මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි අගෝස්තු 1 සිට ඉන්දියාවට පැමිණේ.ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා කිරීමට සහ දෙරට අතර පුළුල් හවුල්කාරිත්වයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට නායකයන් දෙපළ අපේක්ෂා කරයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මාලදිවයින් ජනරජයේ ජනාධිපති, එච්.ඊ., ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ මාලදිවයින් රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් සමඟින් ඉන්දියාවේ සංචාරය කරනු ඇති බවයි. මෙම සංචාරය ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන් සිදුවන බවද එහි දැක්විණ.

මෙම සංචාරය තුළ දී මාලදිවයින් ජනාධිපතිවරයා ඉන්දීය නව ජනාධිපති ද්‍රෞපදි මුර්මු සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ද නවදිල්ලියේ රැඳී සිටින අතරතුර හමුවනු ඇත.

නව දිල්ලියේ නිල කටයුතුවලට අමතරව, ජනාධිපති සෝලි දිල්ලියේ දී ඉන්දීය ව්‍යාපාරික දූත පිරිසක් සමඟ සාකච්ඡාවක් පවත්වනු ඇත. මෙම සංචාරයේදී ජනාධිපති සෝලිහ් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවරට ද ගොස් ව්‍යාපාරික කටයුතුවලට සහභාගී වීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මාලදිවයින ඉන්දියානු සාගර කලාපයේ ඉන්දියාවේ ප්‍රධාන අසල්වැසියා වන අතර ඉන්දියාවේ අසල්වැසි පළමු ප්‍රතිපත්තියේ විශේෂ ස්ථානයක් ගනී.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව මෙම නිල සංචාරයේදී නායකයන් රාජ්‍යතාන්ත්‍රික හවුල්කාරිත්වයේ ප්‍රගතිය සමාලෝචනය කරනු ඇත. එමෙන්ම නැගී එන දකුණු ආසියානු සගයකු වන මාලදිවයින් රාජ්‍යයට පුළුල් ආර්ථික ප්‍රතිලාභ රැසක් මෙම සංචාරය තුළින් අත්පත් කර ගැනීමට හැකි වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩ්-19 වසංගතය සමඟ සාර්ථකව කටයුතු කිරීමට තම රටට උපකාර කිරීම පිළිබඳව මාලදිවයින් ජනාධිපතිවරයා ඉන්දීය රජයට ස්තූතිය කර ඇත.

මේ වසරේ මාර්තු මාසයේදී කළ දේශනයකදී ජනාධිපති සෝලි පසුගිය වසර දෙක තුළ රටේ කටයුතුවලදී ඉන්දියාව විසින් ඉටු කරන ලද ධනාත්මක භූමිකාව ඉස්මතු කළේය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්