වසර 29 ට පෙර කතරගමට පැමිණි “පාදයාත්‍රාවේ” දේශපාලනය

පාදයාත්‍රාව සඳහා විපක්ෂයේ දේශපාලනය ගොනු කෙරුණේ ග්‍රාමීය සමාජය සහ නාගරික මැද පංතිය ආමන්ත්‍රණය කළ හැකි සටන් පාඨ සතරක් සමගින් ය. ඒ අනුව (1) 1988-90 ජ.වි.පෙ ත්‍රස්තවාදය මර්දනය කිරීමේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් වගකීම බාර ගැනීම සහ වන්දි ගෙවීම (2) ජීවන වියදම පහත හෙළීම (3) රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය වහා නතර කිරීම සහ (4) යුද්ධය වෙනුවට සාමය වෙනුවෙන් සාකච්ඡාමය විසඳුමක් යන්න ඉදිරිපත් කෙරුණි.  

මීට වසර 29 ට පෙර කොළඹ විහාර මහදේවී උද්‍යානය අභියසින් 1992 මාර්තු 17 වන දින උදයේ එවකට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් කතරගම බලා පිටත් වූ “පාදයාත්‍රාව”, හරියටම අවුරුදු 29 ට පෙර 1992 අප්‍රේල් 01 වන දින සවස කතරගමට පැමිණියේය. එය නිල වශයෙන් අවසන් කෙරුණේ අප්‍රේල් 02 වන දින උදය කතරගම දේවාලයේ පැවැත්වූ විශේෂ පූජාවක් සමගින්ය.

ජනතා ව්‍යාපාරයක් ලෙස ගොනුවූ පාදයාත්‍රාවට නිල වශයෙන් ප්‍රකාශ නිකුත් කරමින් සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය විරුද්ධ වූහ. මාස 04 ක් පුරා සංවිධානය කෙරුණු එය ගැන සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් බැටී වීරකෝන් කියා තිබුණේ “දඩිබිඩි තීරණ වලට” ඔවුන් හවුල් නොවන බව ය. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් කේ. පී. සිල්වා කියා තිබුණේ “ජනතාව පාවා දෙන සටන් වලට” ඔවුන් හවුල් වන්නේ නැත කියා ය.

එහෙත් සමසමාජ පක්ෂයේ පුරෝගාමිත්වයෙන් 1953 දියත් වූ අගෝස්තු හර්තාලයෙන් පසු ආණ්ඩුවක් සාර්ථකව අභියෝගයට ලක් කළ විවෘත ජනතා විරෝධය වූයේ මේ “කතරගම පාදයාත්‍රාව” ය. මේ වනවිට එයට අයිතිවාසිකම් කියන්නාවූ අය මාධ්‍යයන්හි මට හමුව ඇතත් පාදයාත්‍රාවේ සුල මුල දන්නේ මහින්ද සමග මා හැරුණු විට අපගේ සමීපතමයෙකු වූ මාධ්‍යවේදී වසන්තප්‍රිය රාමනායක පමණි. පාදයාත්‍රාව ඇත්තටම තීන්දු වන්නේ රාමනායකද සිටි මහින්දත් මාත් රාජ්‍ය සංස්ථා ක්ෂේත්‍රයෙහි වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනෙකු හමුවූ කතාබහ අවසානයේම නොවේ.

පාදයාත්‍රාව ලෙස නිශ්චිතව නොවුණත් 1988 දෙසැම්බරයේ මහින්ද සමග ආරම්භ කළ දකුණේ මානව හිමිකම් සඳහාවන උද්ඝෝෂණය ප්‍රේමදාස ජනාධිපතිගේ ආණ්ඩුවට එරෙහි ජනතා ව්‍යාපාරයක් බවට පත්කර ගැනීමේ දේශපාලනය 1989 පෙබරවාරියේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහින්ද හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ පසු තීන්දුවී තිබුණකි. මංගල සමරවීරද හවුල් වූ “මව් පෙරමුණ” ආණ්ඩු විරෝධයක් ලෙස කොළඹින් පිටතට ගෙන යාමට නොහැකි වූ පසු, පුළුල් ජනතා ව්‍යාපාරයක් පිළිබඳව වෙනත් අදහස් අපි  කතා කරමින් සිටියෙමු. එය කතරගම පාද යාත්‍රාව ලෙස තීන්දු වූයේ 1991 නොවැම්බර 24 වන දින මිරිහාන ගල්වල පාරේ මහින්දගේ නිවසේදී වූ වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනා සමග වූ ඒ කතාබහ අවසානයේදී ය.

