ඩබ්.එච් දුමින්ද ප්‍රියදර්ශන/ ජ්‍යේෂ්ඨ පර්යේෂක සහ ප්‍රවීන කෘෂි ආර්ථික විශ්ලේෂක, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය
ඩබ්.එච් දුමින්ද ප්‍රියදර්ශන යනු වෘත්තිමය පර්යේෂකයෙකු මෙන්ම කෘෂි ආර්ථික විශ්ලේෂකයෙක් ද ලෙස ද කටයුතු කරන ජාතික මට්ටමේ කමිටු රැසක් මෙන්ම මෙරට ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකමිටුව නියෝජනය කළ අත්දැකීම් රැසක් ඇති ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිළධාරියෙකි. ඔහු සතු දැනුම් සම්භාරය ප්‍රායෝගික තත්වයන් සමග වර්තමාන ජීවන වියදම සහ ඒ ආශිත අනාගත තත්වයන් සමග ආහාර මේන්ම ආහාර නොවන අංශයන්හි වෙළෙඳපොළ මිල පාලනය කිරීමට ඇති හැකියාවන් සහ ක්‍රමවේද පිලිබඳ කාලීන විශ්ලේෂණාත්මක විවිරණයක යෙදීම මෙම සාකච්චාවේ අරමුණ වේ.
ඔක්තොබර් මාසයේ ලෝක ආහාර දිනය සැමරුවත් පාරිභෝගික ආරක්ෂණය ලංකාව වගේ රටක ප්‍රමාණවත් යැයි ඔබ හිතන්නේද ?
ඔව්, මෙවර ලෝක ආහාර දින තේමාව වුනෙම අපට 100% ක්ම ගැලපෙන “වඩා හොඳ ජීවිතයක් සහ යහපත් අනාගතයක් සඳහා ආහාර සඳහා ඇති අයිතිය” ( “Right to foods for a better life and a better future.”) කියන තේමාවයි, ඒ වගේම ප්‍රථමයෙන් කියන්න ඔනෙ අපි මේ සාකච්චා කරන මාතෘකාව කාලීන වශයෙන් ඉතා වැදගත්වන අතරම කාලයකට පමණක් සීමාකළ නොහැකි සර්වකාලීනවම වැදගත් මාතෘකාවක් කියන එක, මොකද ජීවන වියදම මාස 12 ටම වැදගත් වෙනව, ඒ නිසා ඔබේ මෙම මාතෘකාවට මම අංශ කිහිපයක් ඔස්සේ විශ්ලේෂණාත්මක විවරණයන් ලබා දෙන්නම්,
ලොකයේ දැනට පුරෝකතනය කරල තිබෙන විදිහට 2050 වන විට දැනට පවතින ආහාර නිෂ්පාදනය 50% කින් පමණ පහළ යයි කියල ගෝලීය ජල කොමිසමත් පෙන්වා දීල තිබෙනව, කාලගුණික මෙන්ම දෙශගුණික විපර්යාසයන්ගෙන් ආහාර නිෂ්පාදනයට දැඩි බලපෑම් ඇතිවන යුගයක් ඉදිරියට එලබෙන්නෙ, ලෝක ආහාර නාස්තිය ඉතා ඉහලයි, වැඩිම ජනගහනයක් සිටින රට ලෙස චීනයේ ආහාර අපතේ යන දළ ප්‍රමාණය වාර්ෂිකව ටොන් මිලියන 100 ට ආසන්නයි, මෙම ආහාර නාස්තිය ඉන්දියාවේ ටොන් මිලියන 70 ක් වන විට ඇමරිකාවේ ටොන් මිලියන 20 ක් ලෙසද ජපානයේ ටොන් මිලියන 8 ක් ද ජර්මනියේ ටොන් මිලියන 6 ක් ද ලෙද දැකිය හැකිය. සහ . චීනය විසින් වාර්තා කරන ලද විශාල ආහාර අපද්‍රව්‍ය ප්‍රමාණය, සැලකිය යුතු වුවද, ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රට සඳහා පුදුමයක් නොවිය යුතුය. එසේම මේ වනවිට ලෝකයේ ආහාර සුරක්ෂිතතාවයට ඇතිවන බලපෑම කාලගුණික මෙන්ම දේශගුණික විපර්යාසයන් වල ප්‍රතිපලවලින්ද අපට බලා ගන්න පුළුවන්, උදාහරණයක් ලෙස ඇමසන් ගංගාව වැනි විශාල ගංගාවන් සිදීයාම වැනි තත්වයන්ගෙන් අවබෝධකර ගන්න පුලුවන්, ලෝක ආර්ථීක අසමතුලිතතාවය තුළ තියෙන ගැටලුව නම් නිෂ්පාදනය වන ආහාර ප්‍රමාණයත් නිසි ක්‍රමවේදයක් තුළ පාරිභෝගිකයාට යනවද කියන එකයි, මොකද ලෝකයේ ගොඩක් සංවර්ධිත රටවල් ආහාර නිෂ්පාදනයට බඩා ප්‍රමුඛතාවය දීල තියෙන්නෙ වෙන වෙන යුධමය තත්වයන්, පැයට කිලෝමීටර් දහසකින් වේගයෙන් යන දුම්රිය, දිගුදුර බැලස්ටික් මිලයිල, සඳ තරණය වැනි දේවල් වලට, කෘෂිකර්ම අංශයේ ද පළදායීතාවය මෙන්ම තාක්ෂණය අතින් ඉතා ඉහළ තත්වයක සිටින එම රටවල් ඔවුන් නිෂ්පාදනය නොකරන