අශෝබන වාග් විලාශයන් ගෙනහැර පෑම ඔස්සේ මාධ්‍ය කැමරා ඉදිරිපිට ඝෝෂා කිරීමෙන් රටක් ඔසවාතැබිය හැකිද යන්න විමසීමට ජනතාව පසුබට නොවනු ඇත. එබැවින් ව්‍යවසායකත්ව කුසලතා සහ දැනුම ඉස්මතුකර ගැනීමෙන් දේශීය භාණ්ඩ හා සේවා වෙලඳපොලවල් ගෝලීයකරණය යටතේ විදේශ අභිමුඛ ආර්ථිකයක් තුළ දීප්තිමත් අනාගතයක් අප රටට ගොඩනගාගත හැකිවේ.
බොහෝ විට නියඟය හා ගංවතුර වැනි ස්වාභාවික විපත් හා අනෙකුත් බාහිර කම්පන අර්ධ නාගරික හා ග්‍රාමීය පෙදෙස්හි පිහිටි කුඩා ව්‍යවසායකත්ව ගොදුරුවීමේ අවදානමට සහසම්බන්ධ පොදු අභියෝග වෙති. එමෙන්ම දුර්වල මූල්‍ය කළමනාකරණය හා සම්බන්ධ සැලකිය යුතු අස්ථාවරත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශයන්හි කුඩා ව්‍යවසායකත්ව සැලකිය යුතු ණය සමුච්චයකරණයකට ගොදුරුවනු ඇත. විශේෂයෙන් ස්වාභාවික විපත් ඇති ප්‍රදේශවල පිහිටි කුඩා ව්‍යවසායකත්ව සාමාජිකයින් අතර ආදායම් මට්ටම් සහ සංවර්ධන ප්‍රතිඵල වල අනෙකුත් සාධනීය ලක්ෂණ තුළ ඉහළ වෙනසක් දැකිය හැකිවේ. මෙම තත්ත්වයන් බහුලවම දැකිය හැක්කේ කෘෂිකර්ම සහ ධීවර කර්මාන්තය ඇසුරු කරගෙන වෙති.
කෙසේ වුවද කාර්මිකරණයට ආධාර කිරීම සඳහා මාරු කළ හැකි අතිරික්තයක් නිපදවීමේ හැකියාව කෘෂිකර්මාන්තයට (සත්ත්ව පාලන අංශයද ඇතුළුව) සහ ධීවර කර්මාන්තයට ඇතත් එය ආපසු හැරවිය නොහැකි ලෙස එම අංශයන්හි සංවර්ධනයට ද හානි නොවන අයුරින් සිදු කළ යුතු කාර්යයකි. කෘෂි කර්මාන්තය සහ ධීවර කර්මාන්තය ප්‍රාථමික අදියරේ නිපැයුම් අංශයන් පමණක්ය යන ගතානුගතිකත්වයෙන් මිදී එහි අතිරික්තය නිමි අගය ඉහල දැමීමේ කර්මාන්ත අංශයකට පැවරීම ඔස්සේ ද්විතීයික නිෂ්පාදන අංශය පුළුළ් කිරීම සඳහා ඉඩප්‍රස්ථා පුළුළ් ලෙස විවර කරගත යුතුවේ. