මොරගහකන්ද – කළුගඟ සංවර්ධනයට සේසතම සින්න කළ ලග්ගල මිනිස්සු

Spread the love

වන්දි ලබා දීමේ ක්‍රමවේදය තවමත් ක්‍රියාත්මක නැහැ. මහවැලි ජලාශය ඉදිකිරීම් අවසන් වීම නිසා ඉදිරියේදී නව වැඩපිළිවෙළක් යටතේ මෙම ජනතාවට සහන සැලසීමට අවශ්‍ය පියවර ගන්නවා – මහවැලි බලධාරීන්

මොරගහකන්ද – කළුගඟ ජලාශයේ ඉදිකිරීම් සඳහා අවට ගම්මාන අත්පත් කර ගැනීමෙන් පසුව හුදෙකලාභාවයට පත්වූ ලග්ගල රාවණා ගම ප්‍රදේශයේ පදිංචිව සිටී ජනතාව නැවත පදිංචි කරවූ ස්ථානවල පොදු පහසුකම් නොමැති වීම නිසා දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි පසුගිය දා අප එහි කළ සංචාරයේ දී හෙළිවිය.

ලග්ගල රාවණාගම ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පිරිස් මහවැලි අධිකාරිය මගින්  ලග්ගල නව නගරයේ පදිංචි  කරවීම සිදු කොට වසරක පමණ කාලයක් ගත වී ඇතත් තවමත් එම ජනතාවට විදුලි බලය, ජලය, වන්දි මුදල් හෝ නිවසක් තනා ගැනීමටට නිසි වැඩපිළිවෙළක් සකස් නොකිරීම නිසා  වීම ඔවුහු  දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.

මෙම ජනතාව මොරගහකන්ද –  කළු ගඟ ජලාශ ව්‍යාපෘති  සඳහා තම  ඉඩකඩම් දේපළ සියල්ල කැප කළ පිරිසකි.

හිටපු ජනාධාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එවකට මොරගහකන්ද – කළුගඟ ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කිරීමත් සමඟ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කළුගඟ ජලාශයේ ඉදිකිරීම් අවසන් කරන කාලය දක්වාම තම ගම්මාන වලට වී හුදෙකලාව  ජීවත් වූ මෙම ජනතාව වන අලින් සමග දිනපතා දැඩි ජීවන  අරගලයක් කළේය.

අවසානයේදී මොරගහකන්ද කළු ගඟ – ජලාශ ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව හුදෙකලා ගම්මාන බවට පත්ව මෙම ජනතාවට ගම්මාන අත්හැර යන තත්ත්වයට පත්විය.

පසුව මහවැලි අධිකාරිය දැනුවත්  කිරීමෙන් අනතුරුව  තම ඉඩකඩම් ගේදොර සියල්ල අත්හැර දමා මහවැලිය විසින් ලබාදුන් ඉඩම් වලට පැමිණි අතර එදා සිට වසරක පමණ කාලයක්  මූලික පහසුකම් වලින් තොරව දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වීමට ඔවුනට සිදුවිය.

අප මෙම ගම් ගම්මානයට යන අවස්ථාවේදී ද විදුලිය බලය ගම්ට ලබාදීම සඳහා විදුලිබල මණ්ඩලයේ සේවකයන් පැමිණියත් එම ස්ථානය හසලක සහ නාඋල විදුලිබල මණ්ඩල වලට අයත් ස්ථානයක් බව පවසා ඔවුන් පිටව යන්නට වීම විශේෂත්වයකි.

එමෙන්ම මහමහවැලි අධිකාරියේ කණ්ඩායමක්ද එම ගම්මානයේ සිටියදී අපට හමුවිය. අප මෙම ජනතාව විඳින දුක පිළිබඳව ඔවුන්ගෙන් විමසද්දී ‘අපිට මේක අදාළ නැහැයි‘ යැයි කියමින් ඔවුහු පිටව ගියහ.

මෙම  ගම්මානයේ පදිංචිව සිටින ජනතාව කියා සිටියේ දිය නෑම සඳහා මහවැලියෙන් ජල බවුසර් රැගෙනවිත් දෙන බව ය. එහෙත් පානීය ජල සොයා කිලෝමීටර් ගණනාවක් තමන්ට ගමන් කිරීමද සිදුව තිබෙන බව ද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ල නැවතී තිබෙන බවද රුපියල් පනස් දහසක මුදලක් වාඩි තනා ගැනීම සඳහා මහවැලි මගින් ලබාදී තිබුණ බවද ඔවුහු පවසති.

එහෙත් ඉතා දීර්ඝ කාලයක් පරම්පරා ගණනාවක් උල්පත් ජලය පානය කොට දිය නා ඉතා උසස් ජීවිත ගත කළ තමන්ට හුදෙකලා මිනිසුන් බවට පත්වීමට සිදු වී ඇතැයි ඔවුහු පවසති.

සමස්ත රටේ සංවර්ධනය වෙනුවෙන් මහවැලි අධිකාරියේ අවසාන වාරි ඉදි ඉදිකිරීම් වන විශාල ජලාශයකට තම ජීවිත කැප කළ එම ජනතාවට සහන සැලසීම පිළිබඳව මහවැලි බලධාරීන්ගේ අවධානය යොමුකර වන්නැයි ඔවුහු අප ගෙන් ඉල්ලා සිටියහ.

මොරගහකන්ද – කළු ගඟ ජලාශ භාර ඉඩම් අංශයේ ප්‍රධානී මහින්ද ජයසිංහ මහතා ගෙන් අප මේ පිළිබඳව විමසීමේ දී ඔහු කියා සිටියේ ලග්ගල මහියංගනය ප්‍රධාන මාර්ගයේ රාවණා ගම ප්‍රදේශය සහ එලවන කන්ඳ කොටසේ පවුල් රැසක් ඉවත් කිරීම සිදු කළ බවය. එම ජනතාවට වන අලි ගැටලු පැවතීම නිසා තම ගම්මාන වලින් ඉවත් වීමට අවැසි බව සඳහන් කිරීමත් සමග මහවැලියෙන් ඉඩම් ලබා දුන් බවද ඔහු පැවසුවේය. කෙසේ වෙතත් වන්දි ලබා දීමේ ක්‍රමවේදය තවමත් ක්‍රියාත්මකව නොමැති බවත් මහවැලි ජලාශය ඉදිකිරීම් අවසන් වීම නිසා ඉදිරියේදී වන වැඩපිළිවෙළක් යටතේ මෙම ජනතාවට සහන සැලසීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

Related Posts