තම අත්‍යවශ්‍ය අහාර ටික ලෝකයේ කොහෙන් හරි ගෙන්න ගන්නව , මොකද ඔවුන් සතුව විශාල මුදල් තිබෙන නිසා, නමුත් ගැටලුව වෙන්නෙ තුන්වන ලෝකයේ රටවල් වලට ප්‍රමාණවත් නිෂ්පාදනයක් සිදුකරගැනීමට නොහැකි වුවහොත් ලෝක වෙළෙඳපොළතුළ එම වැඩිවන අසීමිත මිල ගණන් වලට ආනයනය කරගන්න බැහැ, එතනදී තමයි දේශීය නිෂ්පාදනය ප්‍රළුවන් තරම් වැඩිකරගන්න අවශ්‍ය වෙන්නෙ, ඒ සඳහා හැකි හැම ශක්තියක් ම යොදවන්න ඔිනෙ දේශීය ආහාර නිෂ්පාදනයට, මොකද අපේ රටට ද මේ සඳහා විශාල අභියෝග තියෙනව, අපි දැනට 100% ක් සහල් වලින් පමණයි ස්වයංපෝෂිත වෙලා තියෙන්නෙ, ඒ නිසා මේ කාරණය ඉතා ගැඹුරින් සලකා බලන්න කාලය ඇවිල්ල තියෙන්නෙ. පසුගිය වසරේ පමණක් ලොකුළුණු අවශ්‍යතාවය පරිදි ආනයනයට පමණක් රුපියල් මිලියන 24,000 කට අධික මුදලක් වැයකර තිබෙන විට මෙම වසරේ පලමු මාස 10 ඇතුලත පමණක් රුපියල් මිලියන 30,000 ක් පමණ වැයවෙලා තිබෙනව, අර්තාපල් සඳහා පමණක් 2023 වසරේ මිලියන 7,000 ක් පමණ වැයකරන විට මෙම වසරේ පලමු මස 10 තුළ පමණක් මිලියන 12,700 ක් පමණ වැයකර තියෙනව. ලොකුළුණු මෙ.ටො. ලක්ෂ 03 ක් පමණ වාර්ෂිකව දේශීය අවශ්‍යතාවය පවතිනව, අර්තාපල් මෙ.ටො. ලක්ෂ 02 ක් විතර අවශ්‍යවෙනව වාර්ෂිකව, මෙම ආහාර වර්ග අත්‍යවශ්‍ය තත්වයේ පවතින බැවින් ලෝක වෙළෙඳපොළ මිල ගණන් උච්චාවචනයන් හමුවේ ආනයනය කළයුතුව ඇත.මෙම වසරේ දෙශීය ලොකුළුණු සිල්ලර මිල ගණන් කිලෝව රුපියල් 1,000 ඉක්ම වූ අවස්ථාද වාර්තා විය. දිගුකාලින විධිමත් වැඩපිළිවෙලක් මෙන්ම ඉහළ තාක්ෂණයක් නොමැතිව මෙම වර්ග 100% දේශීය නිෂ්පාදනය කළ නොහැකි වුවද කිසියම් තරමකින් හෝ පාලනය කරගතයුතුව ඇත. දැනටද දේශීයව ආරම්භකර ඇති කෘෂි නවීකරණ ව්‍යාපෘතිවලින් ඉහළ ප්‍රතිපළ අපේක්ෂා කලද ඒවා කෙටිකාලීනව ලගාකරගත හැකිද එසේත් නොමැතිනම් මෙම වර්ගයන් සඳහා තවමක් ඉලක්ක කර නොමැතිද යන්න මෙන්ම රාජ්‍ය අංශයේ මෙම නව තාක්ෂණය සඳහා වෙන්කරන ආයෝජන වැඩිකළහැක්කේ කෙසේ ද යන්න සලකා බැලිය යුතුය. කෙසේ වුවද කෘෂි නවීකරණ ව්‍යාපෘතිය වැනි දැවැන්ත තාක්ෂණික ක්‍රමවේද සහිතව සිදුකල ව්‍යාපෘතින් හි ප්‍රතිපළ හේතුවෙන් පසුගිය කාලසීමාවන් තුළ වාර්ෂිකව අවශ්‍යතාවය අනුව ආනයනය කළ වියලි මිරිස් මෙ. ටො. 50,000 ක ප්‍රමාණය 2022 දී මෙ.ටො. 47,000 සිට 2023 වනවිට මෙ.ටො.40,000 දක්වා අඩු වී ඇත. ආනයන මුදල ද රුපියල් මිලියන 35.000 සිට රුපියල් මිලියන 31,000 දක්වා අඩු වී ඇත. කෙසේ නමුත් රටතුළ ස්වයංපෝෂිත නොවිය හැකි සීනි ආනයනය සඳහා පමණක් රුපියල් මිලියන 70,000 කට ආසන්න මුදලක් ද තිරිගු ආනයනය සඳහා ද රුපියල් මිලියන 114,000 ක් පමණ වැය වී ඇත. එසේම දිගුකාලීනව කළයුතු ඇතැම් රාජ්‍යප්‍රතිපත්ති කෙටිකාලීනව සිදුකිරීමටයාමේ ප්‍රතිපළ මත 2022 වසර තුළ පමණක් රුපියල් මිලියන 80,400 ක සහල් ආනයනය කර තිබේ. මෙම සියළු තත්වයන් තුළින් පැහැදිලිවනුයේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම කෂේත්‍රයේ බොහෝ අංශ තවදුරටත් කඩිනමින් යාන්ත්‍රීයකරණය විය යූතු බවත් ඒ තුළ ඉහළ පලදායීතාවයක් ලබාගැනීම අනිවාර්යයෙන් සිදුවියයුතු බවත්ය.
වත්මන් රජය තුල මේ අභියෝග ජයගැනීමට සඳහා පලදායී විසදුම් යෝජනාකර තිබේයැයි ඔබ සිතන්නේද ?