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයට යොදාගනු ලබන වපසරියට වඩා සාගර කළාපය තුල ධීවර කර්මාන්තයට විශාල විභවයක් පවතී. එබැවින් සංවර්ධන ක්‍රියාවලිය තුළ කෘෂි හා ධීවර කර්මාන්තය සහ ඒවායින් වියුත්පන්න කරගත හැකි කර්මාන්ත අතර නිවැරදි සම්බන්ධතාවයක් සොයා ගැනීමට සාධනීය උපාය මාර්ග වෙත තිරසාර දැක්මකින් යුතුව යොමුවීමට අප දැන්වත් ක්‍රියාකළ යුතුවේ. ඒ උදෙසා ජාතික සංවර්ධන ක්‍රියාවලියේ එක් එක් අංශ සහ අන්තර් ජාතික සබැදියාවන් යටතේ එම තත්ත්වයන් ව්‍යුහාත්මක කොන්දේසිමත ගලපා ගැනීමට සිදුවනු ඇත. කෘෂිකර්මාන්තය හෝ ධීවර කර්මාන්තය කෙරෙහි ඒකපාර්ශවිකව අවධානය යොමු කිරීමෙන් විශ්ලේෂකයින්හට ඒවා අතර ඇති සංකීර්ණ හා ගතික අන්තර්ක්‍රියා පරීක්ෂා කිරීමට නොහැකි වේ. එම නිසා සම්පත් ප්‍රවාහයේ ශක්‍යතා සහ ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී ගමන්මග කෙරෙහි ඒවායේ විවිධ බලපෑම ගවේෂණය කිරීමේ වැදගත්කම ඔවුන්ට ග්‍රහණය කර ගැනීමට නොහැකි වී තිබේ. එබැවින් විවිධ සංවර්ධන ක්‍රියාකාරීත්‍වයන් හා විභවයන් අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීමේදී එකී අංශ තුළ සම්පත් පරිහරණය මෙන්ම අංශ අතර සම්පත් වෙන් කිරීම ගැන ද අවබෝධයෙන් හා අවදානයෙන් සොයා බැලිය යුතුව ඇත.
දේශීය වශයෙන් කාර්මිකරණය සඳහා කෘෂිකාර්මික හා ධීවර කර්මාන්තයේ දියුණුව පූර්ව අවශ්‍යතාවක් ද නැත්නම් ඒ දෙකම සමකාලීන ක්‍රියාවලීන් විය හැකිද යන්න පිළිබඳ සලකාබැලීමේදී එම අංශයන්හි කාර්ය සාධනය රටක කාර්මීකරණය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන බව අවිවාදාත්මකවේ. උදාහරණයක් ලෙස චීනයේ හා නොර්වේ යන දෙරට සාර්ථක කාර්මීකරණයක් සාක්‍ෂාත් කර ගැනීම සඳහා කෘෂිකාර්මික හා ධීවර නිෂ්පාදන මාරු කිරීම සහ භාවිතය සම්බන්ධ ගැටළු විසඳා ගත් ආකාරය විමසා බැලීම වැදගත්වේ. මෙරට කාර්මික සංවර්ධනයේ ආරම්භක අවධියේදී මෙය විශේෂයෙන් වැදගත් අධ්‍යනය කිරීමක් වනු ඇත. කාර්මික අංශයක් සාර්ථක ලෙස ස්ථාපිත වූ පසු කෘෂිකාර්මික හා ධීවර නිෂ්පාදන අතිරික්තය ආයෝජනය සඳහා නිෂ්පාදකයින් ඒ කෙරෙහි වැඩිපුර නැඹුරුවීම අපේක්ෂා කළහැකිවේ.
