පොදු රාජ්‍ය මණ්ඩලය දෙකඩ වන ලකුණු

Spread the love

ශ්‍රි ලංකා රජය තමන් සමග සිටින්නේ නම් තවදුරටත් රටට සහය පළ කරන බව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේෂ් ෂර්මා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලය අතීතයේදී ශ්‍රි ලංකාවට සහාය පළ කළ බවයි.

මුලික මානව හිමිකම්වලට ගරු කිරීම, පොදු රාජ්‍ය මණ්ඩලයේ එක් පොදු වටිනාකමක් බව ද මහලේකම්වරයා පෙන්වා දී තිබේ. ඒ සඳහා සිය අඛණ්ඩ කැපවීම පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින් පුන පුනා ප්‍රකාශ කර ඇති බවයි.

කෙසේ වෙතත් පොදු රාජ්‍ය මණ්ඩලීය මානව හිමිකම් කොමසාරිස්වරයකු පත් කිරිමේ යෝජනාවට දැනටමත් එහි ප්‍රබල සාමාජිකයින් වන ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව විරෝධය පළ කර තිබේ.

එහෙත් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සත්කාරකත්වය දරන ඔස්ට්‍රේලියාවේ ද සහයෝගයෙන් මේ පිළිබද යෝජනාවක් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශ්‍රි ලංකාව ද මානව හිමිකම් සම්බන්ධයෙන් බාහිර බලපෑම් ප්‍රතික්ෂේප කරන බැවින් මෙම යෝජනාව සිකුරාදා ආරම්භ වන සමුළුව තුළ බෙදීමකට මග පාදනු ඇතැයි, රොයිටර් වාර්තා කළේය.

ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය කෙවින් රඩ් මහතා පවසන්නේ සිය ස්ථාවරය ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් තත්ත්වය වර්ධනය කිරීමට සහය දීම බවයි.

බ්‍රිතාන්‍යය සහ එරට යටත් විජිත ලෙස පැවති රාජ්‍යයන් පනස් තුනකින් සමන්විත පොදු රාජ්‍ය මණ්ඩලය බිලියන 2 පමණ ලෝක ජනගහනයක් නියෝජනය කරයි.

එහෙත් බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ දකුණු අප්‍රිකාව යන ජී-20 කණ්ඩායමේ සාමාජිකත්වය හිමි රටවල් ඇතුළු රාජ්‍යයන් කිහිපයක් හැර අප්‍රිකානු, පැසිෆික් සහ කැරිබියානු කලාපය නියෝජනය කරන බොහෝ සාමාජික රටවල් අන්ත දිළිදු භාවයෙන් පෙළෙයි.

RSL

Related Posts