තරුණ අනාගතය ‘ඩිජිටල් ලෝකය වෙත ගෙනයාමට’ Technology Parks බිහිකිරීම ඇරඹෙයි

Spread the love

තරුණ තරුණියන්ගේ තාක්ෂණික දැනුම, නිපුණත්වය වර්ධනය කර, ඔවුන් අනාගත ලෝකය වෙනුවෙන් බලගන්වමින් මෙරට තාක්ෂණික කේෂ්ත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීම අරමුණු කරගනිමින් මෙරට ඉඳිවන  ප්‍රථම නව තාක්ෂණික උද්‍යානය පිහිටුවීම  ඊයේ (12)  දින ගාල්ලේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ලංකාව පුරා තාක්ෂණික උද්‍යාන 05ක් ඉදි වේ.

අපේ රටේ තරුණයාගේ අනාගතය නූතනත්වය සමගින් තාක්ෂණික හා ඩිජිටල් ලෝකය වෙත විවර කර ඒ තුළ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම  මෙම නව තාක්ෂණික උද්‍යාන ස්ථාපිත කිරීමේ අරමුණ වෙයි.

ඒ අනුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහය ඇතිව ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් මෙරට  බිහිවන පළමු වන තාක්ෂණික උද්‍යානයේ කටයුතු ඊයේ දින ඇරඹිණි.

එහි භූමිය සකස් කිරිමේ කටයුතු කඩිනමින් නිම කර අදියරෙන් අදියර  ගොඩනැගිලි ඉඳිකිරීමේ අවසන් කර මාස 03ක් ඇතුළත මෙම නව තාක්ෂණික උද්‍යානය ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව තාක්ෂණ උද්‍යාන 05ක් අපේ රටේ ස්ථාපිත කරනවා. ඒ තුළ ඉදිරියට මේ රටේ ආර්ථිකය ශක්තිමත් කර රැකියා උත්පාදනය මගින් විදේශ විනිමය ලංකාවට ගෙනඒමේ සැලැස්ම අපි හදලා තිබෙනවා. අපි නිරන්තරයෙන්  කතා කරන්නේ අප ලෝකයා සමග ගනුදෙනු කළ යුතු බවයි. ඊළග පරම්පරාවට සරිලන ආකාරයේ සංවර්ධනයක් අපේ රටේ ඇති කළ යුතුයි.

මෙම තාක්ෂණ ගම්මාන 05 තුළ අපේ රටේ තරුණයාගේ අනාගතය නිවැරදි මාවතට යොමු කරනවා වගේම නූතනත්වය වෙත ගමන් කිරීමට ද ඔහුට හැකියාව ලැබෙන බව අපි විශ්වාස කරනවා.

ඉදිරි මාස කිහිපය ඇතුළත කුරුණෑගල, මහනුවර, සහ අතිගරු ජනාධිපතිතුමන් සමග සාකච්ඡා කොට උතුරු නැගෙනහිරත් මෙම නව තාක්ෂණික උද්‍යාන ස්ථාපිත කිරීමට අප කටයුතු කරනවා.

තරුණයා අපේක්ෂා කරන තාක්ෂණික හා ඩිජිටල් ලෝකය  වෙත ගමන් කිරීමට  ඔහුට මේ තුළ නව ආරම්භයක් සැකසෙනවා. මෙම නව තාක්ෂණික ගම්මාන  තුළ දේශීය තාක්ෂණයට හා දේශීය නව නිපැයුම්වලට ප්‍රමුඛතාවය හිමිවන අතර ජාතික හා ජාත්‍යන්තර වෙළඳපොළට ඉඩ හදන කේන්ද්‍රස්ථාන බවට මෙම නව තාක්ෂණික උද්‍යාන පත්වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාස කරන බව ද පැවසීය.

මෙම අවස්ථාවට වැවිලි කර්මාන්‍ත අමාත්‍ය රමේෂ් පතිරණ, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  සම්පත් අතුකෝරල, ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා, පළාත් ප්‍රධාන ලේකම්තුමා ඇතුළු නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි විය.

Related Posts