නයෝමි ක්ලයින්ගේ ‘වසංගත කම්පන ධර්මතාව ගැන ආවර්ජනා’

(E-International Relations වෙබ් සඟරාවේ 2020 සැප්තැම්බර් 15 දින පළවූ “Reflections on Naomi Klein’s Pandemic Shock Doctrine” නමැති ලිපියේ සිංහල පරිවර්තනය. මුල් ලිපිය සඳහා ලින්කුව: https://www.e-ir.info/2020/09/15/reflections-on-naomi-kleins-pandemic-shock-doctrine/).   

නයෝමි ක්ලයින් 2020 වසරේදී ලියූ “තිරමය නව ගණුදෙණුව” පිළිබඳ ඇයගේ ලිපියෙන් ෆේස්බුක්, ගූගල් සහ ඇමසෝන් වැනි දැවැන්ත තාක්ෂණික සමාගම් කොවිඩ්-19 ට එරෙහි ගෝලීය සටන තුළ ඉටු කරන්නා වූ භූමිකාව ගැන විවේචනාත්මකව සිතන්නට අපව පොළඹවයි. දැවැන්ත තාක්ෂණය දෙසට වූ හැරවුම විසින් සංඥා කෙරෙනුයේ ගෝලීය සෞඛ්‍ය අර්බුධයට තාක්ෂණික විසඳුම් ලබාදීමක් වනවාට වඩා ‘වසංගත කම්පන ධර්මතාවක’ පැන නැගීමකි. ඒ වනාහී අපගේ සෑම හැසිරීමක්ම ලුහු බඳින්නා වූත්, සලකුණු කරගන්නා වූත්, ඒවා ගැන තොරතුරු ගබඩා කරගන්නා වූත් පුද්ගලික හිමිකාරත්වයක් සහිත ඩිජිටල් සෝදිසිකරණ යාන්ත්‍රණයන් නිර්මාණය කිරීමේ ප්‍රතිපලයකි.

එකිනෙකට වෙනස් යැයි පෙනෙන සංසිද්ධීන් සාර්ථක ලෙස පෙරා බලන ක්ලයින්ගේ ලිපිය, දැවැන්ත සමාගම් අපගේ සමකාලීන සමාජයන් නැවත හැඩ ගස්වමින් සිටින්නේ කෙසේද යන්න තැති ගන්වන ලෙස හෙළිදරව් කරයි. එනමුත්, ඇය ඇතැම්විට ඇයගේ වඩාත්ම වැදගත් නිරීක්ෂණයෙහි සමාජ සහ දේශපාලනික පල විපාක මොනවාදැයි පරිපූර්ණව වර්ධනය කොට දක්වන්නට අසමත් වේ. එම නිරීක්ෂණය නම්, “ෆේස්බුක්, ගූගල් සහ ඇමසෝන් විසින් ප්‍රවර්ධනය කරනු ලබන නිෂ්පාදන මාදිලිය ‘කෘතීම බුද්ධිය’ මගින් ක්‍රියාත්මක කෙරෙන බවක් පවසනු ලැබූවද, ඒවා සැබවින්ම පවත්වාගෙන යනු ලබන්නේ ගබඩා කාමර තුළ, දත්ත මධ්‍යස්ථාන තුළ, (පරිගණක) අඩංගු සකසන කම්හල් තුළ, ඉලෙක්ට්‍රොනික වැඩපළවල් තුළ, ලිතියම් පතල් තුළ, කාර්මික කම්හල් තුළ, මාංස සැකසුම් මධ්‍යස්ථාන තුළ සහ බන්ධනාගාර තුළ සඟවා දමනු ලැබූ මිලියන ගණනක නිර්නාමික කම්කරුවන් මගින්ය යන්නත් ඒ තැන්වලදී ඔවුන් රෝගවලට සහ අධි-සූරාකෑමට අනාරක්ෂිතව නිරාවරණය කොට තිබේය යන්නත්ය.”                                   

මෙම ලිපියේ අරමුණ වන්නේ ක්ලයින්ගේ තර්කය මත පදනම් වෙමින් සහ එය පුළුල් කරමින් ඩිජිටල් ධනවාදයේ ප්‍රභවයෙහි සහ ව්‍යාප්තියෙහි සමස්ත මානවීය පල විපාක හෙළිදරව් කිරීමය. එය ආරම්භ වන්නේ නයෝමි ක්ලයින්ගේ ලිපියේ සාරාංශයකිනි. ඒ එහි ප්‍රධාන තර්ක අවධාරණය කරමිනි. ඉන්පසුව, මම ක්ලයින්ගේ ලිපිය සෝදිසි ධනවාදය පිළිබඳ ෂොෂානා සුබොෆ්ගේ ලියවිලි හා සසඳමින් සාකච්ජාවට ලක් කරන්නේ එම දෙදෙනාම ඩිජිටල් ධනවාදයේ ජීව-දේශපාලනික හැරවුම අවශ්‍යයෙන්ම විවේචනයට ලක් කරන්නේ කෙසේදැයි පෙන්වා දෙමින්ය. අවසානයේදී මම ඩිජිටල් ධනවාදය පිළිබඳ එවන් ජීව-දේශපාලනික විශ්ලේෂණවලට කෙරෙන එකතු කිරීමක් ලෙස ඇචීල් ම්බෙම්බේගේ මරණ-දේශපාලනය පිළිබඳ සංකල්පය මතු කර ගනිමි. ඒ ඩිජිටල් ධනවාදී නිෂ්පාදන මාදිලියේ භෞතික පදනම් නිර්මාණය කරන්නා වූ නුපුහුණු කම්කරුවන් අනාරක්ෂිතව සූරාකෑමට හැර තිබෙන දුර බැහැර ‘මරණයේ කලාප’ වෙත අවධානය යොමු කරමින්ය. 

ගූගල්, නෙට්ෆ්ලික්ස්, ෆේස්බුක්. මේ කොරෝනා වසංගතය අතරතුරදී අපට නිවසේ සිට වැඩ කරන්නට හෝ විනෝද වන්නට සලස්වන නිපැයුම් සිදු කරන්නා වූ තාක්ෂණ සමාගම්ය. ඒවායෙහි ජනප්‍රියත්වයේ රහස ඉතාම සරලය. ස්ටීයර් ටෙක් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වන අනුජ සොනල්කර් පවසන පරිදි, “මානවයන් ජීව-උවදුරුවලින් යුක්තය; නමුත්, යන්ත්‍ර එසේ නොවේ” (ක්ලයින්, 2020). මෙහි ප්‍රතිපලයක් ලෙස, ගූගල්, ෆේස්බුක් සහ මයික්‍රොසොෆ්ට් වැනි තාක්ෂණ සමාගම්වලට “මහජන සෞඛ්‍යයෙහි ත්‍යාගශීලී ආරක්ෂකයින් ලෙසත් ‘දෛනික වීරයින්’ වන අත්‍යවශ්‍ය ශ්‍රමිකයන්ගේ උදාරතර සූරයින් ලෙසත් තමන්ව ස්ථානගත කර ගන්නට කොවිඩ්-19 වසංගතය විසින් ඉඩ සලසනු ලැබ තිබේ (එම).   

නමුත්, ක්ලයින්ට අනුව, මෙම සමාගම්වල කාර්යය වන්නේ අපගේ ජීවිත උසස් තලයකට ගෙන ඒම පමණක් නොවේ. ඒවා දැන් ප්‍රභවය ලබමින් පවතින ආපදා ධනවාදී ආකෘතියකට මග පෙන්වන්නන්ද වේ. ඒ තුළ කොවිඩ්-19 වසංගතය දකිනු ලබන්නේ දැවැන්ත තාක්ෂණයේ සමාජයීය, සංස්කෘතිකමය සහ දේශපාලනික බලපෑම තහවුරු කිරීමටත් ව්‍යාප්ත කිරීමටත් ශපථ කරන “සමාජ කම්පන ප්‍රතිකාරයක” රාමුවක් ලෙසිනි. ක්ලයින් “වසංගත කම්පන ධර්මතාව” ලෙස හඳුන්වන්නේ මෙයයි.