ඒ අනුව කෘෂිකාර්මික හා ධීවර කර්මාන්තයේ නිෂ්පාදන අතිරික්තයක් වෙනත් ආර්ථික අංශ වෙත මාරු කළ හැකි ක්‍රම කිහිපයක් දැකිය හැක. ස්වේච්ඡාවෙන් හෝ අනිවාර්යයෙන්, දෘශ්‍යමාන වන හෝ නොවන ආකාරයෙන්. කෘෂිකාර්මික ධීවර කර්මාන්තයේ අතිරික්තයක් මාරු කිරීම සඳහා උචිත යාන්ත්‍රණයන් සකසා ගැනීමට පවතින සම්පත් හුවමාරුවේ විවිධත්වය නිදර්ශනය කිරීම සඳහා පමණක් නොව සාපේක්ෂව යම් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වඩාත් සුදුසු හෝ කාර්‍යක්ෂම ක්‍රම විශ්ලේෂණය කිරීම ඔස්සේ සංවර්ධන උපාය මාර්ගයෙන් හඳුනාගෙන හොඳම හැකියාව ඇති අංශය වෙත ඒවා මාරු කිරීම සඳහා වඩාත් ගැලපෙන ක්‍රමවේදයන් උපයෝගීකර ගැනීම වඩා වැදගත් වේ. එමෙන්ම දේශීය වශයෙන් සංවර්ධන උපායමාර්ගය පිළිබඳ හඳුනාගැනීමේදී අවධානය යොමු විය යුතු විශේෂිත කරුණක් වන්නේ පළාත් අතර සාමුහිකතාවයන් සාක්‍ෂාත් කර ගන්නේ කෙසේද සහ උපරිම කරන්නේ කෙසේද යන්නයි. ඒ අනුව නාගරික පැල්පත් හා වතු ආශ්‍රිත වේවා ග්‍රාමීය හෝ වෙරලබඩ වේවා දුප්පතුන් අතර පොහොසතුන් බුක්ති විඳින ප්‍රගතියේ ඵල සාධාරණ ලෙස බෙදාහැරීම සහතික කරන්නේ කෙසේද යන්න පිළිබඳව නිර්ණායක සැලසුම් කළ යුතුවේ. තවදුරටත් සංවර්ධන මූලෝපාය ප්‍රවර්ධනය කරන එවැනි සාධාරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට වඩාත් සුදුසු කුමන පන්තිය ද යන්න හඳුනා ගැනීම දෙවනුව කළ යුත්තකි.
එහෙයින් ප්‍රතිපත්ති සම්පාදකයින් සලකා බැලිය යුතු ප්‍රශ්න අතර කෘෂි හා ධීවර කර්මාන්තයේ නිරතවන පුද්ගලයින් වෙත සෘජුවම ප්‍රමාණවත් දිරි ගැන්වීම් ලබා දෙන්නේ කෙසේද, නිෂ්පාදන ඉලක්ක එකතැන පල්වීමක් සිදු නොවන බවට වග බලා ගන්නේ කෙසේද සහ එය සහතික කර ගන්නේ කෙසේද යන්න සළකාබැලිය යුතුවේ. එමෙන්ම කාර්මීකරණ ක්‍රියාවලියක් සඳහා මෙම අංශ අතර අනුපූරකතාවයන් ශක්තිමත් කිරීම සඳහා කෘෂි හා ධීවර අංශ සහ කර්මාන්ත අතර සබඳතා වර්ධනය කළ යුතු ආකාරය කාලීනව නිර්ණය කළ යුතු බව පැවසිය හැක.
මෙම කරුණු සැලකිල්ලට ගෙන දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සෑම රජයක් විසින් දිගටම කරගෙන යා යුතුවේ. එමෙන්ම වෙළඳ හිඟය අඩු කිරීම සඳහා සේවා අංශය ඇතුළුව දේශීය ආර්ථිකය බාහිර ලෝකයට තවදුරටත් විවෘත කිරීම සඳහා දේශීය හා ජාත්‍යන්තර සේවා සපයන්නන් සඳහා තවතවත් සේවා හා සැපයුම් අංශය පුළුල් කළ යුතුවේ. දේශීය වශයෙන් ස්ථාපිත ආර්ථික හා වෙළඳ නීති ලිහිල් කර ව්‍යාපාරික පරිසරය තවදුරටත් වැඩිදියුණු කිරීම ඔස්සේ තිරසාර ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ අප රටට අත්පත්කර ගැනීමට ක්‍රියා කල හැකිය. අවසාන වශයෙන් ප්‍රශ්නය පැන නැඟෙන්නේ එවැනි ජාතික සංවර්ධන ව්‍යාපෘතියක් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය රාජ්‍ය යාන්ත්‍රණයට අදාල පුද්ගලයින්ගේ නිළධාරී මානසිකත්වයෙන් බැහැරට යොමුකර ගතහැකිද යන්නයි.
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