දෙවන ටෙස්ට් තරඟයෙන් පකිස්තානයට කඩුලු 9 ක ජයක්

Spread the love

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඩුබායි හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක ජයක් අත්කර ගත් පාකිස්තානය තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ පාකිස්තාන පිලේ දඟපන්දු යවන ක්‍රීඩක සයීඩ් අජ්මාල් තරගයේ සිවුවැනි දිනය වූ පෙරේදා ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 257 කට සීමා කරමින් ලකුණු 94 ක පහසු ඉලක්කයක් සිය කණ්ඩායමට ලබා දුන් අතර එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළ පාකිස්තානය සිවුවැනි දිනයේදීම තරගය නිමා කළේය.

රංගන හේරත් යැවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු එක් ලකුණකට දැවී ගියේය. මොහොමඩ් හෆීස් නොදැවී ලකුණු 59 ක් රැස් කළ අතර අසාර් අලි නොදැවී ලකුණු 29 ක් ලබා ගත්තේය.

තරගාවලිය පුරා අසාර්ථක වූ ප්‍රවීන පිතිකරු මහේල ජයවර්ධන ලකුණු 5 කට දැවී ගිය අතර නායක තිලකරත්න ඩිල්ෂාන් යළිත් වරක් නායකත්වයේ වගකීම ඉටුකිරීමට අසමත් වෙමින් ලකුණු 3 කට දැවී ගියේය.

ආරම්භක පිතිකරු තරංග පරණවිතාන ලකුණු 72 ක් සහ උපනායක ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 52ක් රැස් කළද පරාජයෙන් බේරීමට එය ප්‍රමාණවත් නොවීය. ලකුණු 166කට කඩුලු 6ක් බිඳ වැටී තිබූ මොහොතේ මැතිව්ස් සමග එක්වූ ධම්මික ප්‍රසාද් 7 වැනි කඩුල්ලට ලකුණු 56ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය. කාසියේ වාසිය දිනාගනු ලැබුවද තම කණ්ඩායම ඉතා දුර්වල පිතිහරඹයක නිරතවූ බව ශ්‍රී ලංකා පිලේ නායක තිලකරත්න ඩිල්ෂාන් තරගයෙන් අනතුරුව ප්‍රකාශ කළේය.

තරගයේ ජය අත්කර ගැනීමට හැකි වූයේ වෘත්තීමය පළපුරුද්ද මත බැව් පාකිස්තාන පිලේ නායක මිස්බා උල් හක් පැවැසීය.

දෙපිල අතර තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගය ලබන මස 3 වැනිදා සාජා හීදි ඇරැඹේ.

ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව  – 239 & 257 

පාකිස්තානය  – 403  & 94/1 

RSL

Related Posts