වන සතුන් වී වගාවට කියන තරම හානියක් කරනවාද ? කෘෂිකර්ම අමාතත්‍යා ‘ඇත්ත කතාව හෙළිකළ’ කෘෂිකර්ම අමාත්‍යාංශයේ

කෘෂිකර්මාන්තය තුළ සිදුවන වගාහානි ගැන පසුගිය කාලය පුරාම කෘෂිකර්මයට සම්බන්ධ නිලධාරීන්, පර්යේෂකයින් සහ දේශපාලනඥයින් කතා කරනවා. සංඛ්‍යා ලේඛන, දත්ත සහ සැලසුම් ඉදිරිපත් කරනවා. ඒ වගේම වගාහානි වැළැක්වීම සදහා විවිධ සැලසුම් ඉදිරිපත් කරන අතර අලිවැට ආදිය ඉදිකිරීමට මිලියන සිය ගණනක් වැය කිරීමෙන් නොනැවතී අලිවැට ඉදිකිරීම සදහා රාජ්‍ය අමාත්‍යාංශය (විමලවීර දිසානායක රාජ්‍ය ඇමැතිවරයා) පවා පත් කරනවා.

ඒ පසුගිය දා (2021 මාර්තු 12 දා කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් නිල වෙබ්අඩවියේ ‘වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්වියේ වත්මන් තත්ත්වය‘ නම් ප්‍රවෘත්තිය සමග අමුණා තිබූ පහත සදහන් සංඛ්‍යා ලේඛණ සටහන http://www.agrimin.gov.lk/web/images/pictures/News/2021.03.10/Document.jpg දුටු විට සාමාන්‍ය පුරවැසියෙකු ලෙසත්, දේශපාලන හා ආර්ථික විචාරයෙකු ලෙසත් මා තුළ විස්මිත හැගීමක් ඇති වුණා. ඒ කෘෂිකර්ම අමාත්‍යාංශය පමණක් නොවෙයි තවත් බොහෝ ආයතන, පර්යේෂණ වාර්තා මගින් වගා හානි, විශේෂයෙන් මෙරට කෘෂිකර්මාන්තයට වන සතුන් මගින් ඇති වන හානි ගැන ඉදිරිපත් කර තිබූ දත්ත, සංඛ්‍යා ලේඛනවලට වඩා මෙම දත්ත සටහනේ ඉදිරිපත් කර තිබූ දත්ත අතිෂයින් විෂම, නැතහොත් පරස්පර අගයක් පෙන්වන නිසයි.

උපුටා ගැනීම – කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය http://www.agrimin.gov.lk/web/images/pictures/News/2021.03.10/Document.jpg
ඉහත වගු සටහන ඇසුරිණ් ලේඛඛයා විසින් සකස් කළ වගුවකි

ඉහත වගු සටහන ඉදිරිපත් කර තිබුණේ මෙරට ප්‍රමුඛ භෝගය (දේශපාලන බෝගය) ලෙස සැලකෙන වී වගාවට බලපාන ලද වගා හානි සම්බන්ධයෙනි. එම වගු සටහනට අනුව මුළු දිවයිනේම, දිස්ත්‍රික්ක 25 තුළ 2020/21 මහ කන්නයට වගා කරන ලද සමස්ත කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 16,92,937.47ක් වෙනවා.

මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ එහි සදහන් වන ‘වගා හානි‘ යන අංශය වෙතටයි. ඉහත වගු සටහන අනුව 2020/21 මහ කන්නයේ වගා කර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය වන අක්කර 16,92,937න් වගා හානි අක්කර 98,611,06ක් හෙවත් වගා කරන ලද සමස්ත කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් 5.82%ක් වාර්තා වෙනවා. මෙම අගය ඕනෑම කර්මාන්තයක හෝ නිෂ්පාදනය තුළ සිදුවිය හැකි හානියට සාපේක්ෂව ආසන්න අගයක් ලෙස සැලකිය හැකියි. උදාහරණයක් ලෙස මාළු, මස් ඇතුළු නිෂ්පාදනවල මෙන්ම වළං නිෂ්පාදනයේදී පවා ‘හානියට‘ පත්වන ප්‍රතිශතයක් තිබෙනවා.

ගං වතුර මගින් සිදුව ඇති හානිය

ඉහත වගු සටහන අනුව 2020/21 මහ කන්නයේ වී වගා කළ සමස්ත කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් ගංවතුර නිසා වගා හානියට පත් කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 72,231.49ක් වෙනවා. එය වගා කරන ලද සමස්ත ඉඩම් ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ගත් විට 4.2%ක් වැනි සැලකිය යුතු ලෙස අඩු ප්‍රතිශතයක් වන නමුත් සමස්ත වගා හානියෙන් 73%ක් වැනි ඉහළ ප්‍රතිශතයකි.

මෙම වගු සටහන අනුව කුරුණෑගල, අනුරාධපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක තුනේ හැර සෙසු දිස්ත්‍රික්ක 22කම ගං වතුර නිසා වී වගාවට හානි සිදුවෙලා තිබෙනවා. එහි වැඩිම වගා හානිය අක්කර 31,648ක් මඩකළපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වන විට ඊළගට වැඩිම වගා හානිය වාර්තා වන්නේ ඊට ආසන්න ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන්. එය අක්කර 11,753ක්. අවම ගංවතුර හානිය අක්කර 20.69ක් රත්නපුරයෙන් වාර්තා වෙනවා.

නියගය නිසා ඇති වූ වගා හානිය

නියගය ගැන සලකන විට පසුගිය 2020/21 මහ කන්නයේදී වගා කරන ලද කුඹුරු ඉඩම් අක්කර 16,92,937න් අක්කර 7541කට නියගයෙන් බලපෑම් එල්ල වී ඇත. එය සමස්ත වී වගා බිම්වලින් 0.44ක් පමණ වන අතර සමස්ත වගා හානියෙන් නියගය නිසා හානියට පත් කුඹුරු ඉඩම් ප්‍රමාණය 7.64කි. දිස්ත්‍රික්ක 11කට නියගයෙන් බලපෑම් එල්ල වී ඇති අතර වැඩිම හානිය සිදුව ඇත්තේ අක්කර 4111ක් වශයෙන් මොනරාගල දිස්ත්‍රික්කයටයි.

වන සතුන් වී වගාවට කළ හානිය

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, විශේෂයෙන් වී වගාව ගැන සලකන විට ඒ හා බැදී පවතින වන සත්ත්ව හානි ගැන සුවිශේෂ අවධානයක් යොමුවේ. රාජ්‍ය නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, පර්යේෂකයින් පමණක් නොව ගොවීන්, ජනමාධ්‍යකරුවන් සහ දේශපාලනඥයින් ද කෘෂිකර්මාන්තයට වන සතුන් මගින් සිදුවන වගා හානි ගැන නිමක් නැති මැසිවිලි නගන ආකාරයක් දැකගත හැකියි.

එහෙත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් 2020/21 මහ කන්නයේ 2021 – 02 – 19 දිනට සිදුව ඇති වගා හානි ගැන දත්ත විශ්ලේෂණයේ ‘වන සතුන්‘ යන ශීර්ෂය යටතේ ඇති දත්ත විශ්ලේෂණය කරන විට අපට ඇතිවන හැගීම කුමක් ද ?

2020/21 මහ කන්නය සදහා රටපුරා දිස්ත්‍රික්ක 25ක වගා කළ කුඹුරු අක්කර 16,92,947ක ප්‍රමාණයෙන් වන සතුන් නිසා හානියට පත් කුඹුරු අක්කර ප්‍රමාණය 4774.31කි ! එය වගා කරන ලද සමස්ත කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් 0.28%ක් වන අතර වන සතුන් නිසා 2020/21 මහ කන්නයේදී සිදුව ඇති වගා හානිය සමස්ත වගා හානියෙන් 4.8%කි.

මෙහිදී ඒ ඒ දිස්ත්‍රික්කවල වගා කර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය හා සැසදීමේදී වන සතුන් නිසා වැඩිම වගා හානියක් වාර්තා වී ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වන අතර එය දිස්ත්‍රික්කයේ වගා කරන ලද කුඹුරු ඉඩම් අක්කර 174,613න් අක්කර 1709ක් හෙවත් 0.97%කි.

ඉහත වගු සටහනේ ඇති සුවිශේෂ කරුණක් වන්නේ ලංකාවේ වැඩිම වී වගා බිම් ප්‍රමාණයකට හිමිකම් කියන අනුරාධපුරය හා කුරුණෑගල දිස්ත්‍රික්කවලින් ඉහත වගු සටහන අනුව වනසත්ත්ව හානි වාර්තා නොවීමය !

කීඩෑ හානිය

ඉහත වගු සටහන අනුව 2020/21 මහ කන්නයේ වගා කරන ලද සමස්ත කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් කීඩෑ හානියට ලක්ව ඇති කුඹුරු අක්කර ගණන 7606ක් වන අතර එය සමස්ත වගා බිම් ප්‍රමාණයෙන් 0.44%කි. සමසත වගා හානිවලින් 7.71%කි. දිස්ත්‍රික්ක 18කින් කීඩෑහානි වාර්තා වී ඇති අතර වැඩිම කීඩෑ හානියක් වාර්තා වී ඇත්තේ අක්කර 2146ක් ලෙස මඩකළපුව දිස්ත්‍රික්කයෙනි.

වෙනත් වගා හානි ලෙස අක්කර 6456ක් වාර්තා වී ඇත.

සිදුව ඇත්තේ කුමක්ද ?

ඉහත වගු සටහන ගැන සංඛ්‍යාන විද්‍යාත්මක හෝ කෘෂි විද්‍යාත්මක විශ්ලේෂණයක් කිරීමට තරම් දැනුමක් මෙම ලේඛකයා සතු නොවේ. එහෙත් යම් වරදක් සිදුව ඇති බව නම් පැහැදිලිය. පසුගිය කාලය පුරා විවිධ පර්යේෂකයින් විසින් සිදුකර ඇති අධ්‍යයනය හා මෙම දත්ත විශ්ලේෂණය කර ‘වී වගාවට වන සතුන්ගෙන් සිදුවන සැබෑ හානිය‘ ගැන නිවැරදි තත්ත්ව විග්‍රහයක් ඉදිරිපත් කිරීම පර්යේෂකයින්ගේ වගකීමකි. මන්ද වර්තමානයේ දැරිය නොහැකි මිලකට ඉහළ ගොස් ඇති සහල් මිල සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල ගණන් හා ඒවායේ සැබෑ නිෂ්පාදනය හා වෙළෙදපොළට ලැබෙන ප්‍රතිශතය පිළිබදව ද මේ ආකාරයේ අවුලක් හා පරස්පරතා පවතින බව අපට පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි නිසාය.

වී ගොවියෙකු කී කතාවක්

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ම ඉදිරිපත් කර ඇති ඉහළ වගා හානි පිළිබද දත්ත සටහන දුටු විට මා අක්කර 4.5ක් පමණ වී වගා කරන හම්බන්තොට ගොවියෙකුගෙන් වන සතුන් විසින් වී වගාවට කරන හානි ගැන ඔහුගේ මතය ප්‍රශ්න කළා. ඉහත වගු සටහන අනුව 2020/21 මහ කන්නයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී වගා කළ අක්කර ප්‍රමාණය 87,335ක් වන අතර වන සතුන් විසින් කළ වගා හානිය අක්කර 10.00කි.

‘ඔය කියන කතා ඇත්ත වෙන්න ඇති අලි කටේ වගා කරන මිනිස්සුන්ට. ඒ කියන්නේ කැලෑව අස්සේ හරි අලිමංකඩවල හරි වගා කළොත් ඒක සත්තු කනඑක නතර කරන්න බැහැ. ඒත් එක යායට වගාකරන කුඹුරුවලට ඔය කියන විදිහට සත්තුන්ගෙන් හානියක් වෙන්නේ නැහැ. වී කුරුල්ලෙක්, ගිරවෙක් වුණත් මුළු දවසටම ග්‍රෑම් පහක වී කයි. ඒත් එක යායට අක්කර දහස් ගානක් තියෙන කොට ඒක අපිට දැනෙන පාඩුවක් නෙමෙයි. අලියා වුණත් ඉන්නේ එක පැත්තක විතරයිනේ. ඒත් යායට කුඹුරුකරන කොට ඔය හානි අඩුයි‘‘

මෙහිදී ඔහු දැඩිව අවධාරණය කළේ වන සතුන්ගෙන් වන හානියට වඩා වැඩි හානියක් බාල බීජ, බාල පොහොර සහ නිසි කලට ජලය නොලැබීම නිසා සිදුවන බවයි.

මෙහිදී මාගේ අවධානය යොමු වන්නේ පසුගිය දා දිනමිණ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා කළ චෝදනාවකි.

‘‘පසුගිය කාලේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දැකපු ලොකුම දුර්වලකම වශයෙන් මේ මාස 5ක කාලය තුළ මම හඳුනාගත්තේ දත්තවල තිබෙන දුර්වලකමයි. කවුරුහරි ඇහුවොත් ගොවියෝ කවුද කියලා දන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් මගේ දිස්ත්‍රික්කය වන මොනරාගල දිස්ත්‍රික්කයේ වී ගොවියෝ කී දෙනෙක් ඉන්නවද? එළවළු ගොවියෝ කී දෙනෙක් ඉන්නවද. ඒ ගොවියෝ වගා කරන එළවළු මොනවද කියලා ඇහුවොත් කිසිකෙනෙකුට පිළිතුරක් දී ගන්න බැහැ‘‘https://lankaepress.com/2021/03/31/

කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයා කරන චෝදනාව සත්‍ය බව අපට ද වැටහෙන්නේ වත්මන් බොහෝ ප්‍රතිපත්ති හා තීන්දු ගැනීම් නිවැරදි දත්ත මත පදනම් නොවන බව පසුව වැහෙන නිසාය.

‘නිවැරදි තොරතුරු නොලබන ජාතිය කාගේ හෝ වහළුන් බවට පත්වන බව‘ ප්‍රකට දාර්ශනිකයෙකු වූ බ්‍රර්ටන් රසල් කීවේය. නිවැරදි දත්තවලින් තොරව ගන්නා තීන්දු අනුව ද එවැනි අගතියක් එකී රටට සහ අදාළ ප්‍රජාවට සිදුවන බවට ද කිසිම සැකයක් නැත. එනිසා නිවැරදි දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ගන්නා වූ ප්‍රයත්නයට අපි අපේ කෘතඥතාව පළ කරමු.

සටහන – නිර්මල වනසිංහ

Loading...

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *