ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම වෙනුවෙන් උපකාර කිරීමට ඩයස්පොරා ප්‍රජාව සුදානමින් සිටින බවත් ඒ සඳහා මෙරට බලය බෙදීමේ ක්‍රියාවලිය කඩිනම් වනු ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්ම් සානක්‍යන් මහතා පවසයි.එමෙන්ම සියලුම පාර්ශව පිළිගත හැකි ජාතික වැඩපිළිවෙලක් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන්නේ නම් දෙමළ ජාතික සන්ධානය සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඩයස්පෝරා සංවිධාන කිහිපයක තහනම ඉවත් කිරීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් හා සමඟි ජනබලවේගය සමඟ දෙමළ ජාතික සන්ධානය ජනාධිපති ධුර අපෙක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය ලබා දුන්නා. ඔහුට අපි ඡන්දය ලබාදුන්නේ සර්වා පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින්.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් රටේ ආර්ථිකය නිවැරදි මඟට ගෙන එම අපට තිබුණු එකම විසඳුම වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබාදී ඔහු ජනාධිපතිවරයා බවට පත් කළා. අවම පිටතින් අගමැතිවරයෙකු පත් කරනු ඇතැයි කියා මම සිතුවා. නමුත් එහෙම වුණෙත් නැහැ.

පවතින අමාත්‍ය මණ්ඩලය දෙස බැලු විට පෙන්නේ පැවති ආණ්ඩුව වගේමයි. වැඩි වෙනසක් දකින්නේ නැහැ.

මෑතකදි අපි ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළා. දෙමළ ජනතාවගේ ප්‍රශ්න අපි ඉදිරිපත් කළා. එහිදි අපි ඉතා පැහැදිලිව පැවසුවේ සියලු පාර්ශවවලට පිළිගත හැකි ජාතික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නේ නම් සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබාදිය හැකි බවයි.