ඩිම්බකෝෂ පිළිකා රෝගීන්ට සුභ ආරංචියක්

Spread the love

ශ්‍රෝණි ප්‍රදේශයේ සහ පසුපස උදර බිත්තිවල වසා ගැටිති / lymph nodes ඉවත් කිරීමෙන් ඩිම්බකෝෂ පිළිකා / ovarian cancer රෝගීන්ගේ ජීවත් වීමේ අවස්ථාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ හැකි බව සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනය (All India Institute of Medical Sciences – AIIMS) විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත.

මෙම අධ්‍යයනය ඊජිප්තු ජාතික පිළිකා ආයතනයේ ජර්නලයේ ප්‍රකාශයට පත් කර ඇත.

අධ්‍යයනයට ඇතුළත් වූ රෝගීන් 105 දෙනෙකුගෙන් වසර පහක සමස්ත පැවැත්මේ සම්භාවිතාව සියයට 48.9ක් බව අධ්‍යයනයෙන් හෙළි විය. අධ්‍යයනයේ ප්‍රධාන විමර්ශක වෛද්‍ය එම්.ඩී. රේ මෙසේ පැවසුවේය, “ක්‍රමානුකූලව ශ්‍රෝණි සහ පසුපස උදර බිත්තිවලින් වසා ගැටිති ඉවත් කිරීමෙන් රෝගියාගේ පැවැත්ම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ හැකි බව අපට පෙනී ගියා. හදවතට සම්බන්ධ ප්‍රධාන රුධිර නාල වසා ගැටිති වටා පිහිටා ඇති නිසා මෙය අභියෝගාත්මක ක්‍රියා පටිපාටියක් වන අතර එබැවින් ශල්‍ය වෛද්‍යවරුන්ට මෙම තාක්ෂණය සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍යයි”.

ඔහු තවදුරටත් පැවසුවේ මේවාට සම්බන්ධ විශාල වූ වසා ගැටිති ඩිම්බකෝෂ පිළිකාවේ අනිවාර්ය අංගයක් බැවින් රසායනික චිකිත්සාවෙන් පසුව පවා ඒවා ඉවත් කළ යුතු බවත්ය.

පියයුරු සහ ගැබ්ගෙල පිළිකාවලින් පසු කාන්තාවන් අතර තුන්වන වඩාත් සුලභ පිළිකාව ලෙස ඩිම්බ කෝෂ පිළිකා මතු වී ඇති බව වෛද්‍ය රේ පැවසීය.

2012 සිට 2018 දක්වා කාලය තුළ, IRCH හි ඩිම්බකෝෂ පිළිකා රෝගීන් 255 දෙනෙකුට සැත්කම් සිදු කරන ලද අතර, ඉන් පැතිරුණු ඩිම්බකෝෂ පිළිකා 105ක් අධ්‍යයනයේ කොටසක් ලෙස විශ්ලේෂණය කරන ලදී. පැතිරුණු ඩිම්බකෝෂ පිළිකා ඇති මෙම රෝගීන් 105 දෙනා ශ්‍රෝණි සහ රෙට්‍රොපෙරිටෝනියල් වසා ගැටිති විච්ඡේදනයකට / retroperitoneal lymph node dissection භාජනය වී ඇති බව වෛද්‍ය රේ පැවසීය.

රසායනික චිකිත්සාව මගින් අදාළ නෝඩ් / nodes විෂබීජහරණය නොකරන බවත් එමඟින් මෙම ධනාත්මක නෝඩ් නැවත ඇතිවීමේ විභව ස්ථාන බවට පත්වන බවත් විවිධ අධ්‍යයනවලින් පෙන්නුම් කර ඇත. එනම් වසා ගැටිති ‘ආරක්ෂිත තෝතැන්නක්’ ලෙස ක්‍රියා කරයි. අධ්‍යයනයට අනුව “එබැවින් රසායනික චිකිත්සාවෙන් පසු නෝඩල් මැදිහත්වීම රෝගයේ ආක්‍රමණශීලී බව පිළිබඳ පෙර නිමිත්තක් හෝ දර්ශකයක් විය හැකියි” වෛද්‍ය රේ පැවසුවේය.

මෙම අධ්‍යයනය මගින් නෝඩල් පිළිකා දර්ශකය (Nodal Cancer Index – NCI) ද යෝජනා කර ඇති අතර එමඟින් ශල්‍ය වෛද්‍යවරුන්ට වසා ගැටිති වඩා හොඳ වෛෂයික ආකාරයකින් ඉවත් කළ හැකි අතර එමඟින් ඩිම්බකෝෂ පිළිකා රෝගීන්ගේ වඩා හොඳ පැවැත්මේ ප්‍රතිඵල ලබා ගත හැකිය.

මූලාශ්‍රය – indiatvnews.com

Related Posts