ශ්‍රී ලාංකීය කාන්තා ව්‍යවසායකයින් සඳහා එක්සත් රාජධානියේ අපනයන වෙළඳපොළට දොරටු විවර කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් පසුගිය දා (දෙසැම්බර් 02 ) කොළඹදී පැවැත්විණි.
මෙම මුලපිරීම එක්සත් රාජධානියේ-ශ්‍රී ලංකා වෙළඳ හවුල්කාරිත්වය හරහා ක්‍රියාත්මක වන එක්සත් රාජධානියේ රජයේ අරමුදල් සහිත SheTrades Commonwealth+ වැඩසටහනේ කොටසකි. මේ යටතේ ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායකයින් 50 දෙනෙකුට වැඩි පිරිසක් එක්සත් රාජධානියේ සමාගම් සමඟ සම්බන්ධ වී අපනයන වෙළඳපොළට ප්‍රවේශ කිරීමට උපකාර කරනු ලැබේ.
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලදී. ශ්‍රී ලාංකීය කාන්තා ව්‍යවසායකයින්ට එක්සත් රාජධානියේ වෙළඳපළ වෙත සෘජු ප්‍රවේශයක් ලබා දීම, ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය සහ ජාත්‍යන්තර වෙළදපළ සඳහා ඇති අවස්ථා වැඩි දියුණු කිරීම ද මෙහි අරමුණු අතර වේ. මෙම වැඩසටහනට ව්‍යාපාරික සංසදයක්,B2B රැස්වීම් සහ කාන්තා ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනයක් ද ඇතුළත් විය.
රෙදිපිළි සහ ඇඟලුම් සහ අගය එකතු කළ කෘෂිකාර්මික නිෂ්පාදන වැනි අංශ කෙරෙහි අවධානය යොමු කර ඇති මෙම වැඩසටහන ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායකයින් සහ එක්සත් රාජධානියේ සමාගම් සම්බන්ධ කරමින් ව්‍යාපාරික කටයුතු සඳහා පහසුකම් සපයයි. මෙම රැස්වීම්වලට අමතරව, එක්සත් රාජධානියේ සමාගම් නියෝජිතයින් ශ්‍රී ලංකාවේ කොළඹ, කුරුණෑගල, දකුනු පලාත සහ යාපනය ප්‍රදේශවල කාන්තා ව්‍යවසායකයින් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර නිරීක්ෂණය කිරීම සඳහා සංචාරය කිරීමට නියමිතය.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ පළමු වතාවට ගැනුම්කරුවන්,නිෂ්පාදකයින් සහ රජය ඒකාබද්ධව වැඩ කරන බැවින් මෙම වැඩසටහන අනාගතයේදී සාර්ථක වනු ඇති බවත් සියලු දෙනාම ඒකාබද්ධ දැක්මක් යටතේ පෙළගැසී ඇති බවයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය,”කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ගරු ඇමතිතුමා සහ මම සැමවිටම ඔබගේ ගැටළු අප වෙත යොමුකිරීමට ඔබව දිරිමත් කරන අතරම මේ ක්ෂේත්‍රයේ ඇති ගැටළු විසඳන බවට අපි සහතික වන්නෙමු.”
උත්සවය අමතමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා අවධාරණය කළේ කාන්තා ව්‍යවසායකයින් කෘෂි ආහාර සහ ඇඟලුම් ක්ෂේත්‍රවල සවිබල ගැන්වීම සඳහා මෙම වැඩසටහන මඟින් අත්‍යවශ්‍ය සම්පත් සහ පුහුණුව ලබා දෙන බවත්, ඒ මගින් ඔවුන්ගේ ව්‍යාපාර සංවර්ධනයට උපකාරී වන බවත්ය.
මෙහි ආරම්භක වැසසටහන සදහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී (CEO) මංගල විජේසිංහ මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා ධර්මසේන මහත්මිය, එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ (FCDO) වැඩසටහන් ප්‍රධානී සයිමන් කැල්වර්ට් මහතා, ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-Andre Franche මහතා, ITC හි SheTrades Commonwealth වැඩසටහනේ වැඩසටහන් කළමනාකරු Michelle Christie,සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ නියෝජිතයන් සහභාගී වූහ.