පොහොට්ටුවේ මැරයින් වැඩ අරඹයි

Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවෙක් ගිනි අවියක් එල්ලකරමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ආධාරකරුවන් දෙදෙනකුට වාද්දූව පොතුපිටිය සුසාන භුමිය අසල දී පහර දී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා සඳහන් කළේය.

මෙම පහරදීම සිදුව ඇත්තේ ඉකුත් 19වෙනි දාය. ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදුන් ඉකුත් 7 වෙනි දා සිට මේ දක්වා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ගිනි අවි භාවිත කිරීමක් සම්බන්යෙන් වාර්තා වන පළමු සිදුවීම වන්නේ මෙය බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රබල ආධාරකරුවෙක් වන සිසිර මෙන්ඩිස් නැමැත්තා ගිනි අවි එල්ලකරමින් එම පහරදීම කර ඇති බවද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මංජුල ගජනායක මහතා සඳහන් කළේය.

එම පහරදීම එල්ලවී ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ආධාරකරුවන් වන එම්.එස්. නිහාල්සිංහ සහ නවරත්න බණ්ඩා යන දෙදෙනාටය. සිසිර මෙන්ඩිස් නැමැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආධාරකරු බීමත්ව සිට ඇති බවද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ගිනි අවි පෙන්වා කළ එම පහරදීම ගැන වාද්දූව පොලිස් ස්ථානයට පහරකෑමට ලක්වුණු නිහාල්සිංහ නැමැත්තා පැමිණිල්ලක් කර ඇතත්, සිසිර මෙන්ඩින් නැමැත්තාව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත නිදහස් කර ඇති බවත්, එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ගිනි අවිය ගැන තමන් පොලීසියට ප්‍රකාශයක් දුන් බව පැමිණිලි කරු සිය මධ්‍යස්ථානයට සඳහන් කළත්, ඒ ගැන වාද්දූව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසුමක දී සඳහන් කළේ ගිනි අවි භාවිතා කිරීමක් ගැන පැමිණිල්ලෙහි නොමැති බව යැයිද මංජුල ගජනායක මහතා සඳහන් කළේය.

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ හම්බන්තොට සම්බන්ධීකරණ නිලධාරියකුගේ හුංගම පිහිටි නිවසකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් බව කියන පිරිසක් පෙරේදා (20) පහර දී තිබේ.

එම පහරදීමෙන් සමීර අබේකෝන් නැමැති සම්බන්ධීකාරකවරයාගේ පියාත් බාල සහෝදරයාත් තුවාල ලබා හම්බන්තොට සහ තංගල්ල යන රෝහල්වලට ඇතුළත් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් බව කියන දෙදෙනෙක් බීමතින් හුංගම පිහිටි නිවසට ගොස් කලහාකාරී ලෙස හැසිරී තිබෙන බව හුංගම පොලීසිය සඳහන් කළේය. ඔවුන් එල්ලකළ ගල් පහරක් එම නිවසේ පදිංචිව සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියාගේ හිසට වැදී තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි. අනතුරුව එම බීමත් පුද්ගලයන් සම්බන්ධිකරණ නිලධාරියාගේ බාල සහෝදරයාට ද පහර දී තිබේ.

පහරදුන් පුද්ගලයන් පෙරේදා (20) සිට සැඟවී සිටින බව හුංගම පොලීසිය සඳහන් කරයි. අවස්ථා කිහපයක්ම එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක්ම සැකකරුවන්ගේ නිවෙස්වලට සහ ඔවුන් ගැවසෙන තැන් වලට ගොස් ඇති බව තංගල්ල කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඒ එක් අවස්ථාවක දී යතුරු පැදියකින් පළා යමින් සිටි එක් සැකකරුවෙන් පොලීසිය ලුහුබඳිද්දී යතුරු පැදිය මඟ අතහැර පළාගොස් ඇතැයි ද එම නිලධාරියා සදහන් කළේය. එම යතුරුපැදිය මේ වන විට හුංගම පොලිස් භාරයේ ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

-දිනමිණ-

RSL

Related Posts