ශ්‍රී ලංකාව කෝටි 1000ක් ණය වෙලා

Spread the love

ශ‍්‍රී ලංකාව ලබා ගෙන ඇති මුළු ණය ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 85 සිට 100 දක්වා පරාසයකට අයත් වන බවත් ශ‍්‍රී ලංකාව ලබා ගෙන ඇති ණය තිරසර මට්ටමකට ගෙන ඒම සඳහා චීනය,ඉන්දියාව,ජපානයට මෙන්ම බහුපාර්ශ්වික හවුල්කරුවන්ටද ගෝලීය වත්කම් කළමනාකරුවන්ටද පාඩු විඳ දරා ගැනීමට සිදුවන බවත් රොයිටර් පුවත් සේවය පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දීර්ඝ කාලීන ණය පහසුකම ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමේ හැරවුම් ලක්ෂය විය හැකි වුවත් ඒ සඳහා ශ‍්‍රී ලංකාවට දිගු ගමනක් යා යුතුව තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය පෙන්වා දුන්නේය.

ඒ සඳහා දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරගත යුතුවා මෙන්ම තරඟකාරී බලවතුන් වන චීනය, ඉන්දියාව සහ ජපානයෙන් ශ‍්‍රී ලංකාව ණය සහන ලබා ගත යුතු බව රොයිටර් පුවත් සේවය ප‍්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම යථාර්ථයක් වීමට නම් බොහෝ දේ සිදු කළ යුතුව තිබෙන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා හොඳින් දන්නා බව රොයිටර් පුවත් සේවය පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජූලි මාසයේදී පලා යාමට බල කළ ජනතාව තවමත් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පිළිගෙන නොමැති බව රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.

තිරසර නොවන බදු කප්පාදුවලින් රජය තම ආදායම් පදනම විනාශ කරගත් බවත් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන අදායම අඩු වූ අවස්ථාවේ රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීමට උත්සහ දැරීම හේතුවෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සංචිත නැතිකර ගත් බවත් දැන් ශ‍්‍රී ලාංකිකයන් සැලකිය යුතු ප‍්‍රමාණයක් දරිද්‍රතාවයට මුහුණ දී ඇති බවත් ආර්ථික විද්‍යාඥ චාල්ස් රොබට්සන් මහතා ප‍්‍රකාශ කළේය.ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය අවුල් ජාලයක් බව ඔහු පෙන්වා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත වාර්තා වලට අනුව ශ‍්‍රී ලංකාවේ මුළු ජනගහණයෙන් හතරෙන් එකක් ප‍්‍රමාණවත් පෝෂ්‍යදායි ආහාර වේලක් ගැනීමට නොහැකිව පීඩා විඳින බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇති ආකාරයට ශ‍්‍රී ලංකාවේ බාහිර ණය ලෙස සටහන් වන ඇමෙරිකානු ඩොලර් බිලියන 63 ක මුදලින් ඩොලර් බිලියන 7 ක මුදලක් ලබා දී ඇත්තේ චීනය බව රොයිටර් සේවය ප‍්‍රකාශ කළේය.ජපානය ණය ලෙස ඩොලර් බිලියන 3.5 ක මුදලක් ලබා දී ඇති බවත් ඉන්දියාව ණය ලෙස ඩොලර් බිලියන 1 මුදලක් ලබා දී ඇති බවත් රොයිටර් පුවත් සේවය පෙන්වා දුන්නේය.

එසේම ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 50.5 ක් වූ දේශීය ණය පිළිබඳ ගන්නා තීරණය ද විශාල ගැටළුවක් බව රොයිටර් පුවත් සේවය පැවසුවේය.

ශ‍්‍රී ලංකාවට ණය ලබා දුන් පාර්ශ්වයන්ගේ සහතිකයක් නොමැතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ශ‍්‍රී ලංකාවට ගලා නොඑන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප‍්‍රධානි පීටර් බෘවර් මහතා ප‍්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.

Related Posts