කතරගම පාදයාත්‍රාවට වැදගත් ආදර්ශයක් ලෙස එදින මා මහින්ද සමග පාර්ලිමේන්තුවට යන අතරවාරයේ “ඩන්ඩි වෙරළ” දක්වා වූ බිරතාන්‍ය ලුණු ඒකාධිකාරයට එරෙහි ගාන්ධිගේ පා ගමන ගැන විස්තර කීවෙමි. සභාර්මාති ආශ්‍රමයෙන් 1930 මාර්තු 15 වන දින පිටත්ව දින 24 ක් ගමන් ගත් ඒ පා ගමන ගාන්ධි තීන්දු කෙරුවේ හුදෙක් ලුණු බද්දට විරුද්ධවීමටම නොවේ. ලුණු බද්ද නිමිත්තක් කරගනු ලැබූයේ සිවිල් නීති කැඩීමේ ඔහුගේ සාමකාමී විරෝධයට ශක්තිමත් ජනතා සහභාගිත්වයක සහතිකයක්ද ගාන්ධිට අවශ්‍යව තිබුයෙණි.

කුසල් පෙරේරා

අමාත්‍යාංශ වශයෙන් කමිටු මට්ටමේ අයවැය විවාදයේ සිරිසේන කුරේ ඇමතිවරයාගේ නිවාස හා ඉදිකිරීම් කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය එදින විපක්ෂය වෙනුවෙන් ආරම්භ කිරීමට බාරවී තිබුණේ මහින්දට ය. ඒ අතරවාරයේ පාර්ලිමේන්තුවේදී පාදයාත්‍රාව සම්බන්ධ පළමු මාධ්‍ය නිවේදනය සකසා එහි පැමිණ සිටි මාධ්‍යවේදීන් වෙත මම පිටපත් බාර දුනිමි. ඇතැම්හූ එය කියවා “මේක කෙරෙයිද?” කියා ඇසුහ. තවත් කිහිපදෙන එය ලිපිගොනුවෙහි දමා ගන්නා අතරතුර කට කොණකින් සිනා සෙමින් “හරි මචං” යැයි කීහ.

දිවයින පුවත් පතේ පාර්ලිමේන්තු වාර්තාකරු වූ ඊට පෙරාතුව සමසමාජ පක්ෂයේ පුවත් පත වූ “ජනදින” පුවත් පතේ කර්තෘ මාණ්ඩලිකයෙකු වූ සරත් අබේගුණවර්ධන අනෙකුන්ට වඩා විවෘත විය. ඔහු මගෙන් ඇසුවේ “ආ බං……කතරගමට යන්නේ උඹයි මහින්දයි විතරද?” කියා ය. “යකෝ……ප්‍රේමදාසට විරුද්ධව පිකට් කරන්න ටවුන්හෝල් ලිප්ටන් එකට පස් දෙනෙක් ගෙන්න ගන්න බැරි රටේ……කතරගමට පයින් යන්නෙ කවුද බං?” යැයි ඔහු ඇසුවේය.

ඒ වනවිට ජ.වි.පෙ මුදා හැරිය අතිශය මෘග 1988-90 ත්‍රස්තවාදී කැරැල්ල ජනාධිපති ප්‍රේමදාස එළෙසින්ම මෘග ලෙස තලා මුළුමනින් ඝාතනයකර තිබිණ. එ.ජා.ප යෝධයින් වූ ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණි දිසානායක සංවිධානය කළ දෝසාභියෝගයද ඊට මාස කිහිපයකට පෙර ඔහු කණපිට පෙරළුවේය. ඔවුන් පක්ෂයෙන් නෙරපා අනතුරුව සමස්ථ පක්ෂයම තම අධිකාරයට යටත්කර ගෙන සිටියේය. එළෙස බලහත්කාර නායකයෙකු ලෙස ඉස්මතුව සිටි ජනාධිපති ප්‍රේමදාසව නැවත කිසිවකුට හොල්ලන්නට නොහැකි යැයි විපක්ෂ දේශපාලන ස්ථර අතරද කිඳා බැස තිබූ මතයකි.

