රසායනික පොහොර මගින් මිනිස් සිරුරට සිදුවන බලපෑම ගැන සොයන්නත් කාර්යසාධක බලකායක්

Spread the love

රසායනික පොහොර භාවිතය මගින් මිනිස් සිරුරට සිදු වන බලපෑම් විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම සඳහා වන විශේෂ කාර්ය සාධන බලකායක් පිහිටුවීමට අද (15) තීරණය කෙරිණි.

මේ සඳහා වන වැඩපිළිවෙල ඉදිරි සතිය තුළ ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. සෞඛ්‍ය අමාත්‍යවරයා හා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු එම අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමඟ  සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගැනිණී. එම කාර්ය සාධන බලකාය සඳහා සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකින් යුත් ස්වාධීන කණ්ඩායමක් පත්විය යුතු බවත් ඒ සඳහා පුළුල් අධ්‍යයනයක් සිදුවිය යුතු බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම ගෙවුණු වසර කිහිපය තුළ මේ පිළිබඳව කෙරුණු යම් යම් අධ්‍යයනයන් සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බවත් ඒ මහතා කීය.

මේ අතර රසායනික පොහොර භාවිතය වැළැක්වීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙලට සෞඛ්‍ය හා පරිසර අමාත්‍යාංශ වල සහයෝගය අත්‍යවශ්‍ය බවත් මෙය ඉහළම ජාතික වැඩපිළිවෙලක් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ අතර මේ වන විට මෙරට දිස්ත්‍රික්ක 16 ක් පුරා වකුගඩු රෝගය ව්‍යාප්තව ඇතැයිද ගෙවුණු වසර කිහිපයෙහි එහි සිඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවද මෙහිදී අනාවරණය විය. 1994 වසරේ සිට වසරින් වසර මෙරට වකුගඩු රෝගීන්ගේ විශාල ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන බවත්, ඉන් වැඩි ප්‍රමාණයක් අනුරාධපුර ඇතුළු උතුරුමැද ප්‍රදේශ වලින් වාර්තා වී ඇති බවත් අනාවරණය විය. වාර්තාවන වකුගඩු රෝගීන්ගෙන් 95%ක් පමණ  කෘෂිකර්මාන්තයට සම්බන්ධ පවුල් වල පිරිස් යැයිද මෙහිදී හෙළි විය. වකුගඩු රෝගය හේතුවෙන් 70% ක් පමණ වයස්ගත පුරවැසියන්ගේ මරණ මෙයට පෙර වාර්තා වුවුද මේ වන විට අවුරුදු 35 -40 අතර වයස්හි පුද්ගලයන්  මියයාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද මේ සාකච්ඡාවේදී අනාවරණය විය.

මේ අතර රසායනික ද්‍රව්‍ය අවභාවිතා කරමින් සිදු කරගනු ලබන ජීවිත හානි අවම කර ගැනීම සඳහා වන අවශ්‍ය මැදිහත්වීම කරන ලෙස  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසුගියදා  ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටියේය. පසුගියදා ජිනීවා නුවර පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැසියකට සහභාගී වෙමින් ඒ මහතා මෙම ඉල්ලීම කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාව සඳහා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය , හරිත කෘෂිකර්මාන්තයේ මෙහෙයුම් කමිටුවේ සභාපති මහාචාර්ය ප්‍රියන්ත යාපා යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක්ද මේ සඳහා එක්ව සිටියහ.

Related Posts