තැලසීමියාවෙන් පෙළෙ දරුවා සුවපත්කර ගැනීමට ‘සිහින දකින මවට‘ ඔබේ සහාය ඕනෑ

Spread the love

මුහුදට වැටුණු  ලේන පැටව්න්ගේ  ජීවිත බේරා  ගැනීම සඳහා ලේන් අම්මෙකු  නැට්ටෙන් මුහුද සිදින්නට ගත් උත්සාහයක් පිළිබඳව උතුම් ජාතක කතාවක අප බොහෝ දෙනා අසා ඇත්තෙමු. එවැනි ලේන කුලේ වීරිය වඩන අම්මා කෙනෙකු පසුගියදා අපට ගලේවෙල බේලියකන්ද රටමිරිස් හේන  ගම්මානයෙන් හමුවිය.

සැමියා අතහැර දමා ගිය බිරිදක් තම වයස අවුරුදු පහක් වූ දරුණු තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවා ගේ ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම සඳහා අවශ්‍ය මුදල සොයා ගැනීම සදහා වතුවලට  ගොස් පොල් අතු රැගෙනවිත් ඉරටු සුරමින් කිසිදා සිදු කර ගැනීමට නොහැකි උත්සාහයක නිරත වන්නීය.

මෙම  මව සිදුකරන විවිධ දුක් කම්කටොලු සහ උත්සාහයන් පිළිබඳව ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත ඇය සොයා අප බේලියකන්ද රටමිරිස් හෙන ප්‍රදේශයේ ඇය ජීවත් වෙන මවගේ සහ පියාගේ නිවසට ගියෙමු.

අයි ඒ.ජි. රම්‍යා ප්‍රියදර්ශනී හතළිස් තුන් හැවිරිදි මෙම මව ආර්.එම්. නෙතුම් නිම්සර ප්‍රියදර්ශන පස් හැවිරිදි සිය දරුවා ජීවත්කරවීම මෙන්ම නිවසේ රැඳී සිටින මව සහ පියා ජීවත් කරවීම භාරදූර කාර්යයකට මුහුණපා සිටින්නීය.

යුද හමුදා සෙබළෙකු සමඟ විවාහ වී සිටි ඇය හතරවැනි දරුවා මෙලොවට බිහි වීමත් සමග මාස හතක් ගත වෙද්දී දරුවා දරුණු තැලසීමියා රෝගියෙකු බව හඳුනා ගත් බව ඇය පවසන්නීය.

පසුව සැමියා තමන් ව සැක  කොට  ඔහුගේ  ගේ දරුවෙකු නොවන බව පවසා අනෙක් දරු තිදෙනාත් සමග වෙන් වුණු බවත් කියයි. තමන් මෙම සිදු  කළ කටයුත්ත උහුලා ගැනීමට  නොහැකිව අධිකරණයේ පිහිට පැතූ බව ඇය පවසන්නීය. පසුව සැමියා වූ යුධ හමුදා සෙබලා අධිකරණයේදී තැලසීමියා රෝගය වැළඳුණු මෙම දරුවාගේ පීතෘත්වය බාර ගත් බවද එහෙත් දරුවා සහ තමන් ඉවත් කළ බව ඇය දුක්මුසු කථාව අප සමග කීවාය.

කෙසේ වෙතත් මාස හතේ සිට තම දරුවා ජීවත් කරවීම සඳහා කුලී වැඩ කරන්නට විවිධ දේ කරන්නට තමන්ට සිදු වූ බවත් මේ වන විට තැලසීමියා රෝගයෙන්  දරුණු ලෙස පීඩා විඳින දරුවාට ඇටමිදුළු බද්ධයක් සිදු කිරීමට අවැසි බව වෛද්‍යවරුන් සඳහන් කළේ යැයි ඇය පැවසුවාය.

ඒ සඳහා රුපියල් ලක්ෂ 60කට වැඩි මුදලක් වියදම් වන බව වෛද්‍යවරුන් සඳහන් කළේ යැයි ඇය පවසන්නීය. දිනකට එක් වේලක් ආහාරය සරිකර ගැනීමට පවා  නොහැකිව සිටින මෙම මවට එම  මුදල සොයා ගැනීම විශාල සිහිනයකි. කෙසේ වෙතත් ඇය තම වයෝවෘද්ධ දෙමව්පියන්ගේ ද සහය ඇතිව දරුවා ජීවත් කර කරවීමේ සිහිනය හදවතේ රුවාගෙන අවට ප්‍රදේශ වල පොල් ගස්වලින් වැටෙන අතු රැගෙනවිත් ඒවායේ ඉරටු බේරා ගෙන  ඉරටු අලෙවි කරමින් හා කුලී වැඩ කරමින් මුදල් උපයන්නට උත්සාහ දරමින් සිටින්නීය.

එහෙත් මසකට  අවස්ථා දෙකක් තම දරුවාට ලේ ලබාදීමේ කටයුත්ත සඳහා කුරුණෑගල රෝහලට ගම්න් කිරීම්ට ඇයට පැවරී ඇති තවත් වගකීම්කි.

එමෙන්ම නාවික හමුදාව මගින්  කුරුණෑගල රෝහල හරහා පරිත්‍යාග කළ දරුවාගේ   උදරය ට සවිකොට රාත්‍රියේ පැය 8ක පමණ කාලයක් සවි කරන යන්ත්‍රය ද කැඩී ගොස්  එය නැවත අලුත් අළුත්වැඩියා කිරීම්ට නාවික හමුදා මූලස්ථානයට යැවූ බව ඇය පැවසුවාය.

මේ වන විට දැඩි ආර්ථික දුෂ්කරතාවයන් වලින් හෙබි ඇය කියා සිටියේ තමන් කුසගින්නේ සිට හෝ මියැදෙන්නට පෙර තම දරුවාගේ ඇටමිදුළු බද්ධය සිදු කළ හොත් දරුවාට ජීවත් විය හැකි බව ය.  එසේ නොමැති වුවහොත් තම දරුවාගේ ජීවිතය අවදානමින් බවත් ඇය හැඬූ කඳුළින් අප සමග කීවාය.

තැලසීමියා රෝගය නිසාම සැමියා  ප්‍රතික්ෂේප කළ ආදරණීය දරුවාට සහ බිරිඳට සිදුව ඇත්තේ මහා විශාල කාර්ය භාරයකි මෙම පවුල්ට දරුවාට ජීවිතය ලබාදීමට හැකියාවක් ඇති බෝසත් ජනතාව ගේ අවධානය යොමු  කරන්නැයි ඇය ඉල්ලීමක් කළාය.

ඇයගේ  ලිපිනය අයි. ඒ.ජි. රම්‍යා  දර්ශනී රටමිරිස් හේන, බේලියකන්ද ,ගලේවෙල,

මහජන බැංකුවේ  ගලේවෙල ශාඛාවේ ගිණුම් අංකය 115  2 00 1 2 000 1342 දුරකථන අංකය 071 8514 108

සටහන – කංචන කුමාර ආරියදාස – දඹුල්ල

Related Posts