පලදායී විසදුමක් තිරසාර වෙන්න ඔීනි, ප්‍රශ්නය තියෙන්නෙ විවිධ රජයන් හැටියට මේ සඳහා ගනුලබන විවිධ ක්‍රියාමාර්ගවලත් ප්‍රතිපළයන් නිසි පරිදි රජයන් අරමුණු කරන පරිදි අවසන් පාරිභෝගිකයාට යනවද කියන එකයි, ඒ නිසා දැනට පත්වෙලා තිබෙන වත්මන් රජය ජනතාවාදී රජයක් ලෙස මේ සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශය තුලින්ම
- දේශීය නිෂ්පාදනය වැඩි කිරීමේ කන්න තුනකට යාමේ විභවතාවයන් පිළිබඳ පෙන්වාදීම,
- කෘෂි උපකරන සඳහා සංචිත හදුන්වාදීම, කෘෂි යාන්ත්‍රීයකරණය
- ජල කළමණාකරණය පලදායිතවය ඉහළ නැංවීම,
- කෘෂී ව්‍යාප්ති සේවය ශක්තිමත් කිරීම,
- තරුණ කෘෂී ව්‍යාවසායකයින් නව තාක්ෂණයත් සමග බද්ධව කෘෂීකර්මාන්ත නවීකරණ කාර්යයට සම්බන්ධකරගැනීම
- අපනයන ඉලක්කගත කෘෂිකර්මය
- අගය එකතුකළ නිෂ්පාදන, නව සෘජු අලෙවි මාර්ග
වැනි වඩා පලදායී ක්‍රමවේදයන් ඉහලින්ම අගයකළයුතුයි, මොකද මේ සියල්ල තුළින් අවසානයේ පලදායීතාවය ඉහළ නැංවීම මගින් නිෂ්පාදනය ඉහළට ගෙනඒම තුළ ආහාර සුරක්ෂිතතාවයත් තමයි අවසන් ඉලක්කයන් වෙන්නෙ, වෘත්තිමය පර්යේෂකයින් හැටියට අපි පෙන්වා දෙන්නෙ මේ දේශීයව මෙන්ම ජාත්‍යන්තරව බැදිල තිබෙන අර්බුධයෙන් ගොඩයන මාර්ග මෙන්ම ඒ තුළ නිෂ්පාදකයත් පාරිභෝගිකයත් රැකිල ආහාර සුරක්ෂිතතාවය ප්‍රශස්ථ මට්ටමක පවත්වාගෙනයාමට උපදෙස් ලබාදීමටයි. ඒ වගේම 2028 වනකොට ණය ගෙවීම්, දළ දේශීය නිෂ්පාදනය ඉහල දමාගැනීම් ඇතුළු දිගුකාලීන සහ කෙටිකාලීනව කඩිනමින් ලගාකරගතයුතු අභියෝග රාශියක් තියෙනව, ඒ නිසා ලෝක ආහාර දිනය යෙදී තිබුන මෙම ඔක්තොබර් 16 දිනට මේ ලෝක ආහාර දින තේමාව වුනෙත් අපටත් සෘජුවන බලපාන කාරණයක් නිසා ඇත්තටම අපට තියෙන අභියෝග මොනවද කියල අපි ටිකක් කතා කරල බලමු.
ජීවන වියදම් පාලනයට මෙන්ම පාරිභෝගික ආරක්ෂණයට පවතින නීති රීති ප්‍රමාණවත්යැයි ඔබ සිතන්නේ ද ?
කාලීන වශයෙන් වර්තමානය වනවිට ශ්‍රී ලංකාව තුළ පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා පවතින නීතිරීති කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින් සහ පවත්නා නීතිරීති ද ක්‍රියාත්මක වන්නේද යන ගැටලුවක් නිර්මාණය වී ඇති නිසා ඒ සඳහා ආහාර සුරක්ෂිතතා අධිකාරියක අවශ්‍යතාවය ඉතා තදින්ම දැනී තිබේ. වෘත්තීමය පර්යේෂකයෙකු ලෙස වසර 20 කට අධික මා සතු දිගුකාලීන පර්යේෂණ අත්දැකීම් අනුව රටේ ජීවන වියදම් කමිටුව නියෝජනය කළ ප්‍රධාන නිළධාරියෙකු ලෙස පවතින අත්දැකීම් මත තමයි එවැනි ආයතනයක් අවශ්‍යයැයි යෝජනා කරන්නේ,විශේෂයෙන්ම ආහාර සහ ආහාර නොවන ද්‍රව්‍ය මිල ගණන් මෙන්ම ඒවායේ තත්වයන් අදවනවිට මුළුමනින්ම වෙළෙඳපොළ ඒකාධිකාරිය මත තීරණය වීමට ඉඩහැරී ඇත. මේවා පාලනයට නීති මෙන්ම රීති ද අවබෝධයෙන් යුතුව පවත්වාගතයුතු අතර ඒවා පාරිභෝගික ආරක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේද යන්න සමාජයම ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇත. මේවා සඳහා පවතින ආයතන සඳහා ශක්තිමත් නීති මෙන්ම ප්‍රමාණවත් නිළධාරීන් නොමැති වන්නට පුළුවන. නමුත් රජයක් හැටියට පාරිභෝගිකයා ආරක්ෂා කළ යුතුව ඇත. උදාහරනයක් ලෙස විශේෂයෙන් ඉන්ධන මිල ඉහළයාම තුළ සියළුම අංශයන් තුළින් භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියද එම ඉන්ධන මිල පහළයාම තුළ භාණ්ඩ හා සේවා මිල ගණන් පහළ යා යුතු වුව ද ඒවා