පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුයි – පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

Spread the love

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුය යන්න, මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ පොදු මතය බව එහි සභාපති,සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පස්වරුවේ (22) පැවසීය.

එම මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා   ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවද  සභාපතිවරයා සඳහන් කළේය.

“අපේ ජනබල පක්ෂය” පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඊයේ සාක්ෂි දුන් අතර, එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමියන්  පැවැසුවේ දැනට පවතින මනාප ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ඉතා යෝග්‍ය බවයි. කොට්ඨාසයකට වගකියන මන්ත්‍රීවරයකු සිටීමේ අවශ්‍යතාවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

සුළු ජාතික පක්ෂවල නියෝජනය සහතික කළ යුතු බවත්, මතවාදය අනුව දේශපාලනය සිදුකරන සංස්කෘතියක් රටේ නිර්මාණය විය යුතු බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ එහිදී පැවසූහ.

මැතිවරණ වියදම් පාලනයට අදාළව නිර්ණායක සැකසිය යුතු බවත්, දේශපාලන පක්ෂවලට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම හඳුන්වා දිය යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් වැඩිදුරටත් සඳහන් කළහ.

“සමගි ජන බලවේගය” වෙනුවෙන් කාරක සභාවේදී සාක්ෂි දුන් එම පක්ෂයේ ප්‍රධාන විධායක, හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පාර්ලිමේන්තුවේ බලය වෙනත් පාර්ශ්ව වෙත ලබා දී ඇති බවයි. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන අංශ අතර සංවරණ හා තුලන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙනුවෙන් චර්‍යා ධර්ම පද්ධතියක් පවතින බවත්, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බවත් අජිත් පී.පෙරේරා මහතා කාරක සභාවේදී පැවසීය.පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරයන් වෙනුවෙන්ද චර්‍යා ධර්ම පද්ධතියක් සැකසීමේ අවශ්‍යතාව ඔහු කාරක සභාවේදී මතු කළේය.

මැතිවරණවලට අදාළ සියලු ප්‍රතිසංස්කරණ තුළදි ජන්ද බලය ජනතාවගේ ස්වෛරීභාවයේ අංගයක් ලෙස තහවුරු විය යුතු බවත්, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම එහිදී සහතික විය යුතු බවත් හෙතෙම කීවේය.

සියලු මැතිවරණ නිදහස් හා සාධාරණව පැවැත්වීම අතිශය වැදගත් බවද ඔහු සඳහන් කළේය. පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පැවැත්විය යුතු බව ඔහු කාරක සභාවේදී අවධාරණය කළේය.

මැතිවරණ ප්‍රචාරනයේ මූල්‍ය වියදම් නියාමනය සඳහා නව නීති සම්පාදනය විය යුතු බවත්, තරුණ හා කාන්තා නියෝජනය සහතික කළ යුතු බවත් හෙතෙම කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

මැතිවරණ සඳහා තරඟ කිරීමට ද්විත්ව පුරවැසි බව නුසුදුසුකමක් විය යුතු බවටත්, සුදුසුකම් ලත් සියලුම ජන්ද දායකයන් නිසි ලෙස ලියාපදිංචි කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසිය යුතු බවටත් අජිත් පී.පෙරේරා මහතා කාරක සභාවේදී යෝජනා කළේය.

මැතිවරණවලට තරඟ කරන පාර්ශ්වයන් අතර, රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ගුවන් කාලය  සමාන ලෙස බෙදී යාමේ අවශ්‍යතාවද සමගි ජන බලවේගය මෙහිදී මතු කළේය.

රටතුළ මැතිවරණ කාල සටහනක් පැවැතිය යුතු බවත්, එමඟින් ජනතාවගේ ජන්ද අයිතිය තහවුරු කළ යුතු බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

මෙම කාරක සභාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්දා, විමල් වීරවංශ, එම්.යූ.එම්.අලි සබ්‍රි යන මහත්වරුද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක,  රංජිත් මද්දුම බණ්ඩාර,එම්.ඒ සුමන්තිරන්, රවුෆ් හකීම්,මනෝ ගනේෂන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මහත්වරුද සභභාගි වූහ.

සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරිහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීම්  ලබන 29 වැනිදා පැවැත්වෙන බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසන්නීය.

Related Posts