පලතුරු අනුභව කිරීමෙන් සිරුරට අත්‍යවශ්‍ය විටමින් පහසුවෙන් ලබාගත හැකිබව කුඩා අවධියේ සිටම දෙමව්පියන් ඔබව දැනුවත් කරයි. පසු කාලීනව පුද්ගල සෞඛ්‍යය පිළිබඳව දැනුවත්වීමත් සමඟ ඔබ ඒ කෙරෙහි අවධානයෙන් නැඹුරු වෙයි. එහෙත් කාර්ය බහුල සමාජයක ජීවත්වන බොහෝ දෙනෙකුහට පලතුරක රස බලන්න ඇති ඉඩකඩ සීමාසහිත වේ. කෙසේ වුවද බීමක් ලෙස සැකසූ පලතුරු කුමන අවස්ථාවකදී හෝ පරිභෝජනයට ලබාගත හැකිවීම මෙම දුෂ්කරතාව යම් තරමකට හෝ මගහරවා දී ඇත. ස්වරූපය වෙනස් වුවද, එමගින් අවාරයේ දී පවා පලතුරක රසය භුක්ති විඳීමට ඕනෑම කෙනෙකුහට හැකිවී තිබේ.
වර්තමානය වනවිට කෘත්‍රිම රසකාරක අඩු හා ස්වභාවික පලතුරු බිම වර්ග උදෙසාවන ඉල්ලුමේ ඉහල ප්‍රවණතාවයක් ගොඩනැගී ඇත්තේ එහෙයිනි. ශක්තිජනක බීම Energy Drinks, කාබනික බීම Organic Drinks සහ මිශ්‍ර බීම Smoothies යන කාණ්ඩ අතර පලතුරු යුෂ නිෂ්පාදන සැලකිය යුතු වෙළඳපොලක් අත්පත්කර ගැනීමට සමත්වී තිබේ. ඒ අනුව පලතුරු බීම නිෂ්පාදන හොඳ ආදායමක් උපයාගත හැකි මාර්ගයක් බවට ද පත්වී ඇත. මේ සඳහා පුළුල් වෙළඳපලක් අපේ රට තුළද ගොඩනැගෙමින් පවතී. ඒ උදෙසා දේශීයව සපයා ගතහැකි පලතුරු වර්ග බොහොමයක් අප සතුව ඇත. කෙසේ වුවද ව්‍යවසායකයකු වශයෙන් පලතුරු බීම නිෂ්පාදන ක්ෂේත්‍රයට අවතීර්ණවීමට පෙරාතුව ඒ පිළිබඳව යම් තරමක හෝ පූර්ව දැනුමක් ලබා තිබීම ද ඉතා වැදගත් බව පැවසිය හැකිය.
ඒ සඳහා අවශ්‍ය වෘත්තීයමය දැනුම ලබා ගැනීමට හා කුසලතාව වැඩි දියුණුකර ගැනීමට ඔබගේ පදිංචියට ආසන්නව පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින, දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන වෙතින් විමසා බැලීම වඩා උචිත වේ. එමෙන්ම ඒ උදෙසා අවශ්‍ය කරන අනුකූලතා සහතික මොනවාද යන්න ඔබ දැන සිටීම ඉතා වැදගත් වනු ඇත. විශේෂයෙන්ම ඔබගේ ව්‍යාපාරය අරඹන ස්ථානය අයත්වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ පළාත් පාලන ආයතනය වෙතින් ඒ පිළිබඳව කරුණු විමසා දැන ගැනීමට හැකියාව තිබේ. ඉන් බැහැරව පලතුරු යුෂ හෝ බීම නිෂ්පාදනය හා අලෙවිය පිළිබඳ දේශීය නීතිරීති ගැන අධ්‍යයනය කරන්න. මේවා හඳුන්වාදී ඇත්තේ ඔබගේ උත්සාහය අකර්මණ්‍ය කිරීමට නොවන බවත් අවධාරණය කරමු.