තීරණය කිරීමට කිසිදු ආයතනයක් නොමැත. එම මිල ගණන් අදාල වෙළෙදුන්මෙන්ම එම සේවා සපයන්නන් විසින්ම තමන්ම තීරණය කරන මිලක් ලබා දෙයි. ඇතැම් ආයතන කිසිදු මිලක් පහත නොදමයි. උදාහරනයක් ලෙස ඉතා ඉහළ අගයක උද්ධමනය පැවති අවස්ථාවේ සිනි කිලෝවක් රු.400 ක් ද පිටි කිලෝවක් රු.400 ක් ද බිත්තර රු.65.00 ක්ද ගෑස් රු.6,000.00 කට ආසන්න වූ විට පැවති බිත්තර ආප්පය බිත්තර රොටියක මිල අදත් බොහෝ වෙළෙදපොළවළ එසේමය. බිත්තරයක් රුපියල් 65.00 – 70.00 ක මිලේ සිට අදවනවිට රු.35.00-40.00 අගයකට පහළ ගියද බිත්තර ආප්පයක බිත්තර රොටියක මිල වෙනසක් නොමැත. බහුතරයක් නාගරික අංශයන්හි පාරිභෝගිකයා පාරිභෝජනය කරන්නේ මෙම කෙටි ආහාර වේ. මේවා සොයා බැලීමට කිසිවෙකුත් නොමැත. මිලක් තීරණය කිරිමට කිසිවෙකුත් නැත. ඉන්ධන මිලට සමානුපාතිකව කිසිදු තීවිල් ගාස්තුවක් අඩු වී නොමැත.කිසිදු මිල නියාමනයක් නොමැත. ඒ ඒ සංගම් තමන්ම මිල ගණන් තීරණය කර ගනී. ඇතැම් අය මාධ්‍යයටම විත් අප කිසිවක් අඩු නොකරන බව දැඩි පිළිකුලෙන් ප්‍රකාශ කරයි. එවිට මෙම සහනයන් සමස්ථ පොදු ජනතාවට යන්නේ නැද්ද? වාහනයක් සතු පුද්ගලයෙක්ට එම සහනය දැනුන ද වාහනයක් නොමැති කෙනෙකුට ඒ සහනය ලැබෙන්නේද? ඔක්ටේන් 95 අඩුකළවිට “ඒවා අපි භාවිතා නොකරයි” මෙන්ම ඔක්ටේන් 92 අඩුකළවිට ඒත් සමග අනෙකුත් ද්‍රව්‍යයන්ද අඩුකරන මෙන් ඉල්ලයි, නමුත් රුපියල් 5 .00 – 10.00 ක් ඉන්ධන මිල ඉහළ දැමුවහොත් එම ප්‍රමාණයට වඩා වැඩි මුදලක් පාරිභෝගිකයාට විතැන් කරයි. රජය මිල ගණන් අඩුකිරීමෙන් අපේක්ෂිත අරමුණ මෙ අනුව ඉටුවේද යන්න බැලීමට කිසිවෙකුත් නොමැත? කෙසේ නමුත් ආගම දහම අදහන සාධාරන ලෙස ව්‍යාපාර කරමින් එම සහනය පාරිභෝගිකයාට ලබාදෙන පිරිසකුත් මේ අතර නැතිවම නොවේ. මේ සියළු තත්වයන් පිළිබඳ පාරිභෝගිකයා වෙනුවෙන්ම පෙනී සිටීන නීතිරීති සමග විධිමත් නියාමන අධිකාරියක අවශ්‍යතාවය පවතී. මෙම ආහාර මෙන්ම ආහාර නොවන භාණ්ඩ හා සේවා වල මිල ගණන් පුද්ගලයෙකුගේ මාසික වියදමට පෘජුවම බලපායි. පසුගිය කාලයේ දැඩි උද්ධමන අගයක පැවතියදී ඉහළ ගිය උපකාරක පංති ගාස්තු ද තවමත් ඉතා අසාධාරණ ලෙස ඉහළ අගයක පවතී.මේවා කිසිදු නියාමනයක් නොමැත. සොයා බැලීමට ආයතනයක් නොමැත.රජයට ප්‍රමාණවත් බද්ධක්ද නොමැත. මේ සඳහා විධිමත් නියාමන අධිකාරියක අවශ්‍යතාවය දැඩිව පැනනැගී ඇත. පෙර පැවති රජයන් මේවා පිළිබඳ නොසැලකුවත් වත්මන් රජයතුළින් ජනතාවාදි රජයක් ලෙස පාරිභෝගිකයා මේවා අපේක්ෂා කරයි.
පවත්නා වියදම් තත්වයන් පිළිබඳ විශ්ලේෂණය කළහොත්.,,
අදවන විට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත අනුව පාරිභෝගිකයෙකුගේ මාසික ප්‍රද්ගල වියදමින් 35% ක් ආහාර සඳහා වැයකරන විට 65% ක්ම වැයකරනුයේ ආහාර නොවන භාණ්ඩ හා සේවා සඳහායි. මෙය ග්‍රාමීය මෙන්ම වතු අංශයන්හි 50% බැගින් බෙදීයයි. මෙම ආහාර සඳහා වන වියදමින් 14% කට ආසන්න ප්‍රමාණයක් සහල් සඳහා ද, එළවළු සඳහා 10% ක්ද ,සකස්කළ ආහාර සඳහා 12% ක් ද,පොල් සඳහා 6%ක් ද,කිරිපිටි සඳහා 8.% ක් ද, සහ මාළු සඳහා 9.5% ක්ද ලෙස වැය කරයි. මෙම ආහාර ද්‍රව්‍ය තුළ තිබෙන 35% නිරන්තර උච්චාවචනයන්ට ලක්ව මිල ගණන් වෙනස්වුවද 65% ක් පමණ වන ආහාර නොවන ද්‍රව්‍ය මිල ඉහළයාම තුළ එසේ නෙවෙයි.
ආහාර ද්‍රව්‍ය මිල ගණන් කාලිනව වෙනස් වුවත් ආහාර නොවන ද්‍රව්‍ය ඒසේ මිල වෙනස් නොවන්නේ ද ?
