මත්ද්‍රව්‍යවලට එරෙහි වැඩපිළිවෙළ අතිසාර්ථකව ඉදිරියට ඇවිත්

Spread the love

කුමන බාධා එල්ල වුවද රටේ අනාගත පරපුර මත් උවදුරෙන් බේරා ගැනීම සඳහා ගෙනයන වැඩපිළිවෙළ මේ වන විට විශිෂ්ට ලෙස සාර්ථකත්වයට පත්ව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. රටේ බරපතළ ව්‍යසනයක්ව පවතින මත්ද්‍රව්‍යවලට එරෙහිව ගෙනයන වැඩපිළිවෙළ පසුගිය වසරවලට සාපේක්ෂව විශිෂ්ට ලෙස ඉදිරියට පැමිණ තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා රට තුළ මත්ද්‍රව්‍ය දැඩි ලෙස පාලනය කර තිබෙන බව ද නව සංඛ්‍යා ලේඛනවලට අනුව පසුගිය වසරවලට සාපේක්ෂව විෂ මත්ද්‍රව්‍යවල මිල අද වන විට වේගයෙන් ඉහළ ගොස් තිබෙන බව ද පෙන්වා දෙයි.

මේ ආකාරයට මත්ද්‍රව්‍යවල මිල වේගයෙන් ඉහළ ගොස් ඇත්තේ ඉල්ලුමට සැපයුම නොමැතිවීම නිසා බව සඳහන් කරන ජනාධිපතිවරයා මේ තත්ත්වය ඇතිව තිබෙන්නේ මත්ද්‍රව්‍ය මර්දනයේ ප්‍රතිඵලයක් නිසා බව ද කියා සිටී.

ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයේ දී ඊයේ (04) පෙරවරුවේ පැවැති විශේෂඥ වෛද්‍ය, ආචාර්ය සරත් මැල්කම් සමරගේ මහතා වෙනුවෙන් සංවිධාන කළ උපහාර උළෙල අමතමිනි. මෙරට වෛද්‍ය සේවාව හරහා ශාන්ත ජෝන් ගිලන් රථ සේවාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට මෙන්ම අන්තර්ජාතික වශයෙන් විශේෂඥ වෛද්‍ය, ආචාර්ය සරත් මැල්කම් සමරගේ මහතා සිදු කර තිබෙන විශිෂ්ට සේවාව අගය කරමින් බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජින විසින් නයිට් පදවියක් පිරිනමා තිබෙන අතර, එම ගෞරවයට පාත්‍රවීම හේතුවෙන් ඒ මහතා වෙනුවෙන් මේ උපහාර උළෙල සංවිධාන කෙරිණි.

එහි දී වැඩි දුරටත් අදහස් පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බලය ඉතාම ශක්තිමත් බවත් දේශපාලන භේදයෙන් තොරව ඒවා වළක්වන්න එක්ව කටයුතු කළ යුතු බවත්ය. තමා පාර්ලිමේන්තුවට පැමිණි මුල් කාලයේ සිට මත්ද්‍රව්‍යවලට එරෙහිව ගන්නා ලද විවිධ ක්‍රියාමාර්ග සඳහා පෙනී සිටි බව සිහිපත් කළ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍යවලට එරෙහිව ක්‍රියාත්මක වැඩපිළිවෙළ තව දුරටත් ශක්තිමත් කරමින් බක්මහ දිවුරුම නමින් මේ වසරේ අප්‍රේල් මාසයේ දී වැඩසටහනක් ආරම්භ කළ බව ද පැවැසීය.

ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ උපදේශක කුප්පියාවත්තේ බෝගානන්ද හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, තිලංග සුමතිපාල, ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති ගගන බුලත්සිංහල, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හෝලිඩින්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

RSL

Related Posts