මෙසේ ප්‍රභවය ලබමින් පවතින ධර්මතාවේ කේන්ද්‍රයේම පවතින්නේ “රාජ්‍යය සිලිකන් නිම්නයේ (තාක්ෂණ) දැවැන්තයන් කිහිපදෙනෙකු සමග අදෘෂ්‍යමාන ලෙස ඒකාබද්ධ කිරීම යැයි ක්ලයින් තර්ක කරයි; ඒ සමගම රජයේ පාසැල්, රෝහල්, වෛද්‍ය කාර්යාල, පොලීසිය සහ හමුදාව යන සියල්ලේම කේන්ද්‍රීය කටයුතු රැසක් ඉහළ මිළකට පුද්ගලික තාක්ෂණ සමාගම්වලට පැවරනු ලැබේ (ක්ලයින් 2020). මෙය අභියෝගයට ලක් කරනු නොලැබුවහොත්, ඇතැම් විට වඩාත්ම දොම්නස් සහගත ලෙස, වසංගත කම්පන ධර්මතාවේ පැන නැගීමේ ප්‍රතිපලය වනු ඇත්තේ “රාජ්‍යය සහ තාක්ෂණ දැවැන්තයින් අතර ගොඩ නැගෙන පෙර නොවූ විරූ ඒකාබද්ධතාවක් මගින් අපගේ සෑම හැසිරීමක්ම, අපගේ සෑම වචනයක්ම අපගේ සෑම සම්බන්ධයක්ම ලුහු බැඳ යා හැකි වූත්, සටහන් කරගත හැකි වූත්, ඒ ගැන තොරතුරු සොයා ගත හැකි වූත් ඩිස්තෝපියානු අනාගතය යථාර්තයක් බවට පත් වීමයි.” 

සමස්තයක් වශයෙන් ගත් කල, ක්ලයින් නිර්වචනය කරන පරිදි වසංගත කම්පන ධර්මතාව, ‘සෝදිසි ධනවාදය’ යැයි කියනු ලබන (සුබොෆ් 2015, සුබොෆ් 2018 ද බලන්න) වේගයෙන් ආධිපත්‍යයික වෙමින් පවතින (ප්‍රාග්ධන) සමුච්චන තර්කණයේ දිගුවක් ලෙස වටහාගත හැකිය. ශොශානා සුබෝෆ්ට  අනුව,සෝදිසි ධනවාදය වනාහී (ප්‍රාග්ධන) සමුච්චනය පිළිබඳ සුවිශේෂී ඩිජිටල් ධනවාදී ආකෘතියක් වේ; මන්ද යත්, එය රඳා පවතින්නේ විශාල පරිමාණයෙන් ඩිජිටල් දත්ත ස්වයංක්‍රීයව ඒකරාශී කිරීම සහ ඉලක්කගත වෙළඳ දැන්වීම් රටාවන් ඔස්සේ මිනිසුන්ගේ පරිභෝජනයන් පුරෝකථනය කිරීම සහ නවීකරණය කිරීම මතය. සුබෝෆ්ට අනුව, ඩිජිටල් ධනවාදීන් විසින් යොදා ගනු ලබන බලයේ සහ අධිකාරීත්වයේ ආකෘතීන් සරලව පුද්ගලයින් පාරිභෝගිකයින් ලෙස හෝ පුරවැසියන් ලෙස මෙහෙයවීමටත් පාලනය කිරීමටත් ඔවුනට තිබෙන හැකියාව ලෙස තේරුම් කළ නොහැකිය. 

ෆූකෝ විසින් විස්තර කරනු ලබන නූතන සමාජවල ‘පැනොප්ටික්’ ආකෘතිය පවා දැන් නොසෑහේ; මන්ද යත්, ‘පැනොප්ටිකය’ යනු තනි නිරීක්ෂණ ස්ථානයකට මුල් තැන දුන් භෞතික සැලැස්මකි (සුබෝෆ් 2015: 82). (පරිවර්තක සටහන: මිචෙල් ෆූකෝගේ අවධානයට ලක් වන ‘පැනොප්ටිකය’ යනු 18 වන සියවසේදී ජෙරමි බෙන්තම් විසින් යෝජනා කරන ලද බන්ධනාගාර ආකෘතියකි. එම ආකෘතිය අනුව බන්ධනාගාරයේ මැද පිහිටි කුළුණක මුදුන් කාමරය තුළ සිට සෑම සිර කුටියක්ම නිරීක්ෂණය කළ හැකිය).