විශේෂයෙන් ඉහළ ගිය නිවාස කුළී,ප්‍රවාහන ගාස්තු,සබන් දත්බෙහෙත්,ක්‍රීම් වර්ග, ඇදුම් සපත්තු,පාසැල් උපකරණ වැනි බොහොමයක් ආහාර නොවන අයිතමයන්ගේ මිල ගණන් තවමත් පැවති තත්වයන් තුළම පවතී. එසේම අත්‍යවශය ඔාෂධ තවමත් පාලනයකින් තොරව අලෙවි වීම,වෛද්‍ය චැනලින් මෙන්ම රෝහල් ගාස්තු සහ සේවා පහසුකම් පාලනය නොවිම,මේවා නිෂ්පාදන මිල ගණන්, ඉන්ධන මිල, ඩොලරයේ මිල පහලයාම, වැනි අයිතමයන්ට සාපේක්ෂව පහළගොස් තිබේද නැද්ද යන්න විමසිය යුතුම කරුණකි. රජය මේ වනවිට බොහෝ අපේක්ෂාවන් මත බැට් බද්ධ තෝරාගත් වර්ග රැසකින් ඉවත්කරන්නට සැලසුම් කර තිබේ. එසේ ඉවත් කිරීමට පෙර ඒවායේ වර්තමාන වෙළෙඳපොළ මිල ගනන් අධ්‍යනය කර අඩුකරන ප්‍රමාණයන්ගෙන්ම එම සහනය පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කළ යුතුව ඇත. එනම් පසුගිය රජය තුලින්ද මේ ආකාරයටම අඩු ගළ බදු සහනයන් පාරිභෝගිකයාට විතැන්වූයේ නොමැත. ඒවා අතරමැද නැවතුනි,ඒ සඳහා විවිධ හේතූන් පෙන්වා දෙයි. බද්ධක් වැඩිකළ සැනින් එම මුදලින්ම භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ දැමුවද අඩුකළවිට එම ප්‍රමාණයෙන්ම මිල ගණන් අඩුකිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවේ. මෙවන් තත්වයන් නියාමනය කළ යුතුමය. එසේම භෝග වගාවේ දී ද බිත්තර වී, කෘෂි රසායන,වල්නාෂක මෙන්ම අනෙකුත් බීජ මිල ගණන් ද කිසිදු පාලනයකින් තොරව අලෙවි වේ. මේවායේ තත්වයන් පිළිබඳ විශාල ගැටලු පවතී. මෙම සියළු අංශ නිසි වෙළෙඳපොළ පාලනයකින් යුතුව කටයුතු කිරීමේ දැඩි අවශ්‍යතාවය පැන නැගී ඇත. මෙවැනි තත්වයන් නියාමනයකින් යුතුව සිදුකිරීම සඳහා විශේෂ ආහාර ආරක්ෂණ අධිකාරියක අවශ්‍යතාවය දැඩිව පවතී. ඩොලරයේ අගය, ඉන්ධන මිල ගණන්,උද්ධමනය ඉතා ඉහළ අගයක්ව පැවති අවස්ථාවේ පැවති තත්වයත් වර්තමාන තත්වයත් ගැලපිය යුතුව ඇත. මෙම සියළු තත්වයන් පිලිබඳ නිරන්තර අධ්‍යනයක සිට ඒවා පිළිබඳ විශ්ලේෂණාත්මක විවරණයක සිටීමට විශේෂ ආයතනයක අවශ්‍යතාවය පවතී. විශේෂයෙන් ආනයන භාණ්ඩ මිල මට්ටම්වල පහළයාම පාරිභෝගිකයාට යන්නේද, නැතිනම් අසීමිත ලාභයක් කුමණ හෝ පාර්ශවයක් ගන්නේද මෙම තත්වයන් පාරිභෝගික මෙන්ම නිෂ්පාදන මෙන්ම සේවා සපයන ආයතන වෙතද සාධාරණ අයුරින් ගලායාමට සොයාබැලීමට අවශ්‍යතාවය පවතී. සාමාන්‍ය පාරිභෝජන භාණ්ඩ ආනයන මිල ගණන් පාරිභෝගිකයා දැනුවත් නැත,ඒවා අඩු මිලට ගෙනවිත් වැඩිමිලට අලෙවි කිරීමෙන් පසු පසුවිපරම් කිරීමෙන් පලක් නොමැත. පසුගිය කාලසීමාව තුල මේවා පාර්ලිමේන්තුව තුළද විවිධ කාරක සභාවන්තුළ සාකච්චාවට බදුන් විය.ඒ නිසා මෙවර ලෝක ආහාර දින තේමාවට සමගාමීව පාරිභෝගිකයාගේ ආරක්ෂාව, ආහාර මෙන්ම ආහාර නොවන භාණ්ඩ හා සේවාවන් සඳහා විධිමත් පාලනයක් තුළින් ආරක්ෂා කිරීමට සිදුව ඇත. මේ තුළ විධිමත් නීතිරීති පද්ධතියක් තුළින් විශේෂ අවධානයත් යොමුකළ යුතුව ඇත. විශේෂයෙන් ආහාර නොවන ද්‍රව්‍ය මිල තීරණය කිරීම එම සේවා සපයන්නන් විසින්ම මිල තීරණය කළද ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරන නිෂ්පාදකයින් ට තම නිෂ්පාදන සඳහා මිල තීරණය කිරීමට නොහැකිව ඇත. ඒවා අතරමැදි පාර්ෂවයක් විසින් තීරණය කරනු ඇත. ගොවියාගේ වී මිල මෙන්ම පාරිභෝගිකයාට ලබා දෙන සහල් මිල තීරණය ද වෙළෙදුන්ම සිදුකරති. රජය මෙම නිෂ්පාදනයන් වෙළෙඳපොළ දක්වා ලබාදීමට සඳහා විශාල ලෙස යටිතල පහසුකම් ලබාදීම සිදුකරයි.එනම් ජලය,කෘෂිකර්මය,වාරිමාර්ග පද්ධති නඩත්තු කිරීම් පොහොර සහනාධාර,වී මිලදී ගැනීම වැනි වැඩසටහන් සඳහා පුද්ගලික අංශයට සහනදායී ණය ලබාදීම්, බදු රහිත ආනයන වැනි අංශයන් තුළින් විශාල ආයොජනයක් සිදුකරනු ඇත.මේවායේ ප්‍රතිඵල සමාජයේ සෑම අංශයකයට බෙදී යා යුතුව ඇතත් ව්‍යාපාරිකයින් ඇතුළු සමාජයේ සුළු පිරිසක් තුළ පමණක් මේවා බෙදීයන්නේද කියන ගැටළුව වර්තමාන වෙළෙඳපොළ මිල ගණන් හැසිරීම් අධ්‍යනය කිරීමෙන් පෙනී යයි. එළවළු මිලද එසේමය. මේවා සඳහා විධිමත් නියාමනයක අවශ්‍යතාවය පැන නැගී ඇත. විශේෂයෙන් රජයක් ලෙස විශාල වගකීමක් මේ සියළු අංශයන් තුළ පවතී.
