විදේශ ඇමති GL රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව ප්‍රජාව අමතයි

Spread the love

විදේශ අමාත්‍ය මහාචාර්යජී.එල්. පීරිස් මහතා අද  (13) දින විදේශ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව ඇමතීය. අනුමත කොවිඩ්-19 ආශ්‍රිත මාර්ගෝපදේශ යටතේ පැවැත්වූ මෙම රැස්වීමට කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සහභාගී විය.

සති කිහිපයකට පෙර විදේශ අමාත්‍යවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු සාමූහිකව සමස්ත රාජ්‍යතාන්ත්‍රික බලකායම හමුවීමට ලැබුණු පළමු අවස්ථාව අමාත්‍යවරයා රැස්වීම ආරම්භයේදීම අගය කළේය. පෙර පැවති කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන්, එතුමාගේ කැමැත්ත පරිදි එවැනි රැස්වීමක් මීට කලින් පැවැත්විය නොහැකි වූ බව අමාත්‍යවරයා පැවසීය. මෙම හමුවේ අරමුණ වූයේ මෑතකාලීන ප්‍රවණතා පිළිබඳව තානාපති ප්‍රජාව සුහදශීලීව දැනුවත් කිරීමයි.

ඉතා සාර්ථක එන්නත් කිරීමේ ප්‍රයත්නයකින් අනතුරුව, රටේ කොවිඩ්-19 තත්ත්වය යහපත් අතට හැරී ඇති බවට වාර්තා වීම පිළිබඳව සතුටු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය. දැඩි අභියෝග මධ්‍යයේ වුවද, රට ක්‍රමයෙන් විවෘත කිරීම සඳහා පහසුකම් සලසමින්, රටේ ජනගහනයෙන් 70% කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇත. සංචාරක කටයුතු සහ ආර්ථික කටයුතු යළි ආරම්භ කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවගේ සහයෝගය අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. මෙම කොවිඩ්-19 අර්බුදය තුළ එක්සත් ජාතීන්ගේ සියලුම නියෝජිතායතන මෙන්ම, පරිත්‍යාගශීලීන් සහ කොළඹ පිහිටි බහුපාර්ශ්වික මූල්‍ය ආයතන ද ඇතුළු රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවගෙන් ලද සහයෝගය සහ සහය පිළිබඳව අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළේය.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සහ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ අවස්ථාවේ දී එතුමා සමඟ නිරත වූ නිව්යෝර්ක් සංචාරයේ දී, සිදුකළ සිය මෑත කාලීන විදේශ කටයුතු පිළිබඳව අමාත්‍ය පීරිස් මහතා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කළේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී, ලොකු කුඩා සෑම රටකින්ම සාමූහික ප්‍රවේශයක් අවශ්‍ය වන හදිසි ගැටලු විසඳීම සඳහා වූ ගෝලීය ප්‍රයත්න සමඟ ශ්‍රී ලංකාව සහයෝගයෙන් කටයුතු කළේය. මීළඟ ප්‍රධාන ජාත්‍යන්තර කටයුත්ත වන ග්ලාස්ගෝ හි පැවැත්වෙන COP 26 සමුළුවේ දී ජනාධිපතිතුමා සමඟ අමාත්‍යවරයා ද සහභාගී වන අතර, දේශගුණික වශයෙන් අවදානමට පත් විය හැකි රටක් වශයෙන් ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් සිය කැපවීම් පිළිබඳව යළි අවධාරණය කරනු ඇත.

Related Posts