දශක ගණනාවක් තිස්සේ වැඩපළවල් සහ රාජ්‍ය ආයතන තුළ පවත්නා බල සබඳතාවල  ස්වරූපය පෙන්නුම් කිරීමට උචිත රූපිකය වූයේ ‘පැනොප්ටිකය’ වූ අතර, ප්‍රධාන පෙළේ තාක්ෂණ සමාගම් විසින් හැඩ ගස්වන ලද ලෝකය වනාහී “දත්ත මගින් සම්බන්ධ කළා වූත් (මිනිසුන්ගේ) ක්‍රියාවන් නිරීක්ෂණය කිරීමට, අර්ථකථනය කිරීමට, සන්නිවේදනය කිරීමට, බලපෑමට ලක් කිරීමට, පුරෝකථනය කිරීමට සහ අවසාන වශයෙන් නවීකරණය කිරීමට රැඩිකල් ලෙස විසිරුණු අවස්ථාවන් නිර්මාණය කරන්නා වූත් එකකි…” (එම). රාජ්‍යයේ, ආයතනයේ හෝ කාර්මික නිෂ්පාදන කළමණාකරුගේ බැල්මට වෙනස්ව, ඩිජිටල් ධනවාදයේ බැල්මෙන් පළායාමක් කොහෙත්ම පවතින්නේ නැත. මන්ද යත්, ක්ලයින් සහ සුබෝෆ් යන දෙදෙනාම පෙන්වා දී ඇති පරිදි, අපගේ චර්යාවන් නිරීක්ෂණයට ලක් නොවන තැන් ඉතිරි වෙමින් ඇත්තේ අතලොස්සකි. 

ක්ලයින්ගේ රචනාව සුබෝෆ්ගේ කෘතීන් ඔස්සේ කියවීමේ වාසිය වන්නේ මෙයයි; එය අපට කොවිඩ්-19 වසංගතය අතරතුරදී සහ ඉන්පසුව ඩිජිටල් ධනවාදී ආර්ථිකයන් තුළ ‘සහභාගීවන්නන්’ කවුරුන්ද සහ ‘තීරණ ගන්නන්’ කවුරුන්ද යන්න සලකා බැලීමේ හැකියාව ලබා දෙයි. සුබෝෆ්ට අනුව ඩිජිටල් ධනවාදය තුළ ‘සහභාගීවන්නන්’ කවුරුන්ද යන ප්‍රශ්නයට පිළිතුර වන්නේ ‘දත්ත ඒකරාශී කිරීමට, විශ්ලේෂණය කිරීමට සහ හුවමාරු භාණ්ඩකරණය කිරීමට අවශ්‍ය උපකරණ, දැනුම සහ මූල්‍ය සම්පත් හිමි අයවළුන්ය’ යන්නයි (එම); ක්ලයින්ගේ වසංගත කම්පන ධර්මතාව විසින් රාජ්‍ය-පුද්ගලික හවුල්කාරීත්වය ඔස්සේ මෙම හැකියාවන් රාජ්‍යය වෙත ලබාදීමට කැමැත්තක් දක්වන්නා වූ සමාගම් වටහාගැනීමේ වාසිය එයට එකතු කරන බවක් පෙනේ.

එසේම, ‘තීරණ ගන්නේ කවුරුන්ද’ යන ප්‍රශ්නයට සුබෝෆ්ගේ පිළිතුර වන්නේ සාර්ථක ලෙස අපගේ චර්යාවන් හුවමාරු භාණ්ඩකරණය කරනු ලබන්නා වූ සහ පාරිභෝගිකයින් ලෙස අපගේ චර්යාවන් හැඩ ගස්වනු ලබන්නා වූ සමාගම්ය යන්නයි (එම); ක්ලයින්ගේ වසංගත කම්පන ධර්මතාවේ පැන නැගීම විසින් පුරවැසියන් ලෙස අපගේ චර්යාවන් ගැන දැන ගැනීමටත් ඒවා හැඩ ගැස්වීමටත් සමාගම්වලට සහ ආණ්ඩුවලට ඇති උනන්දුව ගැන ප්‍රශ්න මතු කරයි.  

මේ ආකාරයෙන් වසංගත කම්පන ධර්මතාව අපට බල කරන්නේ ඩිජිටල් ධනවාදය යනු හුදෙක් පුද්ගලික තාක්ෂණ සමාගම් විසින් ක්‍රියාවට නගනු ලබන ප්‍රාග්ධන සමුච්චන තර්කණයක් ලෙස පමණක් සලකා බැලිය යුතු නොවන බවයි; එය (නව) ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයන් විසින් වඩ වඩාත් ක්‍රියාවට නගනු ලබන ආණ්ඩුකරණ මාදිලියක් ලෙසින්ද සලකා බැලිය යුතු බවයි. වඩාත් සුවිශේෂ කොට ගත් කල, වසංගත කම්පන ධර්මතාව විසින් ඩිජිටල් ධනවාදයේ ජීව-දේශපාලනික හැරවුමක් සලකුණු කෙරෙන්නේ යයි කිව හැකිය.

ෆූකෝට අනුව, ජීව-දේශපාලනය පුද්ගලයින්ගේ චර්යාවන් ගැන සැලකිලිමත් වන්නේ අඩුවෙනි; ඊට වඩා එය සැලකිලිමත් වන්නේ වඩාත් පොදුවේ ජනගහණය ගැන දැන ගැනීමට සහ ඒ මත වැඩ කිරීමටය. “ශික්ෂණය යනු පුද්ගලයින්ව විනයගත ලෙස හැසිරවීම සඳහා සහ ඔවුන්ව කාර්යක්ෂම වූත් පලදායී වූත් ශ්‍රමිකයින් බවට පත් කිරීම සඳහා ක්‍රියාවට නගනු ලබන තාක්ෂණයකි; ජීව-දේශපාලනය ක්‍රියාවට නගනු ලබන්නේ ජනගහණය කළමනාකරණය කිරීම සඳහාය; නිදසුනක් ලෙස, නිරෝගී ශ්‍රම බලකායක් සහතික කිරීම” (ෆූකෝ 2003: 239). ෆූකෝ ජීව-දේශපාලනයේ ප්‍රභවය ස්ථානගත කළේ 18 වන සියවස තුළය.

වසංගත කම්පන ධර්මතාවේ ප්‍රභවය තුළද ජීව-දේශපාලනික තර්කණය ස්ථානගත කළ හැකිය. වඩාත් විශේෂ කොට කිව හොත්, “දැවැන්ත සමාගම් විසින් සපයනු ලබන සේවාවන් සහ නිපැයුම් වනාහී අපගේ ජීවිත වසංගතයට ඔරොත්තු දීමට සැලැස්වීම සඳහාත්, අපගේ සහ අප ආදරණීයයන්ගේ ජීවිත සුරක්ෂිතව තැබීම සඳහාත් ඇති මග හැර යා නොහැකි යතුරු වන්නේය” යන සැක සහිත පොරොන්දුව සමගින් වසංගත කම්පන ධර්මතාව අප වෙත පිළිගන්වනු ලබන බැවින් එය ජීව-දේශපාලනයක් යැයි කිව හැකිය. 

වසංගත කම්පන ධර්මතාවේ පැන නැගීම විසින් ලිබරල් ප්‍රජාතාන්ත්‍රික රටවල් තුළ නිර්මාණය කෙරෙන්නට ඉඩ තිබෙන හානිකර සමාජ, සංස්කෘතික සහ දේශපාලන බලපෑම් නයෝමි ක්ලයින් ඉතාම දක්ෂ ලෙස හෙළිදරව් කරයි; ඒ අතරම, මෙම ධර්මතාව විසින් ප්‍රවර්ධනය කෙරෙන බවක් පෙනෙන ඩිජිටල් ආර්ථිකයට කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ලිතියම් පතල් තුළ වැඩ කරන ළමා ශ්‍රමිකයින්ගේ ශ්‍රමයද ඇතුළත් වන බව සටහන් කර ගැනීම වටී; පරිගණක චිපයන් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය එකතු කෙරෙනුයේ එම පතල් තුළය; එමෙන්ම එම පරිගණක යන්ත්‍ර බොහොමයක් එකලස් කරන චීනයේ ෆොක්ස්කොන් වැනි කම්හල් තුළ ඇති එකලස් පේළිවල වැඩ කරන කම්කරුවන්ගේ ශ්‍රමයද ඊට අයත්ය (බලන්න, පරික්කා 2015: 89-90, මෙයද බලන්න, බොල්ටන්ස්කි සහ එස්කෙරා 2016: 31). 
ක්ලයින් මේ පිළිබඳව දැනුවත් බව පෙනේ. “ඩිජිටල් ආර්ථිකය පවත්වාගෙන යනු ලබන්නේ ගබඩා කාමර තුළ, දත්ත මධ්‍යස්ථාන තුළ, (පරිගණක) අඩංගු සකසන කම්හල් තුළ, ඉලෙක්ට්‍රොනික වැඩපළවල් තුළ, ලිතියම් පතල් තුළ, කාර්මික කම්හල් තුළ, මාංස සැකසුම් මධ්‍යස්ථාන තුළ සහ බන්ධනාගාර තුළ සඟවා දමනු ලැබූ මිලියන ගණනක නිර්නාමික කම්කරුවන්ගේ ශ්‍රමය මගින් බවත්, ඔවුන් නිරන්තරයෙන්ම රෝගවලට සහ අධි-සූරාකෑමට අනාරක්ෂිතව නිරාවරණය කොට තිබෙන බවත් ඇය පිළි ගනී.

කෙසේ වුවත්, මේ හැරුණු කොට, ඇය අවසානයේදී තම ලිපියෙන් අවධානය යොමු කිරීමට තෝරා ගන්නේ කොවිඩ්-19 විසින් පුද්ගලිකත්වය සහ නිදහස සමග බැඳී තිබෙන නෛතික සහ සමාජ අයිතීන් අභියෝගයට ලක් කරන්නා වූ පුද්ගලික-රාජ්‍ය සෝදිසි යාන්ත්‍රණයන් සඳහා මග විවර කරනු ලබන්නේ කෙසේද යන කාරණයයි. ඒ වෙනුවට වසංගත කම්පන ධර්මතාව සහ ඩිජිටල් ධනවාදය වඩාත් පුළුල්ව විශ්ලේෂණය කරන්නට මට වුවමනාය. මන්ද යත්, එය අපගේ ලෝකයේ සමාජ, දේශපාලනික සහ ආර්ථික සංවිධානයෙහි මරණ-දේශපාලනික (necropolitical) හැරවුම පිළිබඳ රෝග ලක්ෂණයක් ලෙසින්ද විශ්ලේෂණය කළ යුතුව පවතින බැවිනි. එම මරණ-දේශපාලනික හැරවුමේ අරමුණ වන්නේ ආරක්ෂා කළ යුත්තේ කව්රුන්ද සහ (වඩාත් වැදගත් කාරණය මෙයයි) පවතින ක්‍රියාවලිය තුළ කැප කළ හැක්කේ කව්රුන්ද යන්න තීරණය කිරීම සඳහා ජනගහණය නිර්වචනය කිරීමටත් බෙදීමටත් ලක් කිරීමයි. 

මරණ-දේශපාලනය, නිදසුනක් ලෙස ඇචීල් ම්බෙම්බේ විසින් එය නිර්වචනය කරන ලද ආකාරයට, ජීව-දේශපාලනය සහ ජීව-බලය පිළිබඳ ෆූකෝගේ සංකල්පවලින් ඔබ්බට ගමන් කරයි. ඒ, ස්වාධිපති බලය දැන් ක්‍රියාත්මක වන්නේ ජනගහණයේ සෞඛ්‍යය සහතික කිරීම සහ ජීවිතය සඵල කිරීම සඳහා පමණක් නොව  භූගෝලීය සහ සංස්කෘතිකමය ‘මරණයේ කලාප’ නිර්මාණය කිරීම ඔස්සේද බව පෙන්වා දීමෙනි. එම මරණයේ කලාප තුළදී ආධිපත්‍යයේ අවසාන අභ්‍යාසය බවට පත් වන්නේ ළඟ ළඟම එන මරණය සහ දුක් පීඩාවන් ය. (මෙයත් බලන්න, ඩිලන් සහ රීඩ් 2009) ෆූකෝ ඇසුරු කරමින් ම්බෙම්බේ නිර්වචනය කරන ආකාරයට ස්වාධිපති බලයේ සාම්ප්‍රදායික ආකෘතිය වූයේ මිනිසුන් මැරීමට ඇති අයිතියයි. ඊට පරස්පරව, මරණ-දේශපාලනය වඩාත් නිවැරදිව නිර්වචනය කළ හැක්කේ ඇතැම් ජනයා මරණය වෙත නිරාවරණය කිරීමට ඇති අයිතිය ලෙසයි. සමස්තයක් ලෙස ගත් කල, “මරණ දේශපාලනය පිළිබඳ සංකල්පයෙන් ජීවිතය මරණයේ බලයට යටත් කිරීමේ සමකාලීන ආකෘතීන් විසින් ඇතැම් ශරීර ජීවිතයත් මරණයේ වියහැකියාවත් අතර චිරස්ථායී ලෙස රඳවා තැබීමට බල කෙරෙන්නේ කෙසේද යන්න විශ්ලේෂණය කිරීම සඳහා රාමුවක් සපයයි” (ම්බෙම්බේ 2003: 11-40). 

මරණ-දේශපාලනය පිළිබඳ සංකල්පීය ප්‍රිස්මය තුළින් බලා විශ්ලේෂණය කළ විට, යමෙකු ඩිජිටල් ධනවාදය පිළිබඳව ඇසිය යුතු ප්‍රශ්න වන්නේ මේවායි: “ජීවිතයට, මරණයට සහ මානව ශරීරයට දී ඇති තැන කුමක්ද”; “ඒවා බලයේ පර්යාය තුළට ඇතුළත් කරගෙන තිබෙන්නේ කෙසේද?” (ම්බෙම්බේ 2003: 12). මෙම ප්‍රශ්නවලට පිළිතුරු දෙන විට පැහැදිලි වන කාරණය නම්, ඩිජිටල් ධනවාදය සහ ඒ සමග සම්බන්ධ නිෂ්පාදන මාදිලිය රඳා පවතින්නේ ඩිජිටල් හුවමාරු භාණ්ඩවල පාරිභෝගිකයිනුත් අපගේ තාක්ෂණික උපාංග හා ඩිජිටල් හුවමාරු භාණ්ඩ නිෂ්පාදනය කරන සුවිශාල ප්‍රමාණයක් වූ ප්‍රවාහනය කරන්නන්, යන්ත්‍ර ක්‍රියාකරුවන්, පතල් කම්කරුවන් සහ සැකසුම් පේළිවල වැඩ කරන කම්කරුවන් යන අයත් අතර පවත්නා භෞතික, සංස්කෘතික සහ සමාජමය බෙදීම මත බවයි.

ඉදින්, සෝදිසි ධනවාදය තුළ මූර්තිමත් වන බල තර්කණය පාර්ශවීයව අභ්‍යාස කෙරෙනුයේ ධනවත් රටවල පුද්ගලික පාරිභෝගිකයින්ව ජීව-දේශපාලනික ආණ්ඩුකරණයකට ලක් කිරීම ඔස්සේය; ඒ අතරම, සෝදිසි ධනවාදය ජනතාව (නොහොත් කම්කරුවන්) කොංගෝවේ ලිතියම් පතල් තුළ හෝ චීනයේ සැකසුම් පේළි තුළ පවත්නා ආකාරයේ අස්ථාවර ජීවන තත්ත්වයන් වෙත ඇද දමන්නා වූ මරණ-දේශපාලනයේ බල රටාවක් මතද විශාල වශයෙන් රඳා පවතී (1). වෙනත් ආකාරයකට කිව හොත්, වසංගත කම්පන ධර්මතාව (සහ වඩාත් පුළුල්ව ගත් විට ඩිජිටල් ධනවාදය) විසින් සරලව ප්‍රචණ්ඩත්වයේ සහ මර්ධනයේ යාන්ත්‍රණයන් වෙනුවට ජනගහණයේ සෞඛ්‍යය පවත්වා ගැනීම ස්වකීය අරමුණ කරගත් පාලන තාක්ෂණයන්ගෙන් යුක්ත ජීව-දේශපාලනයක් ආදේශ කරන්නේ නැත. ඒ වෙනුවට, ඩිජිටල් ධනවාදයේ පැන නැගීමෙන් නියෝජනය වන්නේ ප්‍රචණ්ඩත්වය සහ මර්ධනය දැනුම පදනම් කරගත් බටහිර ආර්ථික කේන්ද්‍රයන්ගෙන් ඉවතටත් පශ්චාත්-යටත් විජිත දේශසීමාවන් වෙතටත් විතැන් කරනු ලැබීමයි (මෙයත් බලන්න, මෙසන්ඩ්‍රෝ 2011). 

වසංගත කම්පන ධර්මතාව පිළිබඳ ක්ලයින්ගේ විශ්ලේෂණයට ඌණ පූරණයක් ලෙස ඩිජිටල් ධනවාදයේ මරණ-දේශපාලනමය පැතිමානය වෙතට අවධානය යොමු කළ විට, ප්‍රාග්ධන සමුච්චනයේ ඩිජිටල් ධනවාදී තර්කණයත් ඒ හා සම්බන්ධ නිෂ්පාදන මාදිලියත් ප්‍රාථමික සහ මූලික වශයෙන් මානව ශරීර සූරාකෑම මත රඳා පවතින්නේ කෙසේද යන්න දෘෂ්‍යමාන වේ. 

මේ ලියූ සියල්ලෙන් ප්‍රයත්න දැරෙනුයේ ඩිජිටල් ධනවාදය සහ වසංගත කම්පන ධර්මතාව පිළිබඳ ක්ලයින්ගේ විවේචනයේ අදාළත්වය බිඳකින්වත් බැහැර කිරීම නොවේ. ඩිජිටල් ධනවාදය සහ වසංගත කම්පන ධර්මතාව යන දෙකම අපගේ ප්‍රජාතාන්ත්‍රික ආයතන කෙරෙහි සහ සිවිල් නිදහස කෙරෙහි ඉමහත් තර්ජනයක් එල්ල කරන බවට කිසිදු සැකයක් නැත. මේ ලිපිය වනාහී සරලව, සෙසු අය හට, වසංගත කම්පන ධර්මතාවේත් එයින් ප්‍රවර්ධනය කෙරෙන සුවිශේෂී නිෂ්පාදන මාදිලියේත් පැන නැගීම විසින් ඔවුනගේ සුබ සිද්ධිය සහ පැවැත්ම කෙරෙහි මූලධාර්මික තර්ජනයක් එල්ල කරනු ලබන්නේය යන්න සිහි කැඳවීමකි. 

පරිශීලන 
Zuboff, S. (2015) Big other: Surveillance capitalism and the prospects of an information civilization. Journal of Information Technology, 30 (75-89).
Zuboff, S (2018). The age of surveillance capitalism: The fight for a human future at the new frontier of power. Profile books.
Foucault, M. (2003). Society must be defended. Lectures at the Collège de France 1975–1976. Penguin.
Boltanski, L. & Esquerra, A. (2016). The economic life of things: Commodities, collectibles, assets. New left review, 98 (31-54).
Mbembe, A. (2003) Necropolitics. Public Culture, 15:2 (11-40). Translated by Libby Meintjes.
Mezzandro, S. (2011). How many histories of labour? Towards a theory of postcolonial capitalism. Postcolonial Studies, 14:2 (151-171).
Parikka, J. (2015). A geology of media. University of Minnesota Press.
සටහන: (1) චීනයේ ෆොක්ස්කොන් කම්හලෙන් වාර්තා වන සිය දිවි නසා ගැනීමේ ඉහළ සංඛ්‍යාව එක් නිදසුනකි. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිබඳ නිදසුන ඔස්සේ ම්බෙම්බේ පෙන්වා දෙන පරිදි, ස්වාධිපත්‍යයේ මරණ-දේශපාලනික ආකෘතීන් මගින් පාලනය කෙරුණු විට විරෝධය දැක්වීමට ඇති එකම ආකෘතිය වන්නේ තමන්ගේම මරණයේ කොන්දේසිය තෝරා ගැනීමය (36-39).  

පරිවර්තනය: සුමිත් චාමින්ද

Loading...

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *