‘මේ මහා විනාශය මුල සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය‘ – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Spread the love

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන් තීරණ නොගැනීමත්, තීරණ ප්‍රමාද කිරීමත්, ගජ මිතුරු සමාගම් වලට අවැසි පරිදි තීරණ ගැනීමත්, හේතුවෙන් රටට අත්වී ඇති විනාශය පිළිබඳව විමර්ශනය කර දඬුවම් ලබා දිය යුතු යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි.

අද (11) පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කළ එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ කොව්ඩ් පිළිබඳ පරීක්ෂණ අඩාල කරමින් ගිය ගමන හේතුවෙන් රට විශාල ව්‍යසනයක පාමුලට පැමිණ ඇති බවයි.

මෙම මාධ්‍ය හමුවේදී කුමුදේශ් මහතා මෙසේද පැවසුවේය.

‘‘කොව්ඩ් පිළිබඳ පරීක්ෂණ අඩාල කරමින් ගිය ගමන හේතුවෙන් රට විශාල ව්‍යසනයක පාමුලට ඇවිල්ලා. පරීක්ෂණ කරල හොයාගන්න රෝගීන් මෙන් පස් ගුණයකටත් වඩා ප්‍රමාණයක් රට තුළ ඉන්නවා. අපි පරීක්ෂණ කරන්නේ රෝගය තමන් විසින්ම සොයා ඕන කියල හිතෙන කිහිප දෙනෙකුගේ පමණයි. හඹා යාම්, ආශ්‍රිතයන් සේවීම්, අහඹු පරීක්ෂණ කිසිවක් නොමැතිව හෙට දවසේ රටට අත්වන ඉරණම පිළිබදව කිසිවක් කිව නොහැකියි.

රෝගය පුරෝකථනය කරල කළ යුතු දේ, අනාගතයේ සිදුවිය හැකි දේ, පිළිබඳ වාර්තා සැපයීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් ඒ වගකීම ඉටු කරවා ගනිමින් විද්‍යානුකූලව රටේ ප්‍රතිපත්ති තීරණ ගැනීම ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ වගකීමක්. ️ජනාධිපති වරයාට සහ රජයට ඉදිරි මාසය තුළ වසංගතයේ හැඩය පිළිබඳව නිල වාර්තා දිනපතා යැවීම අනිවාර්ය කොට ඊට දැනට පඩි ලබමින් නිකං සිටින විශේෂඥයෙකුට වගකීම පැවරිය යුතුයි.

️අද වන විට රට පරීක්ෂණ නොකර රටම අඳුරේ අතපත ගාන තත්ත්වයට පත්වෙලා.️ රැපිඩ් පීසීආර්/ ස්ථානීය පීසීආර් අවශ්‍යයි කියන බව අපි කියල අවුරුද්දක් වෙනවා. විවිධ පරිත්‍යාගශීලීන්ට පින් සිද්ද වෙන්න ලංකාවේ තැන් 16ක ඒවා ක්‍රියාත්මක වෙනවා. පවිත්‍රා වන්නිආරච්චි ඇමතිතුමියගේ ඡන්ද බලප්‍රදේශය තුළ ඇති ඇඹිලිපිටිය රෝහලටත් රැපිඩ් පීසීආර් පරික්ෂණ යන්ත්‍රයක් දුන්නේ පරිත්‍යාගශීලියෙක්. නමුත් එමිරේට්ස් ගුවන් සමාගම රැපිඩ් පරීක්ෂණ ඉල්ලන කොට පවිත්‍රා ඇමතිතුමිය ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර වල කරනව කියල දන්නේ නැහැලු. ඒයාට හිතවත් පෞද්ගලික රෝහලකින් කරගන්න කියල තමයි උපදෙස් දීල තියෙන්නේ.

️රැපිඩ් පීසීආර් යන්ත්‍ර 14ක් ගෙන්වන්න සෞඛ්‍ය අමාත්‍යාංශය හිදිසි ටෙන්ඩරයක් කැඳෙව්වේ ජුනි මාසේ මුල් සතියේ. මාස දෙකක් ගිහිල්ලත් සෞඛ්‍ය ලේකම්ට ඒ ගැන තීරණයක් ගන්න බැරිවෙලා. රටේ ඕනෑ තරම් රැපිඩ් පීසීආර් යන්ත්‍ර තියෙද්දි ගජ මිතුරු කල්ලියේ අය ටෙන්ඩරය බලල, රට රටවල් වල ගිහිල්ල, යන්ත්‍ර හොයා ගෙන, ඒවා ලියාපදිංචි කරල, ලයිසන් අරගෙන විකුණගන්නකං සෞඛ්‍ය ලේකම්ගේ තීරණය එහාට මෙහාට ඇදෙනවා.

️ඒ හින්දම මැරිච්ච ගාන, පමා වුණු මෘතදේහ පරීක්ෂණ ගාන, ශල්‍යකර්ම නැතිව මිය ගිය ගාන, පරීක්ෂණ කරගන්න බැරිව අපහසුතාවයට පත්වෙන ගර්භනී මව්වරු, හදිසි අනතුරු ප්‍රමාණය, හෘද සැත්කම් ප්‍රමාදවීම නිසා මිය ගිය ගණන තීරණ නොගැනීම හේතුවෙන් ඉහල යන බව අපි අවධාරණය කරනවා. ඒවාගේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගත යුතු වෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන් තීරණ නොගැනීමත්, තීරණ ප්‍රමාද කිරීමත්, ගජ මිතුරු සමාගම් වලට අවැසි පරිදි තීරණ ගැනීමත්, හේතුවෙන් රටට අත්වී ඇති විනාශය පිළිබඳව විමර්ශනය කර දඬුවම් ලබා දිය යුතුයි.

Related Posts