පක්ෂ දේශපාලනය නිසා රට බෙදුනා – ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමි

Spread the love

රට වෙනුවෙන් අත දුන්නත් ආණ්ඩුව අතහරිනවා – තිස්ස අත්තනායක

පක්ෂ දේශපාලනය නිසා මේ රටේ ජනතාව විවිධාකාරයෙන් කැඩී විසිරී ගොස් රට  බරපතළ අනතුරකට ලක්වී ඇති බව සියම් මහා නිකායේ රංගිරි දඹුළු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ අද (12) දින පෙරවරුවේ පැවසූහ.

ජාතික සමගි ජනබල බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද දඹුල්ල ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන වලට ගොස් එහි වැඩ සිටින නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බැහැදැක තම පක්ෂයේ ඉදිරි අරමුණු පිළිබඳව  පැහැදිලි කිරීමේ අවස්ථාව දී නාහිමියෝ තිස්ස අත්තනායක මහතා හමුවී මේ බව අවධාරණය කළහ.

රංගිරි දඹුල්ල උයන්වත්ත රජමහා විහාරස්ථානයේ වැඩ සිටින සියම් මහා නිකායේ රංගිරි දඹුලු රජ මහා විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහ නාහිමියෝ බැහැදැක තම පක්ෂයේ මගින් අතීතයේ මහා සංඝ සඟරුවන අමතක කොට තිබුණු බවක් හැඟී ගිය නිසා නැවත එම මිතුරුකම  ඇති කර ගැනීම සඳහා පැමිණි බව තිස්ස අත්තනායක මහතා නාහිමියන්ට පැවසීය.

ඉනාමළුවේ  ශ්‍රී සුමංගල මහා නා හිමියන් කියා සිටියේ අතීතයේ සුදු පාලනය සමයේ අපට හිමිකර දුන් කෝල්බෘක් – සෝල්බරි කොමිසම් මගින්  රටේ ජනතාව පාලකයාට  පාලනය සඳහා අවශ්‍ය පරිදි භේද බින්න කිරීම සඳහා අවස්ථාව සකසා දුන් බවයි. ඒ අනුව පළාත් වශයෙන්, වර්ග වශයෙන්, ජාති වශයෙන්, මෙන්ම දේශපාලන පක්ෂ වශයෙන් ශ්‍රී ලාංකිකයින් බෙදී වෙන් වී තිබෙන බවද මේ වනවිට දේශපාලන පක්ෂ සියයකට වඩා වැඩි ප්‍රමාණයක් රටේ ක්‍රියාත්මක වන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙම හේතුව නිසා  රට බරපතළ අර්බුදයකට මුහුණ පාමින් පවතින බවත්  ඉන් මිදීම සඳහා තවමත් ක්‍රමවේදයක් රටට නොමැති වී ඇත්තේ  පක්ෂ දේශපාලන ක්‍රමය නිසා බව ද උන් වහන්සේ අවධාරණය කළහ.

එමෙන්ම  උගත් බුද්ධිමත් මහා සඟරුවන මේ බව අවබෝධ කරගෙන සිටින බවත් කතෝලික පල්ලිය  පවා  මේ අවබෝධයෙන් ෙසිටින බවද උන්වහන්සේ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට පැවසූහ.

මහ නාහිමියන් බැහැදැක එළියට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් තිස්ස අත්තනායක මහතාට ප්‍රශ්න කිහිපයක් යොමු කරමින් විමසා සිටියියේ සෑම දේශපාලන පක්ෂයක්ම බලයට එන්නට පෙර බලය ලබා ගැනීම සඳහා උත්සාහ දරන බවත් බලය ලැබුණු විගස බලයේ රැඳී සිටීමට උත්සාහ දරන මුත් ජනතාවගේ   හා රටේ  ගැටලුවලට විසඳුම් සෙවීමත් සිදු නොවන බවය. ඒ පිළිබඳව ඔබගේ අදහස කුමක්දැයි මාධ්‍යවේදීහු තිස්ස අත්තනායක මහතාගෙන් ප්‍රශ්න කළහ.

තිස්ස අත්තනායක මහතා කියා සිටියේ අතීතයේ සිට මෙරටට ජාතිකක ප්‍රතිපත්තියක් නොමැති  නිසා මෙම බරපතළ ප්‍රශ්නය පවතින බවය. බලයට පත්වූ බොහෝ දේශපාලන නායකයන්ට එවැනි ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සඳහා අවස්ථාව උදා වුවද එකම කණ්ඩායමක්  හෝ එවැනි ජාතික ප්‍රතිපත්තියකට නොගිය බව හෙතෙම පිළිගන්නා බවද සඳහන් කළේය.

බොහෝ  දේශපාලනඥයින් රට ගැන සිතා වැඩ කරනවා යැයි කියන කතාව  අමූලික බොරුවක් බවත් මේ වන විට ඔවුන් තම පක්ෂ  දේශපාලනය ගැන සිතා කටයුතු කරන බවද ද අත්තනායක මහතා පෙන්වා දුන්නේය.

රට ගැන සිතා වැඩ කරනවා නම් පළමුව මෙරට නායකයන්ගේ ආකල්ප වෙනසක් ඇති කළ යුතු බවත් එසේම බලයේ සිටින අය බලය  රැක ගැනීමටත් බලය  නොමැති අය බලය  ලබා  ලබාගැනීමටත් ක්‍රියාකරනු මිස රට දියුණු කළ හැකි ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සඳහා සියලු දෙනා ඒකරාශී වී කටයුතු නොකරන බව ද තිස්ස අත්තනායක මහතා පෙන්වා දුන්නේය.

රටේ වර්තමානයේ පවතින කොවිඩ් වසංගතය, ඩොලර් අර්බුදය හා ආර්ථික අර්බුදය හමුවේ විපක්ෂයේ සහාය ලබාදීමට කැමැත්ත පළ කර තිබුණ ද රජය ඒ පිළිබඳව අවධානය යොමු නොකර සිටින බව කී අත්තනායක මහතා රජය විපක්ෂය සමග ඒකරාශී වී රට මේ අවස්ථාවේ ගොඩනැගීමට ඒකරාශී වී කටයුතු කරන්නේ නම් තම පක්ෂයේ සහයෝගය ලබා දීමට කැමැත්තෙන් පසුවන බවද පැවසීය.

මේ අවස්ථාවට  ජාතික සමගි ජනබලවේගයේ දඹුල්ල ආසන සංවිධායක යු.ආර්. දයා නන්දසිරි සහ හිටපු පළාත් සභා මන්ත්‍රී තිස්ස  බණ්ඩාර  හේරත් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

Related Posts