‘දෙසැම්බර් වන විට එළවළු කිලෝව රු. 500 ඉක්මවා යනවා‘ – දඹුල්ල අර්ථික මධ්‍යස්ථානය

Spread the love

උඩරට ප්‍රදේශවලින් ලැබෙන එළවළු තොග විශාල වශයෙන් හිඟ වීම නිසා අද (21) දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ උඩරට එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය කියයි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ. බී. ඒකනායක මහතා, ‘දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වෙනත් දිනවල උඩරට එළවළු විශාල වශයෙන් ලැබෙනවා. නමුත් අද කැරට්, ලීස්, බෝංචි, මාළුමිරිස්, ගෝවා ආදී කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු අපට ලැබුණේ ඉතා ප්‍රමාණයක්. හෙට (22) සිට බොහෝ දුරට උඩරට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු හිගවීමක් ඇතිවිය හැකියි‘

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලින් ආර්ථික මධ්‍යස්ථානයට එළවලළු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි වෙළෙන්දුන් කියාසිටියේ අද දින ලීක්ස් කිලෝවක් රුපියල් 400 ඉක්මවා තොග මිලකට අලෙවි වන බව ය. කැරට් තොග මිල ද රුපියල් 300ක් සහ මාලුමිරිස් කිලෝ කිලෝවක තොග මිල රුපියල් 400 ඉක්මවා පැවතීම ද විශේෂත්වයකි. උදෑසන කාලයේ බෝංචි කිලෝවක මිල රුපියල් 350ක් ව පැවති බව වෙළෙන්දෝ පවසති. කෙසේ වෙතත් දහවල් වන විට බෝංචි කිලෝවක මිල රුපියල් 250 දක්වා පහත වැටී ඇති බව ද ගොවීන් පෙන්වා දුන්හ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ සිටි බොහෝ ගොවීන් කියා සිටියේ ඉදිරියේදී එළවළු වගාව සිදු කිරීම සඳහා පොහොර සහ රසායනික ද්‍රව්‍ය නොමැතිවීම නිසා බරපතල ප්‍රශ්න රැසක් මතුවන බවය

ආර්ථික මධ්‍යස්ථානයට බෝංචි රැගෙන විත් තිබූ ගොවි මහතුන් කීපදෙනෙකු කියා සිටියේ රසායනික පොහොර හෝ වෙනත් ගැටලුවක් ප්‍රශ්නයක් නොව මෙරට ජනතාව මහා කම්මැලිකමකට හුරු වීම නිසා මේ තත්ත්වය උදා වී තිබෙන බවය.

මහන්සි වී වගා කරන්නේ නම් මෙම මහ පොළොවේ ඕනෑම අස්වැන්නක් ලබාගැනීමට හැකි බවත් පෙන්වා දුන් එම ගොවීන් තමන් වගා කළ බෝංචි පෙන්වා දෙමින් කියා සිටියේ කිසිදු ප්‍රශ්නයකින් නොමැතිව මෙම මහ පොළොවේ මහන්සි වී වගා කළොත් අස්වැන්න සරු වන බවය.

දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ඇතැම් කණ්ඩායම් විශාල ප්‍රචාර ගෙන යන බවත් එහෙත් මෙහි සත්‍යතාවය ගොවීන් දන්නා බවද එම ගොවි කණ්ඩායම් කෑගසමින් පෙන්වා දෙන්නට වූහ.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ .බී .ඒකනායක මහතා කියා සිටියේ දෙසැම්බර් මාසය වන විට උත්සව සමයේ එළවළු වර්ග රැසක තොග මිල කිලෝවක් රුපියල් 500 ඉක්මවා යනු ඇති බවය. උඩරට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු නොමැති වුවහොත් පහතරට එළවළුවලට ඉහළ ඉල්ලුමක් පැවතීම නිසා එම මිල ඉහළ යෑමේ අවධානමක් පවතින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

සටහන – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Related Posts