පාතාලය මර්දනය කරන්නේ කොහොමද ? ආරක්ෂ අංශ ප්‍රධානීන්ට ජනපතිගෙන් කළ විශේෂ ඉල්ලීම

Spread the love

පාතාලය මර්දනය කිරීමට නම් පාතාලය මර්දනය කිරීමට කටයුතු කළ ආරක්ෂක අංශ සමාජිකයින්ට එරෙහිව පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩු ඉවත් කර ගන්නා ලෙස ආරක්ෂක අංශ ප්‍රධානීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

මේ බව අනාවරණය වූයේ පසුගිය සතියේ ජාතික ආරක්‍ෂක කවුන්සිලය රැස් වූ අවස්ථාවේදීය. එහිදී රටේ හිස ඔසවන පාතාලය මර්දනය කිරීමට ඇති ප්‍රායෝගික ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇත. මෙම සාකච්ඡාවේදී ආරක්ෂ අංශ ප්‍රධානීන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ පාතාලය මර්දනය කිරීමට කටයුතු කළ ආරක්ෂක අංශ සමාජිකයින්ට එරෙහිව පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩු හේතුවෙන් එකී නිලධාරීන් බරපතළ අගතියකට පත්ව ඇති බවයි.

මෙම හමුවේදී STF අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පෙන්වා දී ඇත්තේ මානව හිමිකම් කඩ කළ බවට චෝදනා කරමින් පාතාලය මර්දනයට කැප වූ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට එරෙහිව දැනටමත් නඩු 17ක් විභාග වෙමින් පවතින බවයි.

ඇතැම් නිලධාරීන් පාතාල මර්දන මෙහෙයුම්වලින් ඉවත්ව ඇත්තේ අධිකරණයේ නඩු ප්‍රමාද වීම නිසා බව ද ආරක්ෂ අංශ ප්‍රධානීන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත. එවැනි නිලධාරීන්ට අපරාධකරුවන් ගොනු කරන නඩු සඳහා තමන්ගේ වියදමින් නීතිඥයන් සොයා ගැනීමට සිදුවී ඇති බව ද ඔවුන් ජනපතිවරයාට පෙන්වා දී ඇත.

ඒ අනුව හිස ඔසවමින් පවතින පාතාලය මැඩලීම සඳහා වහාම ඒ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ආරක්ෂක අංශ ප්‍රධානීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දෙන බවට නීතිපතිවරයා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට සහතික වූ බව ද වාර්තා වේ.

Related Posts