විදේශ සේවයේ ‘දේශපාලන හෙංචයියන්‘ ගැන ආණ්ඩුව ගත් තීරණාත්මක තීන්දුව

Spread the love

දේශපාලන වශයෙන් පත්කළ තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් 16 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි යළි කැඳවයි

ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩලවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ලෙස සේවය කරන දේශපාලන පත්වීම් ලැබූ 16 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ආපසු කැඳවීමට රජය තීරණය කර ඇති බව විදේශ අමාත්‍යාංශයේ ආරංචි මාර්ග ඊයේ ප්‍රකාශ කළේය.

විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ගවලට අනුව මෙම දූත මණ්ඩල ප්‍රධානීන් වෙත අදාළ ආපසු කැඳවීමේ ලිපි දැනටමත් යවා ඇත.

දෙසැම්බර් 1 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඔවුන් නැවත දිවයිනට පැමිණි පසු, රජය විසින් අදාළ රටවල ඔවුන්ගේ කාර්ය සාධනය සමාලෝචනය කර ඔවුන්ගෙන් කිසිවෙකු නැවත පත් කරන්නේද නැද්ද යන්න තීරණය කරනු ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ විදේශ සේවයේ, දේශපාලන පත්වීම් ලැබූවන් ලන්ඩන්, වොෂින්ටන් ඩීසී සහ ඉන්දුනීසියාවේ ජකර්තා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වැනි ප්‍රධාන අගනගරවල පවා සේවය කරති. ඔවුන්ගෙන් සමහරක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේත් තවත් පිරිසක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේත් පත් කර ඇත.

මීට අමතරව, ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩලවල කනිෂ්ඨ නිලයන් ලෙස සේවය කරන දේශපාලන පත්වීම් ලැබූවන් රාශියක් සිටින අතර ඔවුන්ගෙන් සමහරක් දේශපාලනඥයන්ගේ ඥාතීන් වේ. සේවයේ සම්පූර්ණ සේවක සංඛ්‍යාව ද තවමත් පුරවා නැත.

දේශපාලන පත්වීම් ලැබූවන්ට අමතරව, විශ්‍රාමික විදේශ සේවා නිලධාරීන් ද මේ මොහොතේ විවිධ අගනගරවල සේවය කරමින් සිටින බව ද වැඩි දුරටත් වාර්තාවේ.

 

Related Posts