එනිසා විපක්ෂය නැවත ගොඩගත හැක්කේ යෝධ ආණ්ඩු විරෝධී ක්‍රියාකාරකමක් සමගින් යැයි මම විශ්වාස කළෙමි. මා නිතර කියූ කතාවක් වූයේ “දුවන කෝච්චි වලට බෙල්ල තියන්න මිනිස්සු එන්නේ නැත” කියා ය. එනිසා “කෝච්චිය නතර කළ හැකි යැයි විශ්වාසයක් ඇතිවන ආකාරයේ ශක්තියක් අප ආරම්භයේදීම පෙන්නුම් කළ යුතු” යැයි මම කීවෙමි. කොළඹ – කතරගම පාදයාත්‍රාවට ඒ විශ්වාසයද එකතු වූවකි.

කිසිවකුට හොල්ලන්නට නොහැකි යැයි වූ ප්‍රේමදාස සාධකයට අමතරව ආණ්ඩු විරෝධයකට ඉඩ නොතැබූ අනෙක් ප්‍රධානම දේශපාලන හේතුව වූයේ පැහැදිලි, විශ්වාසවන්ත විපක්ෂයක් නොවීමය. සිංහල සමාජය නියෝජනය කළ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රී.ල.නි.පය තුන් අත කැබලී වී තිබිණ. බණ්ඩාරනායක මැතිනිය ඇයගේ අසනීප තත්ත්වය හමුවේ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටි අතර, අනුර බණ්ඩාරනායක ඉතා දක්ෂ ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වගකීම් සඳහා ආදේශ වූවත් ඔහු පක්ෂ නායකත්වයට පැමිණීමට එරෙහි වූ එස්.බී – මංගල ප්‍රධානවූ කණ්ඩායමක්ද වූහ. අද ශ්‍රී.ල.නි.පය ආරක්ෂාකර ගැනීමට දිවුරුම් දෙන, 1982 දී ශ්‍රී.ල.නි.පය දෙකඩකර විජය සමග ශ්‍රී.ල.නි.පයට විරුද්ධව ශ්‍රී ලංකා මහජන පක්ෂය හැදූ සහ 2015 දී ශ්‍රී.ල.නි.පය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවට එරෙහිව වික්‍රමසිංහගේ එ.ජා.පය සමග කුමන්ත්‍රණකාරී ලෙස මෛතීපාල සිරිසේන පොදු අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් කළ චන්ද්‍රිකා කුමාරණතුංග, ඒ වනවිට “අනුර විරෝධී” කණ්ඩායමේ වීරවරිය විය.  

එංගලන්තයේ සිට නැවත ලංකාවට පැමිණීම පිළිබඳව චන්ද්‍රිකා කවර දේශපාලන කතා කීවත් ඇය පැමිණෙන විට මහජන පක්ෂය ඇයට පය ගැසීමට හැකි තරමටවත් ඉතිරිව නොතිබිණ. ඔසී අබේගුණසේකර ඉන් කොටසක් රැගෙන ජනාධිපති ප්‍රේමදාසගේ වේදිකාවට ගොඩවී සිටියේය. තව කොටසක් බහුජන නිදහස් පෙරමුණ (බ.නි.පෙ) යැයි රාජිත සේනාරත්න සමග විය. තවත් පිරිසක් ඇය සමග නැවත ශ්‍රී.ල.නි.පට එකතු වීමට සාකච්ඡා කරමින් සිටියහ. මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස වයි.පී සිල්වා දේශපාලන වශයෙන් අකර්මන්‍යව සිටියෙකි. තමන්ගේ යැයි වැදගත් පදනමක් නොමැති වූ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ දෙකට විජය නොමැතිව අබලි වූ මහජන පක්ෂයක් සමග අනාගතයක් නොවුනි. එබැවින් ඔවුන්ද චන්ද්‍රිකාගේ නායකත්වයෙන් නැවත සභාගයක් ගැන කතා කෙරුවේ ඇය කෙසේ හෝ ශ්‍රී.ල.නි.ප නායිකාව වනු ඇතැයි වූ බලාපොරොත්තුව සමගින්ය.