ජීවන වියදම පිළිබඳ ජනාධිපතිවරයා මෙන්ම අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම……..
මෙයට වසර කිහිපයකට පෙර පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකාරක සභාව කැබිනට් මණ්ඩලයේ කෘෂිකර්ම,වෙළෙඳ, මෙන්ම මුදල් අමාත්‍යවරයාගෙන් සමන්විත කැබිනට් අමාත්‍යවරුන්ගේ 10 දෙනෙක්ගෙන් සමන්විත සහ අදාල සියළු රාජ්‍ය නිළධාරීන්ගෙන් සමන්විත වූ අතර සෑම සතිදෙකකට වරක් රැස්වෙන මෙම අනුකාරක සභාවේ වාර්තාව ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරයි.ඉන් පසු එම තීරණ කැබිනට් තීරණමෙන් ක්‍රියාත්මක විය.
- මෙම ජීවන වියදම් තත්වයන් පාලනය සඳහා වත්මන් ජනාධිපතිතුමන්ගේ නව ප්‍රවේශය අතිශයින් අගයකළ යුතුය. එවැනි තත්වයක අවශ්‍යතාවය මසක් ඇතුළතම ඔහු හදුනාගන ඇත. එනම් වෙළෙඳපොළ තුළ වසරේ වැඩිම මිල උච්චාවචනයන් සිදුවන අවසන් මාස කිහිපය තුළ මෙම නව රජය පත්ව තිබීම නිසාය.
- විශේෂයෙන් දැනට අසාමාන්‍ය අගයකින් ඉහල ගොස් ඇති පොල් මිල පාලනයට රජය විසින් රජය සතු පොල්වතු සමාගම්වලින් සැලකිය යුතු කොටසක් මෙම කාලසීමව තුළ වෙළෙඳපොළ වෙත නිකුත්කළයුතුවෙනව, දැනට සිදුකරන ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවනු ඇත. ඒසේ නොමැති වුවහොත් කිසිසේත්ම දෙසැම්බර් මස වනවිට ලොකු ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 200 ඉක්මවා යනු ඇත. මෙම තත්වයද හාල් මිල වගේ වෙන්න පුළුවන්, එනම් මිලපහළයයියැයි බියෙන් පවත්නා පොල් තොගවත් වෙළෙඳපොලට නිකුත් නොකරයි, මේ තුළ ඉල්ලුමෙන් ඇතිවන උද්ධමනකාරීතත්වයක් ඇතිවිය හැකිය. ඒ නිසා රජය වෙළෙදපොළට දැනෙන පරිදි සති කිහිපයකට ආසන්න වසරේ අතිරේකව අපනයනය කළ ප්‍රමාණය හෝ මේ වනවිට දේශීය වෙළෙඳපොළට දැනෙන ලෙස මුදාහැරීම කළ යුතුවෙනව, ඩොලර් අවශ්‍ය වෙන්න පුළුවන් ඊටත්වඩා දේශීය වෙළෙඳපොළට පොල් අවශ්‍ය වී අත.
- මන්ද ජීවන වියදම එතරම්ම පහළ සිට ඉහළට 75% ක් පමණ මධ්‍යම පාන්තික පාරිභෝගිකයාට සෘජුවම බලපාන කරුණක් වන බැවිනි. ඒ අනුව මෙම පවතින ගැටළු සඳහා කඩිනම් විසදුම් සූදානම් නොකළහොත් ඉදිරි වසර තුළද මෙම කාලසීමාව තුළ දී මෙම පොල්,බිත්තර,සහල් මෙන්ම මෙම නොවැම්බර් මස 15 න් පසු ජනවාරි 20 දක්වා එළබෙන කාලසීමාව තුළඑළවළු මිල ඉහළයාමේ ප්‍රශ්නයට ද මෙම අයුරින්ම මුහුණ දීමට සිදුවනු ඇත.
- එසේම මේවනවිට දේශීය ලොකුළුණු අස්වැන්න වෙළෙඳපොට 95% ක් පමණම සපයා අවසන් බැවින් ලොකුළුණු ආනයන බද්ධ ඉවත් කිරීම හෝ සැලකිය යතු ලෙස කිලෝවක් සඳහා දැනට ආනයනයේදී ගෙවිය යුතු රුපියල් 30.00 ක මුදල ඉවත් කළයුතු වෙනව,නැවත ලොකුළුණු දේශීය අස්වැන්නක් ලබන වසරේ අගෝස්තු දක්වා නොමැත. එවිට දැනට සිල්ලර වෙඳෙපොල තුළ ලොකුළුණු මෙන්ම රතුළුණු ද කිලෝවක් රුපියල් 350.00- 400.00 දක්වා පවතින අතර දෙසැම්බර් වනවිට එළවළු මිල ද ඉහළයාම ආරම්භ වන බැවින් දැනට ආනයනික අර්තාපල් සඳහා පවතින කිලෝවක් සඳහා වන රුපියල් 60.00 ක බද්ද අවම මාස දෙකකට වත් ඉවත් කිරීම හෝ සැලකිය යුතු ලෙස අඩුකිරීමක් කළයුතුව පවතිනව, මන්ද පාරිභෝගිකයාට එළවළු සඳහා ආදේශක ලෙස පරිප්පු, අර්තාපල් ,ලොකුළුණු,කඩල පරිප්පු, මුංඇට වැනි වර්ග පැවතිය යුතුයි. මන්ද එළබෙන ජනවාරි 25 වන තෙක් මෙම ඇතිවය හැකි මිල ඉහළයාමේ තත්වයන් පාලනය ට කටයුතුකළ යුතුව ඇත.
