තනි ඇහැට අඩන්න හිතෙන ‘කුණු ළුෑණු ජාවාරමේ අලුත්ම කතාව‘

Spread the love

ඉන්දියාවේ සිට මෙරටටට ගෙන්වූ ලොකු ළූණු කිලෝ 5000කට අධික ප්‍රමාණයක් විනාශ කිරීමට සූදානම් කිරීමේ අරුම පුදුම පුවතක් දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ හුදෙකලා ගබඩාවකින් ඊයේ වාර්තා විය.

දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ ජනාවාස වලින් තොර ස්ථානයක පවත්වාගෙන යන මහා පරිමාණ ගබඩා සංකීර්ණයක විදේශ රට වලින් ගෙන්වූ  මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ළුණු  තොගයක් කාන්තාවන්  යොදා හොඳ ළුණු වලට කලවම් කොට වෙඳපොළ යැවීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ට ලද  තොරතුරක් මත එය සොයා බැලීම සඳහා නගරාධිපතිවරයා සෞඛ්‍ය අංශ නිලධාරීන් මෙන්ම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද එම ස්ථානයට පැමිණියහ.

මෙම ගබඩාව සම්පූර්ණයෙන්ම වටකොට ඇතුළත නොපෙනෙන ආකාරයට ආවරණය කොට ප්‍රධාන ගේට්ටු ද වසා දමා තිබිණි. පසුව එහි සේවකයන් කැඳවා ගේට්ටු විවෘත කොට නගරාධිපතිවරයා ඇතුළු කණ්ඩායම මෙම ගබඩාවට ගොස් පරික්ෂා කිරීමේදී කාන්තාවන් කිහිප දෙනෙකු එහි ළුණු තෝරන ආකාරයත් විශාල විදුලි පංකා යොදාගෙන ලොකු ළුණු වියලන ආකාරයක් නිරීක්ෂණය විය.

ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා  තිබූ ළුණු තොගය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ආසන්නයේ පිහිටා ඇති අතරමැදි ‍ වෙළෙන්දෙකුට අයත් බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ.

ගබඩාව තුළ එක් පසෙක කිලෝ 5000 කට අධික ළුණු  ගෝනි   එහි කට  විවෘත කොට තිබෙණු දැක ඒවා  පරික්ෂා කිරීමේදී එහි පරිභෝජනයට සුදුසු සහ නුසුදුසු ළුණු ඇති බව නිරීක්ෂණය විය.

නගරාධිපතිවරයා එහි සේවකයින් ගෙන්  එම ළුණු ගැන විමසීමේ දී ඔවුන් කියා සිටියේ ඒවා තෝරා අවසන් ඉවත් කිරීමට ගොඩ ගසා තිබෙන බවය. ඉතා පිළිවෙළකට ඇසුරුම් කොට තිබෙන නිසාත් එම ගෝනි ඇතුළත පරික්ෂා කර බැලීමේදී මිනිස් පරිභෝජනයට සුදුසු ළුණු පවතින නිසාත් නැවත නැවත සේවකයාගෙන් විමසීමේදී ඔහු කිවේ එම තොගයම මිනිස් පරිභෝජනයට නුසුදුසු බැවින් ඉවත් කිරීම් සඳහා  සූදානම් කොට ඇති ඒවා බවය.

එම ප්‍රකාශය අදහා ගැනීමට පවා නොහැකි නිසා නගරාධිපති ජාලිය ඕපාත මහතා අවස්ථා කිහිපයක්ම පුනපුනා ඔහුගෙන් තොගය පිළිබඳව විමසීමේ දී නැවත නැවත ගබඩා සේවකයා කියා සිටියේ ඒවා  සියල්ල ඉවත් කිරීම්ට ඇති ළුණු බවය.

පසුව නගරාධිපති ජාලිය ඕපාත මහතා නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී කියා සිටියේ ළුණු තොග නගර සභාවේ වාහන යොදාගෙන කසළ  අංගනයට රැගෙන යෑමට අවශ්‍ය  පියවර ගන්නා ලෙසය.

නැවතත් නගරාධිපති ජාලිය ඕපාත මහතා මේවා පරීක්ෂා කොට බැලීමෙන් අනතුරුව සඳහන් කළේ මෙවැනි සිද්ධියක් තම ධූර කාලයේ හෝ ජීවිතයේ අත්දැකීමක් නොමැති බවය.

මේ දකින විට තමන්ට තනි ඇහැට ඇඩෙන බව පැවසු නගරාධිපතිවරයා මෙම ලොකු ළුණු බැලූ බැල්මට පරිභෝජනයට සුදුසු ඒවා බව පෙනෙන බවත් මෙවැනි ගබඩා තමන් මීට පෙර දැක නැති බවය.

කෙසේ වෙතත් ආහාර අර්බුදයක් රටේ පවතින අවස්ථාවක මේ ආකාරයෙන් විදේශ රටවලින් ගෙන්වා ඇති ආහාර විනාශ කිරීම් අපරාධයක් බව ඔහු පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව විමතිය පළ කරන බවද සඳහන් කරමින් නගරාධිපතිවරයා කියා සිටියේ  ව්‍යාපාරිකයා විසින් ඉවත් කිරීම්ට ඇති ඒවා නිසා නගර සභාවට රැගෙන ගොස්  මහජන  සෞඛ්‍ය නිලධාරීන්ට පෙන්වා වාර්තාවක් ලබාගෙන එහි මිනිස් පරිභෝජනයට සුදුසු ළුණු ඇත්නම් ඒවා අසරණ ජනතාවට බෙදා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

Related Posts