මහින්ද – මෛත්‍රී අවසන් හමුව අද

Spread the love

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ඉදිරි ජනාධිපතිවරණයේදී එක්‌ව තරග කිරීම සම්බන්ධයෙන් අවසන් සාකච්ඡාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් අතර ලබන සතියේ පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උප සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

 ඊට අදාළ මූලික සාකච්ඡාවක්‌ ඊයේ (27) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම විසින් පැවැත්වීමට හිමිකම තිබූ අතර එහිදී ගනු ලබන තීන්දු තීරණ ලබන සඳුදා (30දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කිරීමට නියමිත බවද සුමතිපාල මහතා ඊයේ (27දා) පුංචි බොරැල්ල පරිවර්තන කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.

 ඉන් අනතුරුව නිදහස්‌ පක්‍ෂ පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීමේදී ඇති කර ගනු ලබන ප්‍රතිපත්තිමය කරුණු කාරණා සහ පක්‍ෂයේ අනන්‍යතාවද ආරක්‍ෂා වන පරිදි ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡා කර අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද සුමතිපාල මහතා සඳහන් කළේය.

 ගොඩනගන සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයටම එකගතාවට මෙතෙක්‌ පැමිණීමට නොහැකි වී තිබුණද ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු දෙනා කටයුතු කරනු ඇති බවද සුමතිපාල මහතා කීවේය.

 එක්‌සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා, තමන්ගේ කැමැත්තට අනුව අලියා ලකුණ අතහැර හංසයා ලකුණින් පැමිණ ඇති ආකාරයටම ගෝඨාභය රාජපක්‍ෂ මහතාද ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තම කැමැත්ත පරිදි පොහොට්‌ටුව ලකුණින් පැමිණ තිබෙන්නේ තමන්ට ජයග්‍රහණය කළ හැකිය යන්න විශ්වාසය කරගෙන බවද සුමතිපාල මහතා සඳහන් කළේය.

 එම නිසා ලකුණු සම්බන්ධයෙන් ඇති වී තිබෙන්නේ තාක්‍ෂණික ප්‍රශ්නයක්‌ බවත් දෙපාර්ශ්වයම කතා කළ යුත්තේ ප්‍රතිපත්තිමය කරුණු කාරණා හා නම් කර තිබෙන ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බවත් තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

RSL

Related Posts