ඒ වෙනුවෙන් එස්.බී – මංගල ප්‍රධාන කණ්ඩායම “අනුර විරෝධී” ප්‍රචාරක ව්‍යාපාරයක් ශ්‍රී.ල.නි.ප තුල ගෙන ගියේය. අනුරද ඒවාට පිළිතුරු දෙන්නට විය. ඒ සමග ශ්‍රී.ල.නි.ප දෙකට නොව, කාණ්ඩ තුනකට වෙන් විය. චන්ද්‍රිකා පළමුව ගම්පහ දිස්ත්‍රික් සංවිධායිකාව ලෙස බණ්ඩාරනායක මැතිනිය විසින් පත් කරනු ලැබ පසුව මැතිනියගේ අත්තනගල්ල ආසනයේ පක්ෂ වැඩ කටයුතුද ඇයට බාර කරනු ලැබිණ. ඒ සමග පක්ෂ නායකත්වය සඳහා අක්ක මලෝ ගැටුම ප්‍රසිද්ධියේ දිග හැරිණ.

අනුර බණ්ඩාරනායක ඉතා දක්ෂ ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වගකීම් සඳහා ආදේශ වූවත් ඔහු පක්ෂ නායකත්වයට පැමිණීමට එරෙහි වූ එස්.බී – මංගල ප්‍රධානවූ කණ්ඩායමක්ද වූහ. අද ශ්‍රී.ල.නි.පය ආරක්ෂාකර ගැනීමට දිවුරුම් දෙන, 1982 දී ශ්‍රී.ල.නි.පය දෙකඩකර විජය සමග ශ්‍රී.ල.නි.පයට විරුද්ධව ශ්‍රී ලංකා මහජන පක්ෂය හැදූ සහ 2015 දී ශ්‍රී.ල.නි.පය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවට එරෙහිව වික්‍රමසිංහගේ එ.ජා.පය සමග කුමන්ත්‍රණකාරී ලෙස මෛතීපාල සිරිසේන පොදු අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් කළ චන්ද්‍රිකා කුමාරණතුංග, ඒ වනවිට “අනුර විරෝධී” කණ්ඩායමේ වීරවරිය විය.  

බණ්ඩාරනායක මැතිනියට පවුලේ මේ ගැටුම පාලනය කර ගැනීමට නොහැකි විය. පාදයාත්‍රාව සඳහා පළමු නිවේදනය නිකුත් කරන විට, මැතිනිය විසින් ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව රැස් කිරීමට පස් මසක් පුරා ගනු ලැබූ සියලු උත්සාහ අසාර්ථකව තිබිණ. වරක් ඇයගේ රොස්මිඩ් පෙදෙස නිවසට කැඳවූ මධ්‍යම කාරක සභා රැස්වීමද දෙපාර්ශවය අතර ගැටුමකින් අවසන් විය. සිව් මසක් පමණ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්කර ගැනීමට නොහැකි විය. ඒ අතර හිටි අඩියේ අනුරට සමීප යැයි ශ්‍රී.ල.නි.ප මහ ලේකම් වූ ජේ.ආර්.පී සූරියප්පෙරුම තනතුරෙන් ඉවත්කර මැතිනිය විසින් ධර්මසිරි සේනානායක වැඩ බලන මහ ලේකම් ලෙස පත් කරනු ලැබුවාය. ඒ ගැටුම් සමග එහාටත් නැති මෙහාටත් නැති මැද කණ්ඩායමක් සහිතව තුනට බෙදුණු පක්ෂය ප්‍රාදේශීයවද අකර්මන්‍යව තිබිණ.

මේ බෙදීම් කැඩීම් නිසාවෙන් දේශපාලන පක්ෂයක් ලෙස පාදයාත්‍රාවට සහාය දැක්වීමට හෝ හවුල් වන්නට ශ්‍රී.ල.නි.පයට තීන්දු ගැනීම සඳහා අනුබද්ධ සංවිධානවල කිසිදු මණ්ඩලයක් හෝ රැස් කළ නොහැකි විය. ඊට අමතරව මැතිනියගේ අනුමැතිය නැතිව පාදයාත්‍රාවට සහාය දැක්වීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඉදිරිපත් වූයේද නැත. එහෙත් අනුර සමග වූ මන්ත්‍රී කණ්ඩායම සහ ප්‍රතිපත්තිමය වශයෙන් එ.ජා.ප විරෝධය තම දේශපාලනය කරගත් මන්ත්‍රීවරුන් හා ආසන සංවිධායකවරුන් පාදයාත්‍රාවට හවුල් වූහ.   

එවැනි අපැහැදිලි පසුබිමක ගාන්ධිට මෙන් ජනාධිපති ප්‍රේමදාසට එරෙහිව “ශක්තිමත් ජනතා සහභාගිත්වයක සහතිකයක්” අපටද අවශ්‍යව තිබිණ. එවැනි කැඳවීමක් සඳහා ගාන්ධිට තිබූ “බිරතාන්‍ය විරෝධය” මෙන් ආණ්ඩු විරෝධයක් සමාජයේ ක්‍රියාශීලීව ගොනුවී නොතිබිණ. එය ජනතා ව්‍යාපාරයක් ලෙස සංවිධානාත්මකව ඉස්මතු කරගත යුතුව තිබුණකි. එවැනි ජනතා ව්‍යාපාරයක් සඳහා ජනතා විශ්වාසයක් දිනූ ජාතික නායකත්වයක් දකුණේ දේශපාලනයෙහි නොවුනි. ඒ වෙනුවෙන් තිබුණේ පුරප්පාඩුවකි.

පාදයාත්‍රාවට ප්‍රේදාස ආණ්ඩුවෙන් තහනම් නියෝග නොදැමීමට හේතුවද මේ නායකත්ව අර්බූදය විය. ඔසී අබේගුණසේකර මහින්ද සමගින් කියා තිබුණු කතාවක් මගින් එය සනාථ වුනි. ජනාධිපති ප්‍රේමදාසගේ ඉතාම සමීප විශ්වාසවන්තයෙකු වූ වීරසිංහ මල්ලිමාරච්චි පෙබරවාරියේ දිනක “මහින්දගේ පාදයාත්‍රාව තහනම් නොකළොත් අපි අමාරුවේ” යැයි ජනාධිපති ප්‍රේමදාස සමග කියා ඇත.

පිස්සුද? පවුලේ රණ්ඩු බේර ගන්න බැරි පක්ෂ නායකයින් කොහේ පාදයාත්‍රා යන්නද?” යැයි ජනාධිපති ප්‍රේමදාසගේ පිළිතුර වූයේ යැයි ඔසී කියා තිබුණි. “නෙකෙරෙන දේවල් තහනම් කරලා මං මොනවටද නරක නමක් ගන්නේ?” යැයි ජනාධිපති ප්‍රේමදාසගේ අවසන් උත්තරය වූ බවද ඔසී කියා තිබුණි. මැතිවරණ දේශපාලනයට හුරු වූ සාම්ප්‍රදායික නායකයින්ට පාදයාත්‍රාවේ ජනතා දේශපාලනය කියවා ගැනීමට නොහැකි වූවකි. අප පාදයාත්‍රාව සඳහා තීන්දු ගත්තේ “ජනතාවගේ සාමුහික ශක්තිය” ගැන තැබූ විශ්වාසය මත ය.   

“පිස්සුද? පවුලේ රණ්ඩු බේර ගන්න බැරි පක්ෂ නායකයින් කොහේ පාදයාත්‍රා යන්නද?” යැයි ජනාධිපති ප්‍රේමදාසගේ පිළිතුර වූයේ යැයි ඔසී කියා තිබුණි. “නෙකෙරෙන දේවල් තහනම් කරලා මං මොනවටද නරක නමක් ගන්නේ?” යැයි ජනාධිපති ප්‍රේමදාසගේ අවසන් උත්තරය වූ බවද ඔසී කියා තිබුණි. මැතිවරණ දේශපාලනයට හුරු වූ සාම්ප්‍රදායික නායකයින්ට පාදයාත්‍රාවේ ජනතා දේශපාලනය කියවා ගැනීමට නොහැකි වූවකි. අප පාදයාත්‍රාව සඳහා තීන්දු ගත්තේ “ජනතාවගේ සාමුහික ශක්තිය” ගැන තැබූ විශ්වාසය මත ය.   

දකුණේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීමෙන් මහින්දට සටන්කාමියෙකු යැයි එ.ජා.ප විරෝධී කඳවුරේ යම් ජනප්‍රියත්වයක් ගොනු වෙමින් තිබිණ. එය කිසිසේත් ශ්‍රී.ල.නි.ප වෙනුවෙන් ආදේශ කළ හැකි ජනප්‍රියත්වයක් නොවුනි. එහෙත් පක්ෂයේ ව්‍යුහ අබලි වූවත් ඒ හරහා ප්‍රාදේශීය “යු.ඇන්.පී විරෝධය” ප්‍රේමදාස ආණ්ඩුවට එරෙහිව ගොනු කළ හැකි යැයි විශ්වාසයක් අපට තිබණ. අපි පළමු වරට බස්නාහිර පළාතේ ශ්‍රී.ල.නි.ප පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතන සභිකයින් ශ්‍රී.ල.නි.ප කාර්යාලයට 1991 දෙසැම්බර 16 වන දින කැඳවීමු. එය පක්ෂයේ බෙදිල්ල විවෘත කෙරුණු මහා ගාලගෝට්ටියක් වූවාට, ප්‍රේමදාස විරෝධී තීන්දුවක් ලෙස පාදයාත්‍රාවට යම් ආකර්ශනයක් සහ එකඟතාවක් තිබිණ. පාදයාත්‍රාව සංවිධානය කිරීමේදී එය ප්‍රධාන තේමාව කරගත යුතු යැයි අපි ඉන් තේරුම් ගතිමු. ඉන්පසු යන හැම තැනම මහින්ද එය කදිමට යොදා ගත්තේය.

ඒ සමග පාදයාත්‍රාව සඳහා විපක්ෂයේ දේශපාලනය ගොනු කෙරුණේ ග්‍රාමීය සමාජය සහ නාගරික මැද පංතිය ආමන්ත්‍රණය කළ හැකි සටන් පාඨ සතරක් සමගින් ය. ඒ අනුව (1) 1988-90 ජ.වි.පෙ ත්‍රස්තවාදය මර්දනය කිරීමේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් වගකීම බාර ගැනීම සහ වන්දි ගෙවීම (2) ජීවන වියදම පහත හෙළීම (3) රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය වහා නතර කිරීම සහ (4) යුද්ධය වෙනුවට සාමය වෙනුවෙන් සාකච්ඡාමය විසඳුමක් යන්න ඉදිරිපත් කෙරුණි.  

ඒ ඉල්ලීම් සමග ආණ්ඩු විරෝධී දේශපාලන ව්‍යාපාරයක් ලෙස කතරගම දක්වා පාදයාත්‍රාව යෝජනා කරමින් අපි සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ නායකයින් හමු වීමු. ඔවුන්ගෙන් කිසිදු වැදගත් ප්‍රතිචාරයක් නොලැබිණ. ඒ වනවිට “රාජාලියා” කණ්ඩායම ලෙස ගොනුව සිටි ලලිත් – ගාමිණි කණ්ඩායම සහාය දීමට පොරොන්දු වූවත් සහභාගිවීම ගැන පැහැදිලි තීන්දුවක නොසිටියහ. එයට ප්‍රධාන හේතුවක් වූයේ ලලිත් – ගාමිණි දෙපළ අතර නායකත්වයට තිබූ කඹ ඇදිල්ල ය. දකුණේ දිස්ත්‍රික්ක සියල්ල ආවරණය කෙරෙන දේශපාලන ගමනක් තමන්ට අවාසි වනු ඇතැයි ගාමිණි තුල සැකයත් තිබිණ.

එවැනි පසුබිමක අපි අනෙක් කුඩා පුද්ගල කණ්ඩායම් හමුවීමු. ඒ වනවිට නව සමසමාජ පක්ෂයේ වූ වාසුදේව හමුවූ විට ඔහු පාදයාත්‍රාවට සම්පූර්ණ සහාය දැක්වීමට පොරොන්දු වූවත් අප පිටත් වූ පසු ඔහුගේ ඉතාම සමීපතමයෙකු සමග කියා තිබුණේ “කුසල් හොඳ ළණුවක් දීලා මහින්දට….ප්‍රේමදාසට විරුද්ධව කොහේ පාදයාත්‍රා යන්නද” යැයි කියා ය. එහෙත් ජී.ඩී.අයි ධර්මසේකර, නිහාල් පෙරේරා, ආරිය බුලේගොඩ වැනි දේශපාලන චරිත අවංකවම හවුල් වූහ. දිනේශ්ගේ මහජන එක්සත් පෙරමුණද ලැයිස්තුවට ඇතුළු විය. ඒ අතුරින් බ.නි.පෙ නායක ලෙසින් රාජිත සේනාරත්න විශාල බරක් කර ගැසීය.

ජාතික ව්‍යාපාරයක් ලෙස පාදයාත්‍රාව තහවුරු කරන්නට උතුරේ දෙමළ පක්ෂ හවුල්කර ගැනීමට මා උත්සාහ ගත්තද ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණ. කලක් ප්ලෝට් සංවිධානයේ දේශපාලන සභිකයෙකු වූ, ඉන්දු-ලංකා ගිවිසුමෙන් පසු ප්ලෝට් සංවිධානය මැතිවරණ දෙපාර්තf්න්තුවේ ලියාපදිංචි කළ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රධාන ලේකම් වූ සහ පසුව කොළඹ ප්‍රධාන ඉංග්‍රිසි පුවත් පත්වලට “තරාකි” යැයි අන්වර්ත නාමයෙන් ලිපි ලියූ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් මා හඳුනාගෙන තිබූයෙන් ප්ලෝට් සංවිධානයට ඔහු හරහා ඇරයුම් කළද, ඔවුන්ද ප්‍රතිචාර දැක්වූයේ නැත. පාදයාත්‍රාවට ප්‍රසිද්ධියේ සහාය දැක්වූයේ ඒ වනවිට සුරේෂ් (ප්‍රේමචන්ද්‍රන්) කණ්ඩායම ලෙස ක්‍රියාත්මක වූ ඊ.පී.ආර්.එල්.එෆ් කණ්ඩායම පමණි. එල්.ටී.ටී.ඊට එරෙහිව ක්‍රියාත්මක වන හෙයින් පාදයාත්‍රාවට ප්‍රසිද්ධියේ සහභාගිවීම ඔවුන්ට අනතුරුදායක බැවින් එසේ සහභාගි නොවන නමුත් පාදයාත්‍රාවට පූර්ණ සහාය ලබාදෙන බව ඔවුහු ප්‍රකාශ කළහ.

පාදයාත්‍රාව සංවිධානය කිරීමේදී දකුණේ දිස්ත්‍රික්ක බාර ගනු ලැබූයේ අමරිසිරි දොඩම්ගොඩ, හේම කුමාර නානායක්කාර, මහින්ද විජේසේකර සහ චමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන්ය. කළුතර තිලක් කරුණාරත්න ගේ අඩවිය වූයේය. කොළඹ දිස්ත්‍රික්කයේ ඩික්සන් පෙරේරා, හලීම් ඉෂාක් සහ ඒ වනවිට ශ්‍රී.ල.නි.පට පැමිණ සිටි එ.ජා.පයේ පතාකයෙකු වූ ජිනදාස නියතපාල වැනි මන්ත්‍රීවරුන් වූහ. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සිටියත් රත්නපුර දිස්ත්‍රික්කයේ බර අදින්නට ඒ වනවිට නීති විද්‍යාලයෙන් සමත්ව පැමිණ සිටි පවිත්‍රා වන්නිආරච්චි ඉදිරිපත්ව සිටියාය. උතුරු-නැගෙනහිර හැර ඉතිරි දිස්ත්‍රික්ක සියල්ලටම වාගේ මහින්ද සමග ගමන් ගිය මා ඒවායේ සංවිධාන කටයුතු වෙනුවෙන් කාලය වැය කළෙමි. ප්‍රාදේශීයව පාදයාත්‍රාව සඳහා ජනතා සහායක් ගොනු කිරීමේදී ලංකාදීප පුවත් පතේ නිමල් සමරසිංහ මාධ්‍යවේදියා සතිපතා වාගේ ලබාදුන් ප්‍රචාරක වාසිය අතිශය වැදගත් විය. 

දෙසැම්බර ආරම්භයේ සිට පාදයාත්‍රාව මාර්තු 17 වන දින කොළඹින් ආරම්භ කරන තෙක් මාස 04 ට ආසන්න කාලයක් පාදයාත්‍රාව වෙනුවෙන් දෛනිකව උදය ආරම්භය, දහවල ආහාරය, සවස රැස්වීම් තැබීමට ස්ථාන වෙන් කිරීම ආදිය පමණක් නොව, දෛනික මාධ්‍ය ආවරණ කිරරීම් පවා සැළසුම් කිරීමට මම පූර්ණකාලීනව මැදිහත් වූයෙමි. පාදයාත්‍රාව ආරම්භවූ මොහොතේ සිට මාධ්‍ය ආවරණයේදී අපට “ලංකාදීප” සහ “දිවයින” මාධ්‍යවේදීහූ දෛනිකව පළමු පිටුවේ ඡායාරූප පළ කරමින් විශාල සහායක් ලබා දුන්හ. එවැනි ප්‍රචාර සමග දකුණේ පමණක් නොව අනෙක් ප්‍රදේශ වලද සමසමාජ, කොමියුනිස්ට් පාක්ෂිකයින් පක්ෂ තීන්දු නොතකා පාදයාත්‍රාවට හවුල් වූහ.

සමසමාජ පක්ෂයේ විරෝධය නොතකා කාන්තා සම්මේලනයේ තීන්දුවක් සමග විවියන් ගුණවර්ධන සහෝදරිය පාදයාත්‍රාවට සහභාගි වන බව දැනුම් දුන්නේ පාදයාත්‍රාව මාතරට පැමිණි දිනයේය. ඇයට ඇවිදින්නට ඇති අසීරුව නිසා අවසන් දිනයේ කතරගමට ඇතුළුවන ගම්උදාව තොරණ ආසන්නයේදී ඇය සමසමාජ කාන්තා සම්මේලනයේ පිරිසක් කැටුව පාදයාත්‍රාව පිළිගැනුමට එන බව මා සමග කීවාය. අවසන් දිනයේ ඇය මහින්ද ඇතුළු පිරිස කතරගමදී පිළිගන්නා විට, පාදයාත්‍රාවේ අවසාන කොටස කිලෝ මීටර 16 ක් පමණ දුරින් තිස්ස නගරයෙහි පෙළගැසෙමින් තිබුණි.

පාදයාත්‍රාව සම්බන්ධව කෙටියෙන් ලියූ මේ දිගු කතාවේ “දේශපාලනය” සම්පිණ්ඩනය කළහොත් ඉතාම වැදගත් කාරණය වන්නේ ජනතාව ගැන විශ්වාසය තබන්නේ නම්, ප්‍රධාන දේශපාලන ධාරාවේ සාම්ප්‍රදායික පක්ෂ ඉදිරිපත් නොවුනත් සමාජයේ පවතින විවිධ ජන සංවිධාන හා අඩාලවූ දේශපාලන ගොනුවීම් යළි එක්රැස් කරමින් ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගිය හැකි බවය. එහෙත් එයට අදාල කොන්දේසි කිහිපයක් ඇත. ඒ වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන ඉල්ලීම්, සටන් පාඨ සමාජයේ බහුතරයකට අදාලවන හා වැදගත් කාරණා ලෙස පිළිගැනුමක් ලබන ඉල්ලීම්, සටන් පාඨ වීම, අනිවාර්ය වන්නකි. ඊළඟට ඒවා වෙනුවෙන් ඉදිරිපත්වන නායකත්වය ගැන ආරම්භක විශ්වාසයක් සහ යම් පිළිගැනුමක් සමාජයේ තිබිය යුතුය. එවගේම එවැන්නක් සංවිධානය කිරීමේදී ජනතාව ගැන පූර්ණ විශ්වාසයක් ඇතිව මර්දනය හමුවේ වූවත් පසු නොබාන නායකත්වයක් එයට මුලපුරන බවට ජනතාව තුලද විශ්වාසයක් ඇති විය යුතුය. ඉතාම වැදගත් කාරණාව වන්නේ බිම් මට්ටමින් ජනතාව සමග සංවිධාන කටයුතු කළ හැකි නායකත්වයක් සිටීමය.

ඒ සියල්ල සම්පූර්ණ වූ පාදයාත්‍රාව ගැන අවසන් වශයෙන් කිව යුත්තේ මීට අවුරුදු 29 ට පෙර වූ ලංකා සමාජය, අද මෙන් ජාති-ආගම්වාදී බෙදීම් සමගින් වූ කුහක, ආත්මාර්ථකාමී සමාජයක් නොවුනු බවය. පාදයාත්‍රාව ඊළාම් උගුලක් යැයි කොළඹ තාප්ප වසා පෝස්ටර අලවා තිබියදීත් ආණ්ඩුවේ මාධ්‍ය ඊ.පී.ආර්.එල්.එෆ් ප්‍රකාශය ඒ වෙනුවෙන් විශාල ලෙස යොදා ගනිද්දීත් දහස් ගණන් ස්ව කැමැත්තෙන් පාදයාත්‍රාවට හවුල් වූයේ ජාතිවාදී ආගම්වාදී කිසිවක් ඔවුන්ට එදා අදාල නොවුනු හෙයිනි.

කුසල් පෙරේරා

Loading...

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *