මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව සිව්දින නිල සංචාරයක් සඳහා සඳුදා පස්වරුවේ ඉන්දියාවට පැමිණි බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

නවදිල්ලියට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ ඉන්දීය රාජ්‍ය අමාත්‍ය සංජීව් කුමාර් බල්යන් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසිනි. නවදිල්ලියේ පැලම් හි පිහිටි ගුවන් හමුදා කඳවුරට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා සමග ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රධානීන් පිරිසක් ද පැමිණියහ.

මාලදිවයින් ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණීම පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ නිල ප්‍රකාශක අරින්දම් බග්චි ට්විටර් වෙත සටහනක් තබමින් පැවැසූයේ දෙරට අතර නොසැලෙන මිත්‍රත්වය පෝෂණය කිරීමට මෙම සංචාරය කදිම අවස්ථාවක් සලසන බවයි.

මාලදිවයින් ජනාධිපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපති සෝලිගේ ඉන්දීය සංචාරය දෙරට අතර පවතින සමීප සබඳතාවය පෙන්නුම් කරන බවයි. ඉන්දියාව මාලදිවයිනේ සමාජ ආර්ථික සංවර්ධනයේ වැදගත් හවුල්කරුවෙක් බව එම නිවේදනය පෙන්වා දෙයි.

මෙම සංචාරය අතරතුර,මාලදිවයින් ‍ජනාධිපතිවරයා සෝලිහ් ඉන්දීය අගමැති මෝදි සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.ඔහු විසින් අභිනවයෙන් තේරී පත්වූ ඉන්දියාවේ ජනාධිපති ද්‍රෞපදි මුර්මු හමුවනු ඇත. එමෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ද ජනාධිපති සෝලිහ් හමුවනු ඇත.

රාජ්‍ය නිලධාරීන් සමඟ කටයුතුවලට අමතරව, ජනාධිපති සෝලි දිල්ලියේ දී ඉන්දීය ව්‍යාපාරික කණ්ඩායමක් ද හමුවනු ඇත. ඔහු මෙම සංචාරයේදී ඔහු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි වෙත ගොස් ව්‍යාපාරික කටයුතුවලට ද සහභාගි වීමට නියමිත බවද වාර්තා වේ

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්