‘මෙරට විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් වීමට කිසිසේත් හේතුවක් නෑ‘

Spread the love

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ආර්ථිකයට විදේශ විනිමය ලබාදෙන
ආදායම් උත්පාදකයක් බවට පරිවර්තනය කළයුතුයි

අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වර්තමාන ලෝකයට අනුගත වී නොමැති අතර විශේෂයෙන් තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (09) පස්වරුවේ පැවති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2021 උපාධි ප්‍රදානෝත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

විශ්වවිද්‍යාල සිසුන් කුමන උපාධි පාඨමාලාවක් හැදෑරුව ද ඔවුන් සියලුදෙනාම අවම වශයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ යම් ප්‍රවීණතාවයක් ලබා තිබිය යුතු අතර වර්තමාන ලෝකය ජය ගැනීමට අවශ්‍ය අනෙකුත් නිපුණතාවලින් ද සමන්විත විය යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

නව ප්‍රතිසංස්කරණවලින් කිහිපයක් දැනටමත් අපගේ විශ්වවිද්‍යාල විසින් ක්‍රියාවට නංවා තිබේ. දිවයින පුරා විශ්වවිද්‍යාලවලට ඇතුළත්කර ගන්නා සිසුන් ප්‍රමාණය දස දහසකින් වැඩිකිරීම වත්මන් රජය ලැබූ එවැනිම ජයග්‍රහණයක් බව ද ජනාධිපතිවරයා සඳහන් කරනු ලැබීය.

මෙම වැඩිවීමෙන් වුව ද උසස් පෙළ සමත්ව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ප්‍රවේශ විය නොහැකි සිසුන් දහස් ගණනක් තවමත් සිටී. මෙයට හේතුව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සුදුසුකම් ලබන සිසුන්ට අවස්ථාව ලබාදීමට ප්‍රමාණවත් ධාරිතාවක් නොමැතිවීමයි. අපේ තරුණ තරුණියන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගෙනීමට වැඩි අවස්ථා නිර්මාණය කළයුතුය. මෙම විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් වීමට කිසිසේත් හේතුවක් නැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල සියල්ලම පාහේ රාජ්‍ය විශ්වවිද්‍යාල නොවන බව ද පෙන්වා දුන්නේය. ඒවා බොහොමයක් ස්වාධීන ස්වයං-පාලන ආයතන, පුණ්‍ය ආයතන හෝ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරන ලාභ නොලබන සංවිධාන ලෙස ව්‍යුහගත කර ඇති අතර එවැනි ආයතන ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය නොකිරීමට කිසිඳු හේතුවක් නැති බවත්, මෙය සිදු කිරීමට නීතිමය රාමුව වෙනස් කළ යුතු නම් එය ද සිදුකළ හැකි බවත් ජනාධිපතිවරයා පැවසීය.

රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පරිබාහිර උසස් අධ්‍යාපනය ලබාදෙන ආයතන උපාධි විකුණන අධ්‍යාපන කඩ බවට පවතින පැරණි විරෝධතාවල කිසිඳු අර්ථයක් නැති අතර උපාධිය ලැබීමෙන් පසු රැකියා වෙළඳපොළේ අවස්ථා ලබාදීමට හැකියාවක් නොමැති විශ්වවිද්‍යාල සිසුන් විසින් තෝරා නොගනු ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රට තුළ තෘතියික අධ්‍යාපනය සඳහා වඩාත් නිදහස් පරිසරයක් ඇති කිරීම තුළින් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියෙන් යුතු කලාපීය උසස් අධ්‍යාපන ආයතන ශ්‍රී ලංකාවට  ආකර්ශනය කර ගැනීමට හැකි වන අතර, එමඟින් මෙරටදී පිරිනැමෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නංවා ගත හැකිය. ඒ අනුව කාලයත් සමග ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ආර්ථිකයට විදේශ විනිමය ලබාදෙන ආදායම් උත්පාදකයක් බවට පරිවර්තනය කෙරෙනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා රට ශීඝ්‍රයෙන් දියුණු වී අනාගතයේ සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමට නම්, ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ එහි උසස් අධ්‍යාපන ව්‍යුහයේ මෙම පුළුල් වෙනස් සිදු කිරීම බවද පැවසීය.

අද පැවතියේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 32 වන උපාධි ප්‍රදානෝත්සවය යි.

Related Posts