ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 1.5 දක්වා පහත වැටේ

Spread the love

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත (foreign reserves) ප්‍රමාණය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 (ඩොලර් මිලියන 1587) දක්වා පහත වැටී ඇති බව පවසන මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අද (09) ප්‍රකාශ කළේ රට දේශපාලන සහ මූල්‍යමය වශයෙන් අස්ථාවර කිරීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි ජාවාරම් කරන ඇතැම් කණ්ඩායම් සිටින බවයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරදින සභාවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ජාතිය අස්ථාවර කිරීමට මෙම කණ්ඩායම් අධිෂ්ඨාන කරගෙන සිටින බවයි.

“ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය 2014 අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 8.6ක් වූ අතර 2019 වසර අවසන් වන විට එය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.6 දක්වා පහත වැටී ඇත. මෙය විදේශ ණය සේවා ඉහළ යාමට හේතු වී තිබේ. ශ්‍රී ලංකාවේ විදේශ ණය 2014 වසරේ මුළු ණය සේවාවලින් 42.4%ක් වූ අතර 2019 අවසන් වන විට එය 46.4% දක්වා ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් අපේ රජයේ අරමුණ මුළු විදේශ ණය සේවාව මුළු ණය සේවාවලින් 40%කට සීමා කිරීම බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. 

COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා රජයට විදේශ සංචිත භාවිතා කිරීමට සිදු වූ බව ඔහු පැවසීය. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වසරේ වසංගතය ආශ්‍රිත වියදම් සඳහා රුපියල් බිලියන 221ක් වැය කර ඇත. ජනගහනයෙන් 76.2% කට එන්නත් දෙකම ලබා දීමට  සමත් වී ඇත. මෙය ගෝලීය ප්‍රමිතීන්ට වඩා ඉහළ අගයක් වන්නේ මේ වන විට සම්පූර්ණයෙන්ම එන්නත් ලබා ඇති ගෝලීය ජනගහනයෙන් 55.3%ක් පමණක් වීම නිසාය.

“ශ්‍රී ලංකාව කටාර් මහ බැංකුවෙන් ඩොලර් බිලියනයක් සහ ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 400ක ලබා ගැනීමට නියමිතයි. මීට අමතරව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක මුදල් හුවමාරු වැඩසටහනකට යාමට දේශීය වාණිජ බැංකු දිරිමත් කර තිබෙනවා. මීට අමතරව වසර අවසන් වන විට ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 13ක සමස්ත අපනයන ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සහ ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ ගිවිසුම්වලට එළඹීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමත් වී තිබුණා. ඊට අමතරව ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක විදේශ ප්‍රේෂණ සුරක්ෂිත කිරීමට රජය බලාපොරොත්තු වෙනවා,” රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.

“මෙම ක්‍රියාකාරකම් වත්මන් අර්බුදයට ඵලදායි විසඳුම් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා වගේම විපක්ෂයේ සහයෝගයත් ලබාගන්නවා. මේ පිළිබඳව ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට විපක්ෂය සාදරයෙන් පිළිගනිමු,” ඔහු වැඩි දුරටත් පැවසීය.

Related Posts