දේශබන්දු රකින්න යන ‘අගමැතිට‘ නීතිඥ සංගමයෙන් දැඩි ප්‍රහාරයක්

Spread the love

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු වෙනත් කිසිදු ආයතනයක අවලංගු කළ නොහැකි බවත්, එසේ කිරීමට අග්‍රාමාත්‍යවරයාට හෝ කථානායකවරයාට හැකියාවක් නොමැති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (28) නිවේදනය කළේය.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති අතුරු තහනම් නියෝගය හෑල්ලුවට ලක්කිරීමට රජය දරන උත්සාහය දැඩි ලෙස හෙළා දකින බව සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරන ලද නාමයෝජනා අභියෝගයට ලක් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවට වන තර්කය නීතිඥ සංගමය ප්‍රතික්ෂේප කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ජේ ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණ බල ප්‍රදේශයට අයත් වන බව නීතිඥ සංමග විසින් තහවුරු කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් පසුව, යුද්ධය සහ සාමය ප්‍රකාශ කිරීම හැර ජනාධිපතිවරයාගේ බලතල ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණ බලයට (35 වැනි වගන්තිය) යටත් වන බව නීතිඥ සංගමය වැඩි දුරටත් පැවසීය.

“ජනාධිපතිවරයාගේ සමාව දීම අවලංගු කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අවලංගු කිරීම සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේදී එම ධුරයේ සිටි ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර පැවැත්වුයේ ඉහත කී බලතල ක්‍රියාත්මක කරමින්” බව නීතිඥ සංගමය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ශ්‍රී ලංකාවේ අධිකරණය කෙරෙහි පූර්ණ විශ්වාසය පළ කරන බවත්, මෙම තීරණාත්මක මොහොතේ අධිකරණයේ අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීම සහතික කිරීම සඳහා අධිකරණය වෙනුවෙන් පෙනී සිටින බවත් නීතිඥ සංගමය සිය නිවේදනයෙන් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් චතුර ගල්හේන මහතාගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

Related Posts