මින් පසු සහනාධාර දෙන්නේ කාබනික ගොවිතැනට පමණයි – ජනපති

Spread the love
  • කාබනික ගොවිතැනට පමණක් සහනාධාර …
  • අඩුපාඩු හඳුනාගෙන ඊළග කන්නයට සූදානම් වන්න …
  • ගොවීන් නිසි ලෙස දැනුවත් කර නැහැ …
  • නිවැරදි දේ වෙනුවෙන් කැපවිය යුතු බවට ජනපති නිලධාරීන්ට දැඩිව අවධාරණය කරයි …

රජයේ ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් නැහැ. මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

රජයක් ලෙස කාබනික පොහොර බෙදාහැරීම, සහනාධාර ලබාදීම කාබනික ගොවිතැන වෙනුවෙන් පමණක් සිදුකරන බව ජනාධිපතිවරයා පවසයි. ගොවීන් නිසි ලෙස දැනුවත් කළ යුතුය. එමෙන්ම එය ක්‍රියාත්මක කිරීමේදී පවතින රසායනික පොහොර මාෆියාව පිළිබඳ හඳුනාගත යුතුය. ඒ සමග සටන් වැඳ නිවැරදි දේ ජයග්‍රහණය කරවීමට නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මහ කන්නයේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

දිවයිනේ සියලු පළාත්වල වී ඇතුළු සෙසු භෝග වගා කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන්ගෙන් කරුණු විමසා බැලීය. පැවති අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය එළවළු ඇතුළු භෝග රැසක අස්වැන්න අඩුවීමට බලපා ඇත. එමෙන්ම කාබනික පොහොර බෙදාහැරීමේදී සිදු වූ ප්‍රමාදය නිසා මහ කන්නයේ වගා කටයුතුවලට බලපෑම් ඇති විය. එහෙත් දිස්ත්‍රික් මට්ටමින් සමස්ත වගා බිම්වලින් 70%කට ආසන්න භූමි ප්‍රමාණයක වගා කටයුතු ආරම්භ කර ඇති බව නිලධාරිහු පැවසූහ.

ගොවීන් උද්ඝෝෂණවල යෙදීමට සහ වගා කටයුතු ප්‍රමාද කිරීමට හේතුව ඔවුන් නිසි ලෙස දැනුවත් නොවීම බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එලෙස දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිලධාරීන් වෙත සිය අප්‍රසාදය පළ කළේය. හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුළ සිටිමින් උද්ඝෝෂණය කරන ගොවීන් වෙනුවෙන් පිළිතුරු සෙවීමට නිලධාරීන් ක්‍රියා කළ යුතු බව අවධාණය කළ ජනාධිපතිවරයා, රජයේ ප්‍රතිපත්තියට එකඟ නොවන නිලධාරීන්ට ඉන් ඉවත් වීමට බාධාවක් නොමැති බවත් සඳහන් කරනු ලැබීය.

හිතට එකඟව පැහැදිලිව වැඩ කරන කණ්ඩායමක සහාය මෙම වැඩපිළිවෙළේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය බවත් ජනාධිපතිතුමා පැවසීය.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, ආණ්ඩුකාරවරුන් වන මාර්ෂල් ඔෆ් ද  එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, අනුරාධ යහම්පත්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග,  යන මහත්ම මහත්මීහු කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ඊට අයත් රේඛීය ආයතනවල ප්‍රධානීහු, කාබනික පොහොර නිෂ්පාදකයන්  ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Related Posts