මහ බැංකු මුල් පුටුව භාර ගැනීම ගැන රාජ්‍ය ඇමැති කබ්රාල් කළ ප්‍රකාශය

Spread the love

මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනයෙන් ‘මහ බැංකු අධිපති’ තනතුර භාර ගන්නා බව තහවුරු කළ බව ඩේලි මිරර් වෙබ් අඩවිය කියයි.

තමා සතියේදී රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බව ද ඔහු කීවේය.

“මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් සහ රාජ්‍ය ඇමති තනතුරෙන් ඉල්ලා අස්වන වන බව පක්ෂ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දෙන්න සූදානමින් ඉන්නේ. ආර්ථිකය අර්බුදකාරී කාල පරිච්ඡේදයක් තුළ පවතින හෙයින් මහ බැංකුවේ අධිපති ධුරය භාර ගන්නා ලෙස ජනාධිපතිවරයා මට ආරාධනා කළ අතර මම එය පිළිගත්තා” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා ඩේලි මිරර් වෙත පවසා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් සහ රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර පාර්ලිමේන්තුවේදී සමුගැනීමේ දේශනයක් කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මේ සමග ආර්ථික, මුදල්, විදේශීය ආයෝඡන, බැංකු හා ආනයන – අපනයන හා කාර්මික ගැටලු විසඳීම සඳහා පූර්ණ කාලයක් කැප කිරීමට තමාට වැඩි කාලයක් හා අවස්ථා ලැබෙන බව ද පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ 2009 – 2015 කාලය තුළ ඔහු මහ බැංකු අධිපති ලෙස කටයුතු කළේය.

කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු තනතුර සඳහා සුදුස්සෙකු නම් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉඩ ලබා දී ඇත.

වත්මන් මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්ලිව්ඩී ලක්ෂ්මන් සිය තනතුර අත්හැරීමෙන් පසු ලෝක බැංකුවේ ඉහළ තනතුරක් ලබා ගනු ඇතැයි වාර්තා වේ.

Related Posts