මේ මස 31 වන දා ලොව ජනගහනය කෝටි හත්සියයක් වෙයි

Spread the love

ලොව ජනගහනය කෝටි හත්සියයක් බවට පත් කෙරෙන දරු උපත මෙම 31 දා සිදු වන බවට ජාත්‍යන්තර ප්‍රකාශයක් පළ කෙරේ. මෙම ළදරු උපත ලෝක ඉතිහාසයේ වැදගත් සිද්ධියක් වනු ඇතැයි කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතා පවසයි.

දැනට ලෝකයේ ජනගහනය කෝටි 699ක් වන අතර මේ උපතින් පසු ජනගහනය කෝටි 700 ක් සපුරන බවද ඒ මහතා කියයි. බුද්ධිමය මිනිසා (හෝමෝ සේපියන්) මීට අවුරුදු 50000 කට පෙර බිහි වූ බවත් එදා සිට මේ වන තුරු කෝටි දහදහස් අටසියයක් ලෝකයේ ජීවත් වී සිටින බවත් හෙතෙම පවසයි.

මේ ජනතාවගෙන් සියයට 6.5ක් අද ජීවතුන් අතර සිටින බවද ඒ මහතා සඳහන් කරයි. ලෝකයේ ජනගහනය කෝටි 100 සම්පූර්ණ වූයේ 1804 දී බවත් ඉන් වසර 207ක් ගෙවෙන මෙම 31 දාට එම කෝටි සියය කෝටි හත්සියයක් බවට පත්වීම විශේෂත්වයක් බවත් ආරියදාස මහතා කියයි. ලෝක ජනගහනයෙන් සියයට 50.4ක් පිරිමි වන අතර ජනගහනයෙන් සියයට 19 ක් සම්පූර්ණ වන්නේ මහජන චීනයෙනි. ලෝක ජනගහනයෙන් සියයට 50.5 ක පිරිසක් නාගරිකව ජීවත් වන බවද හෙතෙම ප්‍රකාශ කරයි.

ලෝක ජනගහනය අනුව මේ වන විට චීනය ඉදිරියෙන් සිටින අතර එහි කෝටි 130ක ජනතාවක් ජීවත් වෙති. දෙවැනි තැන ගනු ලබන ඉන්දියාවේ කෝටි 120කුත් තුන්වැනි තැනට පත්ව ඇති ඇමරිකා එක්සත් ජනපදයේ කෝටි 31 කුත් සිටිති. “ලෝක ජනගහනය වැඩිම රටවල් අතරින් 4, 5,6,7 ,8,9, 10 වැනි ස්ථාන ලබා ගන්නේ පිළිවෙළින් ඉන්දුනීසියාව, බ්‍රසීලය, පාකිස්ථානය, නයිජීරියාව, බංගලාදේශය, රුසියාව හා ජපානය යන රටවල්ය. මේ වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය නිලවශයෙන් කෝටි 2 ක් පමණ වන බවත් ආරියදාස මහතා පවසයි.

RSL

Related Posts