- තවද මෙම සහල් වෙළෙඳපොළ තුළ ප්‍රමාණවත් තොරතුරු නොමැති බැවින් සඳහා සෑම මසකම අවසන් දිනට හෝ කුමන හෝ දිනකට රටේ වී නිෂ්පාදනයෙන් 80% ක් ලැබෙන නිෂ්පාදන දිස්ත්‍රික්කයන්හි පමණක් හෝ තොග තත්වයන් ලබා ගැනීමට විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය පවතී. මේ තත්වය මේ වනවිටම රාජය නායකයා අවබෝධකරගෙන තිබේ.
- රාජ්‍ය අංශයෙන් සහනදායී ණය ලබාදීම් වැනි සුළු හා මධ්‍ය පරිමාණ අංශයන් සඳහා සහන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී රජය නියාමනයකින් යුතුව මෙම සත්‍ය තොරතුරු ලබා ගැනීමට ක්‍රමවේදයකට යටත්ව එළබෙන කන්නයේ සිට මෙම ණය ලබාදීම් වැනි ක්‍රියාමාර්ග අනුගමනය කළයුතුව ඇත. සියළුම වී තොග රුස්කරන්නන්ගේ දත්ත හා තොරතුරු ලබාගැනීමේ ඩිජිටල් ක්‍රමවේදයකට යා යුතුව තිබේ.
- විශේෂයෙන් රාජ්‍ය හා පුද්ගලික් බැංකුවලින් ලබාදෙන ණය ප්‍රමාණයන් තුළින් සැලකිය යුතු තොග ප්‍රමාණයක් ආවරණය කර ගතහැකි වනු ඇත. ඒ තුළ රටේ ඉදිරි මාස කිහිපයක් සඳහා පවතින නිෂ්පාදන ගබඩාකර ඇති ප්‍රමාණයන් පිළිබඳ අවබෝධකරගෙන ඉදිරියේදී ඇතිවය හැකි මිල උච්චාවචනයන් පිළිබඳ තීරණ ගැනීමට පහසු වේ.
මේ සියළු තත්වයන් භාරව කටයුතු කිරීමට විධිමත් නියාමනයකට යුතුව ජීවන වියදම පාලනය කිරීම ඉලක්කකරගෙන පාරිභෝගික ආරක්ෂණ අධිකාරියක් ඇතිකළ යුතුය. ඒ මගින් සති දෙකකට වරක් රටේ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට ඉදිරි ආහාර තත්වයන් පිළිබඳ පැහැදිලි වාර්තාවක් ලබා දිය යුතුය. ඒ විස්තරාත්මක ඉදිරිපත්කිරීම ආහාර වෙළෙඳපොළ තුළ පැවති තත්වයන් මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි දේශීය මෙන්ම ආනයනික ආහාර තත්වයන් පිලිබඳ විශ්ලේෂණාත්මක විවරණයක් ලබාදිය යුතුය. එනම් අර්බුධයක් ඇතිවීමට පෙර පෙන්වාදීම මෙම අධිකාරියේ කාර්යභාරය විය යුතුය. ඒ තුළ ආහාර මෙන්ම ආහාර නොවන ද්‍රව්‍යයන්ද සැලකිල්ලට ගතයුතුය. ඒ සඳහා පවතින නීතිරීති ප්‍රමාණවත් නොමැතිනම් පාර්ලිමේන්තු පනතකින් හෝ බලය ලබාගෙන කළයුතුව ඇත.එනම් රටේ ජනතාවගේ ජීවන වියදම එතරම්ම වැදගත් සාධකයකි. එවිට මෙවැනි ප්‍රශ්න ඇතිවනවිට රටේ ජනාධිපතිවරයාට විවිධ පාර්ශවයන් කැදවා සාකච්චා කළයුතු නොවනු ඇත.මන්ද ප්‍රශ්න කලින් හදුනාගෙන ඒවාට විධිමත් ක්‍රියාමාර්ග ගැනීම එම අධිකාරිය සතු වගකීමක් වන බැවිනි. වර්තමාන ආර්ථීකය තුළ රජයන්ට ව්‍යාපාරික අරමුණකින් යුතුව කටයුතුකර ලාභ ලැබිය නොහැකිය. එසේ අලාභ ලැබීමට ව්‍යාපාර කළයුතු නොවේ. සමස්ථ ආර්ථිකයටම බලපාන කරුණු බැවින් රජය මෙවම අංශයන් ආහාර ආරක්ෂණ අධිකාරියක් හරහා නියාමනය කළයුතුව ඇත. සහල් ප්‍රශ්නය ඇතිවීම සැම වසරකම අවසන් මාස කිහිපය තුළ සිදුවන කරුණක් බැවින් ඒ සඳහා අවම වශයෙන් වී මෙ.ටො. ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් පැවතීම හොදටම ප්‍රමාණවත්ය. මන්ද රජය සතුව මෙවන් තොගයක් පැවතීමම මිල ඉහළ නොයාමට හේතුවක් වන බැවිනි. වාර්ෂික වී නිෂ්පාදනයෙන් 65 % ක්ම අපගේ ප්‍රධානතම කන්නය වන මහ කන්නය තුලින් ලැබීමත් ඉතිරි 35% යල කන්නයෙන් ලැබීමත් මත වසරේ අවසන් මාස කිහිපය තුළ ගබඩාකර ඇති වී තොග වෙළෙඳපොළට මුදා හැරීමත් නිසා මෙම සහල් මිල ඉහළයාම සෑම වසරකම මෙම කාලසීමාව තුල සිදුවේ. එය සාමාන්‍ය තත්වයකි. ගැටලුව කලින් දන්නා බැවින් පෙර සූදානමින් සිටීම තුළ මෙම ප්‍රධාන ආහාරය වන බත පිළිබඳ ගැටලුවට විසදුම් ලබා ගත හැකිවනු ඇත.
