‘යුගදනවි ගිවිසුම අත්සන් කළා දැන් ඉතිං හංගන්න දෙයක් නෑ‘ – විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ

Spread the love

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් පවර් සමාගමේ 40%ක කොටස් හිමිකරගැනීම සඳහා අදාළ නීතිමය ගිවිසුම අත්සන් කළ බව, අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි (New Fortress Energy) සමාගම නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ.

ඒ සමගම නව LNG පර්යන්තයක් ඉදිකිරීමේ අයිතියද එම සමාගමට හිමිවන බව අදාළ නිවේදනයේ දැක්වෙයි. එම පර්යන්තය 2023 වනවිට ඉදිකර අවසන්වීමටද නියමිතය.

එසේම කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය සඳහා ආයෝජනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ විදුලි බලාගාර සඳහා ගෑස් සැපයීමටද එම ගිවිසුම අනුව තමන්ට හැකියාව ලැබෙන බව නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම පවසයි.

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ විදුලි බල නිපැයුම් හැකියාව මෙගාවොට් 310කි.

මෙම ගිවිසුම අත්සන් කළ බවට පළමු වරට අනාවරණය කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විසිනි. ඔහු හෙළිදරව් කර සිටියේ මෙම ගිවිසුම ඇමරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමගමේ නියෝජිතයා සමග අත්සන් කරනු ලැබූවේ 17 වනදා රාත්‍රී 15.6ට බවය. ඇමරිකාවේ එම නියෝජිතයා එදිනම අළුයම දෙකට පමණ නැවති ලංකාවෙන් පිටව ගිය බවද අනුර දිසානායක අනාවරණය කළේය.

මූලාශ්‍ර – New Fortress Energy Finalizes Contract with Government of Sri Lanka for LNG Terminal, Investment into 310 MW Yugadanavi Power Plant, and Gas Supply to Country’s Power Plants

මේ අතර අද දෙරණ සමග පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40% අමෙරිකානු සමාගමකට පවරමින් ගිවිසුමක් අත්සන් කළ බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසුවේය.

“අමෙරිකන් සමාගමක් ඉදිරිපත් වෙලා ඉල්ලුවා. ඒගොල්ලන්ට 40%ක් දුන්නා. ඒකේ සම්පූර්ණ ලාභය එන්නේ ආණ්ඩුවට. අවුරුදු 15කට පස්සේ රජයට මේක අයිතිවෙනවා. අත්සන් කරලා තියෙන්නේ. ඒක හංගන්න දෙයක් නෑ,” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

Lanka truth සහ අද දෙරණ ඇසුරිණි

Related Posts