ඒ අනුව පලතුරු බෝග වගා කිරීමේ සිට පලතුරු යුෂ ඇසුරුම්කර විකිණීම දක්වා වූ ව්‍යාපාර දාමයේ කොතැනක වුවද ඔබට නිරතවීමට හැකියාව තිබේ. එමෙන්ම නැවුම් පලතුරු යුෂ Fresh Fruit Juice, සාන්ද්‍ර යුෂ FC-From concentrate juice, සාන්ද්‍ර නොකල යුෂ NFC – Not from concentrate Juice (100% පලතුරු යුෂ) සහ සෙ.අංශක 10 කට වඩා අඩු උෂ්ණත්වයකදී පීඩනය යටතේ නිස්සාරණය කරගන්නා යුෂ Cold Press Juice හා සීනි මිශ්‍රිත පලතුරු බීම Fruity Drinks ආකාරයෙන් කැමති ස්වරූපයක පලතුරු යුෂ නිෂ්පාදන කිරීමට යොමුවිය හැකි වේ. කෙසේ වුවද සමහර ආයතන පලතුරු මිලදී ගෙන ඒවා සාන්ද්‍ර පලතුරු යුෂ බවට පත් කර, පසුව තොග වශයෙන් ඇසුරුම්කර බීම නිෂ්පාදකයින් වෙත විකුණන ආකාරය දක්නට ලැබේ.
පලතුරු යුෂ නිෂ්පාදනය ගෘහ කර්මාන්තයක්, කුඩා ව්‍යාපාරයක්, සුළු කර්මාන්තයක් හෝ විශාල ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීම එතරම් සංකීර්ණ කටයුත්තක් නොවේ. අවශ්‍ය වන්නේ ඔබගේ නිෂ්පාදනය කෙරෙහි දෙවන හා තෙවන පාර්ශවයන්ගේ විශ්වාසය ගොඩනගා ගැනීමයි. ව්‍යාපාරයේ පරිමාණය කුමක් වුවද පලතුරු යුෂ බීම ජනප්‍රියවීම කෙරෙහි බලපාන්නේ ඒවායෙහි නිෂ්පාදන පිළිවෙත, ගුණාත්මක බව හා සෞඛ්‍යාරක්ෂිත බව යැයි අවධාරණය කරමු. මෙවැනි කර්මාන්තය ඇරඹීම උදෙසා ගෘහස්ථ පරිශ්‍රයේ ඉඩකඩ නොමැති නම්, ගොඩනැගිල්ලක් කුලියට හෝ බද්දට හෝ ගත හැකි වේ. අමුද්‍රව්‍ය ගබඩා කිරීමට, යුෂ නිෂ්පාදනය උදෙසා භාවිත කරන යන්ත්‍ර සූත්‍ර හා ඇසුරුම් කිරීමට සහ කාර්ය මණ්ඩලයට නිදහසේ වැඩ කිරීමට ප්‍රමාණවත් ඉඩකඩ එහි තිබිය යුතු ය.
කෙසේ වුවද නිෂ්පාදනය කරන පලතුරු යුෂ වර්ගය කුමක් වුවත් ඒ සඳහා සම්මත නිෂ්පාදන ක්‍රියාදාමයක් පවතින බව පෙන්වා දිය හැකිවේ. පලතුරු අස්වැන්න නෙලාගන්නා ක්ෂේත්‍රයේ සිට අලෙවිකරණ ස්ථානය තෙක්වන ගමන් මගකින් එය යුක්ත වේ. ඒ අනුව හොඳින් පැසුණු පලතුරු තේරීම, සේදීම, බාහිර ආවරණ ඉවත් කිරීම, අභ්‍යන්තරයේ වූ බීජ ඉවත් කිරීම, ඇඹරීම, නිස්සාරණය කිරීම, පෙරීම සහ බඳුන්වලට පිරවීම, මුද්‍රා තැබීම, ලේබල් කිරීම, ඇසුරුම් කිරීම සහ වෙළඳසැල් වෙත යොමු කිරීම මෙන්ම පාරිභෝගිකයින් දැනුවත් කිරීම දක්වා එය විහිදී යයි. මෙහි සඳහන් කළ එක් එක් නිෂ්පාදන පියවර සඳහා ගෘහස්ථව භාවිත කළ හැකි සරල උපකරණවල සිට විශාල පරිමාණයේ තාක්ෂණයෙන් ඉහළ යන්ත්‍ර සූත්‍ර බොහොමයක් දැන් වෙළඳපොල වෙතින් සපයා ගැනීමට අවස්ථාව උදාවී තිබේ.
මෙවැනි යන්ත්‍ර සූත්‍ර ඇසුරෙන් වෙනත් අමුද්‍රව්‍ය එකතු නොකර පිරිසිදු ලෙස පලතුරු බීම නිෂ්පාදනය කළහැකි අතර සමහර නිෂ්පාදන සීනි සිරප් සමඟ තනුක කර සකසා නිපදවීම ද කෙරේ. එමෙන්ම පලතුරු වලින් සාදන බීම ‘ඇසුරුම විවෘතකල සැණින් බීමට ගතහැකි Ready- To- Drink ’ මෙන්ම භාවිත කරන අතරම ගබඩා කර තබා ‘ටිකෙන් ටික නැවත භාවිතයට ගත හැකි බීම Highly Concentrated Juice’ වශයෙන් නිපදවා වෙළඳපොලට යොමු කළහැකි වේ. පෙර සඳහන් කළ ආකාරයට ඇසුරුම් කරන්නේ නම් එවැනි නිෂ්පාදන සඳහා කිසිදු කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් මිශ්‍ර නොකළ යුතුය. දෙවනුව සඳහන් කළ නිෂ්පාදන උදෙසා අනුමැතිය ලත්, කල් තබා ගැනීමට උපකාරීවන රසායනික ද්‍රව්‍ය නිර්දේශිත ප්‍රමාණයක් මිශ්‍ර කළ හැකි වේ.
බීම නිෂ්පාදනයේදී, ආරම්භක පියවර වන්නේ පූර්ව තේරීම Pre-sorting ය. ඒ අනුව, නුසුදුසු වූ සහ හඳුනාගත් ප්‍රමිතියට නොමැති පලතුරු ඉවත් කරන්න. ගුණාත්මක නිෂ්පාදන සැකසීමේ මුල්ම පියවර එමගින් සහතික කරයි. අපවිත්‍රවීමේ අවදානමක් නොමැති බව සහතික කිරීම සඳහා යුෂ නිෂ්පාදනය කරන පරිශ්‍රයේ සීමාවෙන් පිටත මෙම ක්‍රියාවලිය සිදුකිරීමට වග බලා ගන්න. ඒ සඳහා යොමුවන පුද්ගලයා (පිරිස) ද සනීපාරක්ෂක රෙගුලාසි වලට අනුකූලව නිර්දේශිත ඇවතුම් පැවතුම් ඒ උදෙසා අනුගමනය කළයුතු අතර ඔවුන් වෙතින් හරස් දූෂණය Cross Contamination නොවන බවට සහතික කරගත යුතු ය.
දෙවන ක්‍රියාපටිපාටිය වන්නේ පලතුරු පිරිසිදු කිරීම Cleaning ය. සියලුම බාහිර අපද්‍රව්‍ය සහ දූෂ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පලතුරු සේදීම කරන්න. මෙය සාමාන්‍යයෙන් නිෂ්පාදන පරිශ්‍රයේ සීමාව තුළ ඉටුකරගැනීමට කටයුතු කරන්න. මේ සඳහා ඔබට සෝදන ඒකකයක් හෝ යන්ත්‍රයක් Surfing Washing Machine අවශ්‍ය කෙරේ. ඒ අනුව මළ නොකන ලෝහ හෝ පොලිමර් ටැංකියක් වෙත ඉහළ පීඩනයකින් යුත් පොම්පයකින් ජලය යොමුකරමින් අදාල පලතුරු, පෙරළ පෙරළා පිරිසිදු කරගත හැකිවේ. බොහෝවිට ආහාර ශ්‍රේණියේ සනීපාරක්ෂක රසායනික ද්‍රව්‍ය Food Grade Sanitizing Chemicals විෂබීජ නාශක ලෙස ජලය සමග නිර්දේශිත අනුපාතයෙන් මිශ්‍රකර මේ උදෙසා භාවිත කරන්න. එම ජලය ප්‍රතිචක්‍රීකරණය කිරීම ඉතා වැදගත් වේ. එමෙන්ම මෙහිදී කොහු කෙඳි හෝ පොලිමර් බුරුසු ආධාරයෙන් පලතුරුවල බාහිර පෘෂ්ඨය පිසදැමීම මගින් පහසුවෙන් ඒවායෙහි තැවරී රැඳී ඇති අපද්‍රව්‍ය ඉවත්කර ගත හැකි වේ.
අනතුරුව, අභ්‍යන්තරයේ අපවිත්‍ර ද්‍රව්‍ය හෝ ජීවීන් (උදා. පණුවන්) නොමැති බව සහතික කර ගැනීමට ඒවා විවරකර හෝ කපා බලන්න. මෙම කටයුත්ත නිෂ්පාදන පරිශ්‍රය තුළ වුවද සිදු කළ හැකිවේ. සමහර පලතුරු (උදා. අඹ, පීච්, පැපොල්, අන්නාසි සහ අලිගැට පේර ) ඇඹරීමට පෙර ඒවායෙහි බාහිර ආවරණය සහ බීජ ඉවත් කිරීම කළ යුතු ය. විශේෂයෙන්ම පැඟිරි කුලයේ ඵල ඇසුරෙන් යූෂ නිෂ්පාදනයේදී ඒවායේ පොත්තෙහි අන්තර්ගත තෙල් Limonene මඟින් එහි යුෂයට කටුක රසයක් ගෙනදීම පෙන්වා දිය හැකි ය.) ගෘහ කර්මාන්තයකදී නම් මිනිස් ශ්‍රමය ඇසුරෙන් මෙම ක්‍රියාව ඉටුකර ගැනීම ලාභදායී වේ. යන්ත්‍රයක් භාවිතයේදී එහි වූ කැපුම්තල මගින් පැඟිරි කුලයේ පලතුරුවල බාහිර ආවරණය කපා බැහැරට යොමු කරනු ලැබේ. ඉන්පසුව, යුෂ නිස්සාරණය Extraction කිරීම සඳහා ඇඹරුම් යන්ත්‍රයට යොමු කළහැකි වේ.
පලතුරු යුෂ නිස්සාරක ඇඹරුම් යන්ත්‍ර මෝස්තර රඳා පවතින්නේ ඒ උදෙසා කුමන ආකාරයේ පලතුරු භාවිත කරන්නේද යන්න සහ අවසාන නිෂ්පාදිතයේ ස්වරූපය මත ය. සමහර අවස්ථාවක ඔබට අවශ්‍ය වන්නේ එක් යන්ත්‍රයක් පමණක් වුවද තවත් කෙනෙකුහට ඒ උදෙසා යන්ත්‍ර වර්ග කිහිපයක් භාවිතයට ගැනීමට සිදුවේ. ඇඹරුම් යන්ත්‍ර විවිධ ධාරිතාවන්ගෙන් යුතුව මිලදී ගැනීමට හැකියාව පවතියි. සපයාගතහැකි අමුද්‍රව්‍ය ප්‍රමාණය සහ අපේක්ෂිත බිම නිෂ්පාදිතයේ වයනය හා ප්‍රමාණය මත අදාළ යන්ත්‍ර තෝරා ගැනීම කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න. එමෙන්ම එය ක්‍රියාකරවන බලශක්තිය හා බලශක්ති අවශ්‍යතාවය (උදා: විදුලිය නම්, මෝටරයේ ධාරිතාවය, ඇම්පියර් ගණන හා වොල්ටියතාවය) ගැන සලකා බලන්න.
එලෙසින් ඇඹරුම් යන්ත්‍රයෙන් එක්රැස් කරගන්නා උකු ද්‍රවය (පොම්පයක් ඇසුරෙන්) ඊළඟ නිෂ්පාදන අදියර වෙත මාරු කළ හැකි වේ. පලතුරු යුෂ සැකසීමේ වැදගත් ඒකකයක් වන්නේ මිශ්‍ර කිරීමේ ටැංකියයි. සාන්ද්‍රණය, පලතුරු පල්ප්, කල් තබා ගන්නා ද්‍රව්‍ය, ජලය, රසකාරක, වර්ණකාරක සහ තවත් බොහෝ දේ මිශ්‍ර කිරීම සඳහා මෙවැන්නක් උපකාරී වේ. විවිධ ප්‍රමාණවලින් මළ නොකන ලෝහ ද්‍රව්‍ය ඇසුරෙන් සකසා ඇති මෙම ටැංකි විවිධ මිල ගණන් යටතේ විවෘත වෙළඳපොල වෙතින් සපයා ගතහැකි වේ.
මෙලෙසින් නිපදවාගත් පලතුරු යුෂ පෙරහන් ක්‍රමයක් Filtration System භාවිත කර අන්තර්ගතයේ ස්වරූපය අනුව පෙරා වෙන්කර ගැනිමට හැකිවේ. ඒ සඳහා පීඩන පෙරීමේ තාක්ෂණය සහිත උපකරණ භාවිතා කරයි. මේවායේ සෑම කොටසක්ම මළ නොබැඳෙන වානේ වලින් නිපදවා තිබේ. ඒ තුළ ඇති මළ නොබැඳෙන වානේ හෝ ඇලුමිනියම් ලෝහ මගින් නිපදවා ඇති පෙරහන් දැල ආධාරයෙන් 1μ ට වඩා වැඩි අංශු බැහැර කිරීමට හැකියාව තිබේ. එමෙන්ම ඒකාබද්ධ යුෂ පෙරහන යන්ත්‍ර මොස්තර වලට ඉහළ පෙරීමේ වේගයක් සමග විශාල වශයෙන් අවශේෂ රඳවා ගැනීමේ ධාරිතාවයක් පවතී. මෙවැනි යන්ත්‍රයක සුමට සංසරණ ක්‍රියාදාමයක් පවතින අතර භාවිතය පහසු වේ.
පලතුරු බීම නිෂ්පාදන ක්‍රියාවලියේදී පැස්ටරීකරණය Pasteurizing ඉතා වැදගත් අදියරකි. මෙය අත්‍යවශ්‍ය දෙයකි. බැක්ටීරියා රඳා නොසිටින හා විඛාදනය නොවන උසස් ප්‍රමිතියෙන් යුතු ලෝහ ද්‍රව්‍ය භාවිතකර නිපදවන පැස්ටරීකරණ උපකරණ මේ උදෙසා භාවිත කිරීමට සැලකිලිමත් වන්න. පලතුරු මිශ්‍රකර බීම නිෂ්පාදනයේදී වුවද බෝතල් තුළට පිරවීමට පෙර එම ද්‍රව්‍ය පැස්ටරීකරණය කළ යුතු වේ. ( පැඟිරි කුලයේ පලතුරු මිශ්‍ර කිරීමෙන් වළකින්න.) මෙම ක්‍රියාවලිය පලතුරු යුෂ ඉක්මනින් සිසිල් කිරීමට පෙර නියමිත වේලාවට නිශ්චය කරගත් උෂ්ණත්වයකට රත් කරගත යුතුවේ. නවීන පිරවුම් යන්ත්‍ර බොහොමයක් පැස්ටරීකරණ පද්ධති සමඟ බාධාවකින් තොරව ඒකාබද්ධ කළ හැකිවේ.
පැස්ටරීකරණයේදී පලතුරු බීමවල පෝෂණ ගුණයන් ආරක්ෂා කරමින්, හානිකර බැක්ටීරියා විනාශ කර දමයි. විටමින් සංරක්ෂණය කරදෙයි. නිෂ්පාදනයේ ආයු කාලය දිගු කරවයි. ඒවායේ කාබනික ගුණාංග ද ආරක්ෂා කරන අතර ඇසුරුම් තුල කල්පවත්වා ගැනීම සඳහා ද උපකාරී වේ. අනතුරුව නිෂ්පාදිතය ඉක්මන් සිසිලනය කිරීම වැදගත් වේ. එසේ නොමැති නම්, නිෂ්පාදනයට පිළිස්සුණු රසයක් ගෙන එයි. වර්ණය තද දුඹුරු බවට පත්වේ.
මෙලෙස සැකසූ පලතුරු බීම, පිරවුම් යන්ත්‍රයක් Filling Machine ආධාරයෙන් බෝතල් කිරීමෙන් පසු එයට අදාළ මූඩිය හෙවත් වැස්ම සවිකර ගැනීම කළ යුතුවේ. අවම මිනිස් ශ්‍රමයක් යටතේ ක්‍රියාකරවිය හැකි සරළ උපකරණ මේ උදෙසා භාවිතය ලාභදායී වුවද පරිමාණයෙන් ඉහල නිෂ්පාදන ආයතනයක් නම් සකස්කරගත් පලතුරු බීම අපතේයාම සිදුනොවීමට බෝතලයට යොමුකරන දියර ප්‍රමාණය සහ පිරවීමේ වේගය නියාමනය කළ හැකි යන්ත්‍ර භාවිත කිරීම වාසිදායක වේ. ඒ අනුව වාහක පටි මතින් රැගෙනයන බෝතල යන්ත්‍රයේ නැසිනි Nozzles වෙතට යොමුකිරීමෙන් පසුව පරිමාමිතික තාක්ෂණය Volumetric Technology භාවිතයෙන් බෝතල තුළට යොමු කරයි. බහාලුම්වල ප්‍රමාණය, ඒවායෙහි හැඩය සහ ඇසුරුම් ද්‍රව්‍ය අනුව ද නිමි නිෂ්පාදන ක්‍රියා පිළිවෙත විවිධ මුහුණුවර උසුලයි.
කෙසේ වුවද පලතුරු බීම ඇසුරුම් කිරීමට පෙර අදාල ඇසුරුම් බෝතල පරීක්ෂා කිරීම විශ්වසනීය පිරවීමේ මෙහෙයුමක අත්‍යවශ්‍ය කටයුත්තකි. ඒ අනුව බෝතලයේ නිෂ්පාදිත දෝෂ, අපද්‍රව්‍ය හෝ අවශේෂ ද්‍රවයක් තිබේදැයි පරීක්ෂා කළ හැකිවේ. පිරවීමෙන් පසුවද අපේක්ෂිත පිරවුම් මට්ටම හා කාන්දුවීම් නොමැති බව සහතික කරගැනීම සඳහා ඒවා නැවත පරීක්ෂා කළ යුතු වේ. කුඩා ව්‍යාපාරයක නම් කල්ගත වුවද එය මිනිස් ශ්‍රමයෙන් ඉටුකර ගැනීම ලාභදායී වේ. කර්මාන්තශාලා තුළ සාමාන්‍යයෙන් වාහක පටි ඔස්සේ බෝතල් ගමන් කිරීමේදී ඒවා සමග ස්පර්ශ නොවන දෘශ්‍ය පරීක්‍ෂණයක් යටතේ බෝතලයේ ස්වරූපය හා අන්තර්ගත දියර ප්‍රමාණය නිරීක්ෂණය කළහැකි වේ. මෙම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් ස්වයංක්‍රීය වන අතර ඒ සඳහා බෝතල් පරිලෝකන තාක්ෂණය භාවිතා කරයි. තත්ත්ව පාලන ක්‍රියා පටිපාටිවලට අනුකූලවීම මෙන්ම සත්‍යාපනය Verification කිරීම සඳහා බෝතල් පරීක්‍ෂණ උපකරණ වර්තමානයේදී පලතුරු බීම කර්මාන්තයේ බහුලව භාවිතා වේ.
අවසාන පියවර වන්නේ ඔබගේ පලතුරු බීම බෝතල ලේබල් කිරීම සහ ඇසුරුම් කිරීම Labeling and Packaging යි. මෙය සුවිශේෂී කටයුත්තකි. පෙර සකසාගත් ලේබලය මත නිෂ්පාදන නාමය, ව්‍යාපාරික නම සහ ලිපිනය, නිෂ්පාදනය කරන ලද දිනය, කල් ඉකුත්වන දිනය, භාවිත අමුද්‍රව්‍ය, අන්තර්ගත කල් තබා ගන්නා ද්‍රව්‍ය, නිෂ්පාදිතයේ ප්‍රමාණය, කාණ්ඩ අංකය, පෝෂණ විශ්ලේෂණය, ප්‍රමිතිකරණ සලකුණ , තීරු කේත (ප්‍රධාන ප්‍රවාහ වෙළඳපල සඳහා) සහ ගබඩා කල යුතු ආකාරය සඳහන් කිරීම රීතියකි. එමෙන්ම නිෂ්පාදියේ වැසුමේ/ මූඩියේ මුද්‍රා තැබීම සහතික කිරීම සඳහා මෙන්ම ලේබල වලට සිදුවන හානි වළකාගැනීම සඳහා උණුසුමට ලක්කළ වාතය හෝ ජලය ඇසුරෙන් පොලිතීන් හැකිලීමට සලස්වා ආවරණය Shrink wrapping කිරීම නිෂ්පාදිතයට ඉහළ වටිනාකමක් එකතු කරදෙයි. මෙවැනි කටයුත්තකට Heat gun dryer ආකාරයේ අත් යන්ත්‍රයක් කුඩා ව්‍යවසායත්වයකට යෝග්‍ය වේ. කුඩා ව්‍යවසායෙකු හට ආරම්භයේදී මුද්‍රිත ලේබල ඇලවීමට, ඇසුරුම් කිරීමට හා ඇසුරුම මත ලේබල යෙදීමට මෙන්ම ඒවා මුද්‍රා කිරීමට ද සේවක ශ්‍රමය යොදා ගතහැකි වේ. ව්‍යාපාරය පුළුල්වනවිටදී ඒ උදෙසා බහුකාර්ය යන්ත්‍ර ඔබගේ ආයතනය තුළ ස්ථාපිත කර ගන්න.
එමෙන්ම නිෂ්පාදන පිරිවැය ඉතිරිකර වැඩි ලාභයක් ලබාගැනීම සඳහා සෑම දෙයකටම අදාලව ඉන්වෙන්ටරි පාලන ක්‍රමවේදයක් සකස්කර ගන්න. ඒ අනුව ආරම්භයේ සිටම නිෂ්පාදන පිරිවැය, ශ්‍රම පිරිවැය, කළමනාකරණ පිරිවැය, අපේක්ෂිත ලාභය ඇතුළත් තොරතුරු රැස්කර වරින්වර සමාලෝචනය කරන්න. අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් සහ බෙදා හැරීමේ නියෝජිතයින් ලැයිස්තුගත කරන්න. සමකාලීන තරඟකරුවන්, පාරිභෝගිකයින් පිළිබදව සහ පවතින නිෂ්පාදන පිළිබදව වෙළදපොල විශ්ලේෂණය කරන්න. නිෂ්පාදන අලෙවිකරණය සහ කළමනාකරණය සංවිධානය කරන්න. සෑම දෙයකටම නිශ්චිත කාර්යයන් සහ ඉලක්ක තබන්න. ආරම්භයේදී සිටම අසීරුවෙන් වුවද ඔබගේ බීම නිෂ්පාදන පිළිවෙතේ තත්ත්ව කළමනාකරණ, සුරක්ෂිතතා කළමනාකරණ, යහපත් නිෂ්පාදන පිළිවෙත්, පාරිසරික කළමනාකරණ, වෘත්තීය සෞඛ්‍ය ආරක්ෂක හා බලශක්ති කළමනාකරණ උදෙසාවන සහතිකකරණ වැඩසටහන් වෙත නැඹුරුවන්න. මේ උදෙසා සපුරාලිය යුතු අවශ්‍යතා පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයෙන් විමසා දැනගැනීමට උනන්දු වන්න.
ඔබ හෝ ඔබගේ ආයතනය විසින් නිෂ්පාදන කරන ලද ද්‍රව්‍ය ග්‍රාමිය වෙළඳසැල්, ආපනශාලා, සිල්ලර වෙළඳසැල්, සුපිරි වෙළඳසැල්, ජංගම වෙළදසැල් හා උද්‍යාන වෙළඳසැල් ආදිය වෙත යොමු කරන්න. තවද ඔබට ඇතැම් ප්‍රදේශවල බෙදාහැරීම සහ විකුණුම් කටයුතු සිදුකරන නියෝජිතායතන මේ සඳහා සහායකරගත හැකිවේ. ඒ උදෙසා ඔවුන් සමග දිගුකාලීන සහයෝගීතාවයක් ඇතිකර ගැනීම වඩා වැදගත්වේ. ආරම්භයේ සිටම ඔබගේ නිෂ්පාදන පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කුඩා දැන්වීම් හෝ කෙටි වීඩියෝ දර්ශණ ප්‍රචාරණය කරන්න. වෙළඳ ප්‍රදර්ශන හරහා ඔබේ නිෂ්පාදන සන්නාමය පතුරුවා හරින්න. වසරින් වසර පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ආකර්ෂණීය ඇසුරුම් ක්‍රම නිර්මාණය කර භාවිත කරන්න.
එමෙන්ම ඔබගේ නිෂ්පාදන පරිශ්‍රයේ සනීපාරක්ෂාව කෙරෙහි ද අවධානය යොමු කරන්න. සැම දිනකදීම පිරිසිදු කිරීමේ උපකරණ ආධාරයෙන් ගබඩා ප්‍රදේශය, භාවිත උපකරණ හා මෙවලම්, වැඩ පෘෂ්ඨයන් හා ආයතනික පරිශ්‍රය සේදීම හා විෂබීජහරණය කළයුතු වේ. එහෙයින් ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පිරිසිදු කිරීමේ උපකරණ භාවිතයට ගන්න.
ලොව පුරාම පලතුරු බීම ජනප්‍රිය වීමත් සමඟම නව උපකරණ, යන්ත්‍ර සූත්‍ර හා ඇසුරුම් ක්‍රම අඛණ්ඩව බිහිවෙමින් තිබේ. එහෙයින් පරිමාණයෙන් කුඩා වුවත්, විශාල වුවත් පලතුරු බීම සකසා ඇසුරුම්කර වෙළඳපොලට යොමුකිරීමට බලාපොරොත්තු වන්නේනම් ඔබගේ ව්‍යාපාරය උදෙසා භාවිතා කරන උපකරණ පිළිබඳව පළමුව සැලකිළිමත් වන්න. යෝග්‍ය උපකරණ හා අණපනත් පිළිබඳව දැනුවත්වීමෙන් පසුව නිෂ්පාදන කටයුතු ඇරඹිම ඔබගේ සාර්ථකත්වයට හේතුවන බව සිතන්න.
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ
සටහන: මෙම ලේඛකයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වසර 30 ක් ගොවිපල් යාන්ත්‍රික උපදේශකවරයෙකු ලෙස සේවයකර තිබේ. එසේම පෞද්ගලික අංශයේ ආහාර සැකසුම් නිෂ්පාදන ආයතනයක තත්ත්ව පාලන කළමණාකරුවකු වශයෙන් ද සේවය කර ඇත. වසර 2005 සිට 2020 දක්වා ජාතික අධ්‍යාපන ආයතනයේ, තාක්ෂණ දෙපාර්තමේන්තුවේ (කෘෂිකර්ම) සහ වසර 2000 සිට 2021 දක්වා ඇක්වයිනාස් විශ්ව විද්‍යාල ආයතනයේ වැවිලි කළමණාකරන පීඨයේ සම්පත්දායකයෙකු ලෙස ද කටයුතු කර ඇත. වසර 2016 සිට මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම හා පරිසර ඒකකයේ සම්පත්දායකයෙකු ලෙස කටයුතු කරනු ලැබේ. චින මහජන සමූහාණ්ඩුවේ ආධාරමත අවස්ථා දෙකකදී ද ජපාන තාක්ෂණික ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අවස්ථා දෙකකදී ද වැඩිදුර අධ්‍යාපනය ලබා ගෙන ඇත.)
මෙම ලිපිය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය / HARTI විසින් ඩේව් ප්‍රෝ (DevPro) ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරනු ලබන ‘SMEs කාන්තා ව්‍යවසාය ප්‍රවර්ධන වැඩසටහන මඟින් ‘ ලබා දෙන ලද ලිපියකි.