ජීවන වියදමට දේශීය ආර්ථික හැසිරීම් රටාවන් ආශ්‍රිත තත්වයන් පමණක් බලපාන්නේද?
කිසිසේත්ම නොමැත .අප අද ගොලීය තත්වත් සමග සෘජුවම බද්ධ වී ඇත.විශේෂයෙන් මෙම දේශීය තත්වයන් යම් පාලනයකින් යුතුව සිදුවීමේ අවශ්‍යතාවය ඉදිරියේදී ලෝක ආර්ථිකය තුළද ඇතිවිය හැකි ආර්ථිකමය තත්වයන් පිළිබඳ අධ්‍යනය කිරිමේදිමෙම වැදගත්කම මනාව පසක් වේ.
- මැදපෙරදිග දිනෙන් දින වර්ධනය වන යුධමය තත්වයන් ඉන්ධන මිලට මෙන්ම පුහුදු ගමනාගමනයට සිදුකරන බලපෑම
- ඇමරිකානු ජනාධිපතිවරණය,
- ලෝකයේ දිනෙන් දින ඇතිවන කාලගුණික දේශගුණික විපර්යාසයන්,
- ලෝක ආහාර අනාරක්ෂිතතාවය ඉහළයාම
- දේශීය වශයෙන් අපනයන ආදායම ඉහළ නංවා ගැනීමේ අභියෝග
- ආනයන පාලනය සීමා කරගැනීමේ අභියෝග
- ආනයන මිල ම්ට්ටම්වල දිනෙන්දින ඇතිවන උච්චාවචනයන්.
- දේශීයව පැවති ආර්ථික අර්බුධයන් ක්‍රමයෙන් පහව ගියද නැවත ඇතිවීමේ අවධානම
- මැතිවරණ කාලසටහන ආර්ථිකයට සිදුකරන බලපෑම
මෙම සියළුම අභියෝග සෘජුවම ප්‍රද්ගලයෙක්ගේ තම පවුල් කුටුම්භය තුළ ජීවන වියදම ඉහළයාමට බලපාන අතර මෙම වියදම් වලට සාපේක්ෂවආදායම් හෝ වැටුප් ගැලපීමේ අවශ්‍යතාවය පැන නගින අතර එසේ ගැලපීමේ ක්‍රමවේදයක්නොමැතිවීම මත ජීවන වියදම ඉහළයාමට බලපානු ඇත.
පුද්ගලයෙකුගේ මාසික වියදමින් 35% ක සාමාන්‍යයක් ආහාර ද්‍රව්‍ය සඳහා වියදම්වන බව පැවසුවද මෙය නාගරික සහ වතු ආහ්‍රිතව 50% දක්වා ඉහළ අගයක පවතී.මෙම ආහාර ද්‍රව්‍යයන් සඳහා වන වියදමින් 13% ක් පමණ සහල් සඳහා වියදම් වන අතර එළවළු කුළුබඩු මෙන්ම මාළු සඳහා 10% බැගින් වැය කරනු ලබන අතර මෙම බොහොමයක් වර්ග සඳහා මිල මට්ටම් කාලීන වශයෙන් ඉහළ පහළ ගියද ආහාර නොවන ද්‍රව්‍යයන්ගේ මිල මට්ටම් ඉහළයාම් නැවත පහළයාමක් සිදු නොවේ. එනම් එළවළු.සහල් මාළු වැනි ද්‍රව්‍යයන් අස්වනු කාලයට මිල පහලයාම් සිදුවෙන අතර විශේෂත්වයනම් මෙම ආහාර ද්‍රව්‍යයන්ගෙන් ජීවන වියදමට සිදුකරන බලපෑමට වඩා වැඩි බලපෑමක් ආහාර හොවන ද්‍රව්‍යයන්ගෙන් සිදුවීමයි. මේවා පාලනය කළ හැකි සහ කළ නොහැකි තත්වන් තුල පවතී. ඒ අනුව ලෝක ආහාර අභියෝග මෙන්ම දේශීයව නියාමන අධිකාරියක් තුළින් ලගාකරගතයුතු අභියෝගද පවතින බව මේ තුළින් පසක් වේ. මන්ද ආර්ථිකයද ඉදිරි කාලසීමාව තුළ ඉතාමත්ම අභියෝගාත්මක ගමනක යා යුතුව ඇත. මැතිවරණ කිහිපයක් සමග පොරොන්දු ඉටුකිරීම්, දේශීය නිෂ්පාදන ඉහළ නැංවීම්, අපනයන නංවා ගැනීම් සමග ජීවන අරගලය තුළ අභියෝග රැසක් පවතී. මේවා දෛනිකව සොයාබැලීම් සිදුකළයුතු තත්වයක පවතී. ආනයන කරනු ලබන මිලේ සිට පාරිභෝගිකයා දක්වා යන මිල ගණන් පිළිබඳ සොයා බැලිය යුතුව ඇත. මන්දයත් පසුගිය කාලසීමාවන් තුළ විවිධ අසාමාන්‍ය ලාභයන් සීමිත පාර්ශවයක් ගැනීම් වාර්තා විය. මේවා සිදුවන්නට දී සොයා බලා වැඩක් නැත. සිදුවීමට පෙර විධිමත්ව ක්‍රමවේදයන් මගින් නියාමනය කළයුතුව ඇත. ඒ් නිසා මෙම තත්වටන් පාලනය වීම තුළ ආර්ථික අභියෝගයන් බොහොමයක් ඒ තළ පාලනය වනු ඇත.